පසුගිය දිනයෙක මම අප කලෙක සිට දන්නා පවුලක වියපත් මෑණි කෙනකුගේ අවමංගල්‍යයකට සහභාගී වීමි.එහි දී මා මෘත දේහය අබියස හිඳින විට එම පවුලේ හිතවතා සහ ඔහුගේ බිරිඳ මා සමීපයට පැමිණියහ.”අම්මා අද හරි ලස්සනයි නේද?” ඒ කතා බහ අතරතුර දී හිතවතාගේ බිරිඳ ඒ මෘත ශරීරය දක්වමින් මගෙන් ඇසුවා ය.සුදු පැහැති උඩරට ඔසරියක් අන්දවා ගෙලෙහි පබළු පොටවල් කිහිපයක් ද පළඳවා තිබූ ඒ මෘත දේහයෙන් කිසිදු සුන්දරත්වයක් පළ නොවුණ ද ඇගේ පැනයට දිය හැකි අන් පිළිතුරක් නොවූ බැවින් මම ඊට “ඔව්”යන පිළිතුර දුනිමි.”අම්මා අන්තිම කාලේ හිටපු විදිහට අපි කීයටවත් හිතුවේ නෑ මිනිය වත් මෙහෙම ලස්සනට තියා ගන්න පුළුවන් වෙයි කියලා.අන්තිම කාලෙ වෙනකොට අම්මාව අපි කාටවත් පිරිසිදු කරලා ඉවරයක් කරන්න බැරි වුණා.ඒත්, මේ දවස් දෙකට හරි අම්මාව ඔහොම ලස්සනට දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්”ඒ සමඟම ඇය කීවා ය.මේ වන විට අප අත්විඳීමට බලාපොරොත්තු වන;එමෙන්ම තුන් හෙළයේ අසම සම සංස්කෘතික මංගල්‍යය බවට බොහෝ දෙනකු උජාරුවෙන් උදම් අන්න නූතන සිංහල අලුත් අවුරුද්ද අගැයුමට ලක් කිරීම මළ සිරුරක සුන්දරත්වය ආශ්වාදනය කරන ඉහත සඳහන් කාන්තාවගේ සතුටට සමානයැයි මට හැඟී ගියේ සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව සිට ඒ සම්බන්ධ විනිශ්චයකට එළැඹෙන විට දීය.
අතීතයේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව ගම්බද අපට මුලින්ම සංඥාව ගම් දනව් වලට ගෙන ආවේ කොහා ය. නමුත් වර්තමානය වන විට විවිධ පාරිසරික විපර්යාසයන් හේතු කොට ගෙන මෙම කොහා පවා ගමෙන් නගරයට සංක්‍රමණය වී ඇති බැව් පෙනේ. නගරාශ්‍රිතව කසළ ගොඩවල් අසල කොහෝ ගහනය වැඩි වෙමින් පවතින බැව් පරිසරවේදීහු කියති.
සැබැවින්ම අප්‍රේල් මාසය යනු කොහාගේ ප්‍රජනන සමයයි. එය කාලයක් තිස්සේ සිදුවූයේ ගම්බද පාරිසරික තත්වය තුළ වුවත් අද දවසේ කොහා බහුලව දක්නට ලැබෙන්නේ නගරබද කසළ රඳවනයන් ආශ්‍රිතව ය. කෙසේ වෙතත් කොහා නගරයට පැමිණිය ද, ගමෙන් ඈත් වුව ද අප දෙසවන්වලට කොහෝ නාදය කිසිදු අඩුපාඩුවක් නොමැතිවම නිතර දෙවේලේ අසන්නට ලැබෙයි. රබන් සුරල් හඬ, ඔන්චිලි වාරම් ආදිය පිළිබඳව සඳහන් කළ හැක්කේ ද එයම ය.එහෙත්, මේ සියල්ල අප දෙසවන් මත පතිත වනුයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ ය.කෘත්‍රිමව අපට ඇසෙන්නට සලස්වන මෙම හඬ මගින් අදාළ පාර්ශ්වයන් උත්සාහ කරනුයේ ජනතා සිත් සතන් තුළ කෘත්‍රිම මානසික උද්දීපනයක් ඇති කිරීමට බව නොරහසකි.නමුත් මෙවැනි උද්දීපනයක් ජනතාව තුළ ඇති කරනු ලබන්නේ කවුරුන් විසින්ද?, කුමක් අරභයා ද? යන්න ද අප හොඳින් අවබෝධ කොට ගත යුතු ය. මේ පිළිබඳ මැදහත් සිතින් සොයා බැලීමේදී පෙනී යන්නේ අපට “අවුරුදු කැවීමට” බහුජාතික සමාගම් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව ඉමහත් තදියමකින් පසුවන බව ය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සිංහල අලුත් අවුරුද්ද මුල්කොට පාරිභෝගික උන්මාදයක් ජනතාව තුළ ඇති කිරීමට ය. ඒ ඔස්සේ රටම පාරිභෝගික සැණකෙළි බිමක් බවට පත්කිරීමට ය.එලෙස පාරිභෝගික කුළුගැන්වීම් මඟින් තම බුද්ධිය ඉක්මවා හැඟීම් ආවේග වලට නතු වන මිනිසා අවිචාරවත් ලෙස අධි පරිභෝජයේ යෙදෙන බව ප්‍රසිද්ධ රහසකි.නමුදු ඒ අනුව”අපි අවුරුදු කන්න ගිහින් අන්තිමට වුණේ අවුරුද්ද අපිව කාපු එක”යන්න දිනෙන් දින සැබෑ වන ප්‍රායෝගික තත්වයක් වීම කිසිවකුටත් වලක්වා ලිය නොහැක.
අතීතයේ දක්නට ලැබුණු කෘෂි ආර්ථික සමාජ ක්රමයක පසු සරල සුන්දර අස්වනු උත්සවයක් ලෙස පැවැති සිංහල අලුත් අවුරුද්ද අද වන විට සහමුලින්ම පාරිභෝගික සැණකෙළියක් බවට පත්කිරීමේ දැවැන්ත මෙම යාන්ත්‍රණයේ අරමුණ අතීතයේ පැවැති කෘෂි ආර්ථිකයත් සමඟ බැඳුණු සරල ගැමි සිතුම් පැතුම් ඉදිරියට රැගෙන යාම සඳහා දිරි දීමක් නොවේ. ඒවා සියල්ල කුඩුපට්ටම් කරමින් අධි පරිභෝජනවාදී උමතුවක් ජනතාව තුළ ස්ථාපිත කිරීම ය.අතීත සරල කෘෂි ආර්ථික සමාජ ක්රමයක පුරුෂාර්ථ නූතන අධිපරිභෝජනවාදී සමාජය මත ස්ථාපිත කිරීමට යාම කළු ගලක් මත්තේ ගොයම් සිටුවීමකි.නැතහොත් මිරිදිය මත්ස්‍යයකු මුහුදට මුදා හැරීමකි. සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධව චාරිත්‍රාංග අටක් ක් පමණ තිබේ . විද්‍යා විරෝධී සංකල්පයක් වන රාශි චක්‍රය පදනම් කරගත් සූර්ය වර්ෂය මුල්කර ගැනෙන අලුත් අවුරුද්ද නවතාවයකින්, නැවුම් ආකාරයකින් ආරම්භ කළ යුතුය යන සම්මතය මත පිහිටමින් අනුගමනය කරන ගනුදෙනු කිරීම නම් චාරිත්‍රය මේ අතර කැපී පෙනෙයි.
සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වන්නට පෙර සියලු ණය තුරුස්වලින් නිදහස් වීමේ පුරුද්දක් අතීත ජනතාව අතර තිබිණ.ණය තුරුස් පමණක් නොව අහල පහළ නිවෙස් වලින් ඉල්ලා ගන්නා උදළු, කැති, මන්නා ,පොරෝ පවා පරණ අවුරුද්දේ ආපසු ඒවා ගත් නිවසට ආපසු භාර දීමේ සිරිතක් පැවතිණ. මේ සියලු ආකාර වල ණය තුරුස්වලින් නිදහස් වී අලුත් අවුරුද්දේ ගනුදෙනු ආරම්භ කරනුයේ නැවුම් ආරම්භයක් සිත්හි දරාගෙන ය. නමුත් වත්මන් ව්‍යාපාරික ප්‍රජාව විසින් ජන විඥානයට ඇතුළු කරන ලද “උත්සව සමය” යන සංකල්පය මුල් කොට ගෙන ජනතාවට පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රම හඳුන්වා දෙනු ලබයි. මේ භාණ්ඩවලට ජංගම දුරකථන, පරිගණක, මහන මැෂින්, ගෑස් කුකර්, ගෘහ උපකරණ, යතුරුපැදි, ත්‍රිරෝද රථ ආදී මෙකී නොකී සියලු ගෙදර දොර උපකරණ අයත් ය. අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ වට්ටම් ලබා දෙන බව ද මෙම සමාගම් නිතර ප්‍රචාරය කරයි. කෙසේ නමුත් “ගෙවීමේ පහසු ක්‍රමය” නම් ආකර්ෂණීය නම ඉවත් කළහොත් මේ පසුපස ඇති සැබෑ අරුත දිස්වන්නට පටන් ගනී. මෙය පසුපස සඟවා ඇති සැබෑ අරුත ණයට ගැනීම ය. මේ අනුව ව්‍යාපාරික ප්‍රජාව අපට වක්‍රව පවසනුයේ අලුත් අවුරුද්දේ ණය කරුවකු බවට පත්විය යුතු බව ය. මෙය අලුත් අවුරුද්දේ මුලික සංකල්පවලට ඉඳුරාම පටහැනි තත්වයකි. සිංහල අලුත් අවුරුද්දේ ණය තුරුස් නොවී සිටිය යුතු බවට අතීතයේ පැවැති සම්ප්රදාය මෙහිදී නැසී, වැනසී,කුඩුපට්ටම් වී යයි.ඒ අනුව අපට පෙනී යන්නේ අපේ අතීත සමාජය සුරතලයට ඇති කළ සිංහල අලුත් අවුරුද්ද නම් සුරතල් වසු පැටවා අද සමාජයට වින කරන කුළු මීමකුගේ තත්වයට පත්ව ඇති බවකි.
සූර්ය වර්ෂය සැමරීමේ කතාව කෙසේ වෙතත් සිංහල අලුත් අවුරුද්ද යනු අප රටේ පැවැති කෘෂි ආර්ථිකයේ ප්‍රධාන කන්න දෙකෙන් එකක් වන මාස් කන්නය අවසානයේ පවත්වන ලද උත්සවයකි. අස්වනු නෙළා ගැනීමෙන් පසු සියලු දෙනාගේම පාහේ අටුකොටු පිරී පවතී. නමුත්, වර්තමානයේ යල මහ දෙකන්නය මත පදනම් වන කෘෂි ආර්ථිකය මුල් කොට ගත් සමාජයක් දක්නට නොමැති අතර ඒ නිසාම අතීතයේදී අටුකොටු පිරීම මුල්කොට සමරනු ලැබූ අලුත් අවුරුද්ද මේ වන විට අවුරුදු සැමරීම සඳහා කෙසේ හෝ අටුකොටු පුරවා ගත යුතු තත්ත්වයක් දක්වා විකෘති වී තිබේ.නමුදු සමහරු ඒ අටුකොටු පුරවා ගන්නේ සේවා ස්ථානයෙන් උත්සව අත්තිකාරම් ගැනීමේ සිට විවිධ ක්‍රම වලට ණය වීමෙනි.
වර්තමාන ජනතාව ජීවත් වන්නේ අධි පරිභෝජනවාදය මත පදනම් වූ සමාජයක ය.සිංහල අලුත් අවුරුද්ද මුල්කොට ගනිමින් ව්‍යාපාරික ප්‍රජාව මෙම අධි පරිභෝජනවාදී ව්‍යුහය තුළ ජනතාව ගිල්වා තැබීමට වෙර දරන බවක් පෙනේ. එමෙන්ම සිංහල අලුත් අවුරුද්ද උදාවීමේ දී සියලු දෙයම අලුතින් ලබාගත යුතුය නම් මිථ්‍යාව ජනතාව තුළ වපුරන්නට ව්‍යාපාරික ප්‍රජාව සමත්ව සිටී. බොහෝ සේවා ස්ථානවලින් සේවකයන් හට ප්‍රසාද දීමනා, උත්සව අත්තිකාරකම් ආදිය ලබා දෙන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සහ අවබෝධයෙන් පසුවන ව්‍යාපාරික ප්‍රජාව ජනතාව තුළ මෙවැනි අසීමිත ආකල්ප ඇතිකරන්නට දරන වෙහෙස දවසින් දවස ඉහළ නැංවීම සුළු කොට තැකිය නොහැක.මේ නිසා අතීතයේ ජනතා සිත් සතන්වල පැවැති සැහැල්ලු බව සහනශීලී බව නිතැතින්ම තුරන්ව යයි.එය බරපතල සමාජ ඛේදවාචකයක ඇරඹුම ද වෙයි.
වර්තමාන සිංහල අලුත් අවුරුදු චාරිත්‍රාවලිය තුළින් පැහැදිලි සදාචාරාත්මක පසුබිමක් විද්‍යමාන නොවේ. බුදු සමය පදනම් කොට ගත් අප තුළ පවත්නා සදාචාරාත්මක ශික්ෂණය මුල්කොට බෞද්ධ ආකල්ප සහ සංස්කෘතිකාංග එයට ඇඳා ගෙන ඇත්තේ බලහත්කාරයෙනි. නමුත් බලහත්කාරයෙන් බෞද්ධ සිරිත් සිංහල අලුත් අවුරුද්ද තුළට වද්දා ගත්ත ද පුණ්‍ය කාලයේ දී බෞද්ධයන් දාන ශීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්වල යෙදෙන බවක් පෙනෙන්නට ද නැත. ඊට හේතුව සිංහල අලුත් අවුරුදු පුණ්‍ය කාලය දෙවියන් යැදීම
මුල්කොට ගත් හින්දු සංස්කෘතියේ පුණ්‍ය කාලයේ (පුණ්‍ය කාලම්) හි අන්ධානුකරණයක් වීම ය.
ඒ හැරුණු කොට ආහාර පිසීම, වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීම නම් චාරිත්‍ර මිස පංච ශීලය පදනම් කරගත් සදාචාරාත්මක චර්යාවන්ට සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සන්දර්භය තුළ විශේෂ තැනක් හිමි කොට නැත. එවන් පැහැදිලි සදාචාරාත්මක පසුබිමක් නොමැති සිංහල අලුත් අවුරුද්ද තුළට දුරාචාරය පිවිසුවීමට පහසු හැකියාවක් පවතින බව රහසක් නොවේ.සිංහල අලුත් අවුරුදු පුණ්‍ය කාලයේ “නිමාවක්” සනිටුහන් වීම එයට උඩ ගෙඩි දෙන ප්‍රධාන සාධකය වී තිබේ. සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානතම ආහාරය කිරිබත් බව නිසැක ය.නමුදු ප්‍රායෝගික වශයෙන් බලන විට සිංහල අවුරුද්දේ ප්‍රධාන පාන වර්ගය කුමක්ද? මෙයට පිළිතුර සිංහල අවුරුද්දට ආසන්න දින කිහිපය තුළ සුරාසල් ඉදිරියේ අතුරු සිදුරු නොමැතිව එක් රොක් වන ජනී ජනයාගෙන් පැහැදිලි වනු ඇත.එමෙන්ම “අවුරුද්දට ටිකක් බිව්වට කමක් නෑ” යන නවීන සමාජ පරමාදර්ශය ඔස්සේ පිය පුතුන් හා එකම පවුලේ සොයුරන් “බෝතලය”මැදි කර ගනිමින් අවුරුදු සැමරීම ද දිනෙන් දින ප්‍රවර්ධනය වන සමාජ විලාසිතාවක්,නව සංස්කෘතිකාංගයක් බවට පත් වෙමින් තිබේ.
ඊට අමතර වර්තමාන සිංහල අලුත් අවුරුද්දේ ආහාර රටාව දෙස මඳක් අවධානය යොමුකොට බලමු. මෙහිදී අප පරිභෝජනය කරන කෑම බීමවලට ඇත්තේ ද සියවස් කිහිපයක ඉතිහාසයකි. කැවුම්, කොකිස්, අතිරස, අලුවා ආදී මෙම කෑමබීම පිළිබඳ අවධානය යොමු කළ විට පෙනෙන්නේ මේ සෑම රස කැවිල්ලක් තුළම පවතින ප්‍රධාන සංඝටකය සීනි බවය.එමෙන්ම තෙල් ද පිෂ්ඨය ද මේවායේ අඩංගුව තිබේ. අතීතයේ පැවැති කෘෂි ආර්ථික රටාව තුළ කය වෙහෙසා වැඩ කටයුතු කළ ජනතාවට මෙවැනි ආහාර වර්ග පරිභෝජනය කිරීමේ ගැටලුවක් නොතිබිණ. නමුදු වර්තමානය වන විට මෙම ද්‍රව්‍ය අඩංගු රසකැවිලි වර්ග කෑමට ගැනීමෙන් ජනතාව අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට බඳුන් වන බව ප්‍රසිද්ධ කරුණකි. එවැනි රෝගාබාධවලින් පෙළෙන්නවුන්ට මෙම රසකැවිලි අනුභවයෙන් වැළකී සිටීමට හෝ ඒවා සීමා කරන්නට හෝ ඒවා වර්ජනය කරන්නට හෝ සිදුව තිබේ. සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මේවා පිසුව ද බොහෝ ගෘහණියන් සිය පවුලේ සාමාජිකයන් හට අවවාද කරනුයේ මෙවැනි රසකැවිලි අනුභවය නොකා සිටින ලෙස ය.නැතහොත් හැකිතාක් සීමා කරන ලෙස ය.
මෙකී නොකී බොහෝ කරුණු මුල්කොට වර්තමානයේ පවතින සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ පුළුල් සමාජ කතිකාවතක් දියත් කිරීමේ අවශ්‍යතාව මේ වන විට දැඩිව පෙනෙන්නට තිබේ.නමුත් සිංහල අලුත් අවුරුදු සමයේ බොහෝ විද්වතුන්,ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මෙවැනි කරුණු පිළිබඳ විවෘත කතිකාවකට පැමිණෙන්නට මැලිකමක් දක්වනු පෙනෙයි.ඔවුන් කරනුයේ අතීතයේ පැවැති සිංහල අලුත් අවුරුද්දේ සුන්දර බව ගැන අදහස් දක්වමින් ජනතාව තුළ අතීතකාමය අවදි කිරීම පමණි. ඒ හැරුණු කොට ඒ කිසිවකුත් වත්මන් සිංහල අලුත් අවුරුද්දේ කටුක යථාර්ථය පිළිබඳ කිසිවක් මෙහිදී ප්‍රකාශයට පත් නොකරති.ඔවුනට මේවා පිළිබඳ දැඩි විවේචනයන්ට යා නොහැක්කේ මෙවැනි මාධ්‍ය වැඩසටහන් සඳහා අනුග්‍රහය දක්වනුයේ අධි පරිභෝජනවාදය පසුපස හිඳින වෙළෙඳ ප්‍රජාව වීම නිසා ය. මේ අතර ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ ඉහත සඳහන් කරුණු පසුබිම් කොට මීට වසර කිහිපයකට පෙර”සිංහල අවුරුද්දේ මායාව සහ යථාර්ථය”නමින් කෘතියක් එළිදක්වා තිබිණ.එය මෙම කරුණ ඉලක්ක කර ගත් මුල්ම අනාවරණය ද විය හැක.එවන් තත්වයක් හමුවේ මේ එළැඹ ඇත්තේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ පුළුල් සමාජ කතිකාවකට වඩාත් සුදුසුතම යුගයක් බැව් පැහැදිලිවම කිව යුතු ය.නො එසේ නම් අපට මින් ඉදිරියට සිදු වන්නේ අතීත සාරධර්ම පුරුෂාර්ථ මිය ගිය වත්මන් සිංහල අලුත් අවුරුද්ද නම් මෘත දේහයේ හැඩ බලමින් සතුටු වීමට ය.
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර