ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් සඳ ගමනක

සඳ ආසන්නයට ගමන් කළ හෝ සඳ මත පා තැබූ හෝ අජටාකාශගාමීහු විශාල පිරිසක් ඉතිහාසයේ සිටිති. ඒ ඇමරිකාවේ නාසා ආයතනය ක්‍රියාත්මක කළ සඳ ගවේෂණ වැඩසටහන් නිසා ය. නමුත් මෙම අජටාකාශගාමීන් පිලිබඳ එක් විශේෂත්වයක් වන්නේ ඔවුන් අතර එකදු කාන්තාවක හෝ නොවීම යි. ඔවුන් සියළු දෙනා පිරිමින් වූහ. නමුත් මෙම ‘අභ්‍යවකාශ පුරුෂාධිපත්‍යය’ ළඟදීම වෙනස් වීමට යයි. ඒ ලබන 2025 වසරේ නාසා ආයතනය දියත් කිරීමට යන ‘ආටෙමිස්-2’ සඳ චාරිකාව තුළිනි.

‘ආටෙමිස්-2’ යනු අජටාකාශගාමීන් සිව් දෙනෙකු සඳ ආසන්නයට ගමන් කරන චාරිකාවකි. මිනිසුන් නැවතත් මේ ආකාරයෙන් සඳ වෙත යන්නේ වසර 50 කට පසුව යි. 1972 වසරේ දියත් වූ ඇපලෝ 17 චාරිකාවෙන් පසු මිනිසුන් සඳ වෙත යාම නතර විය. ඒ අනුව ආටෙමිස්-2 යනු සුවිශේෂී චාරිකාවකි.

moon

මෙම චාරිකාවට සහභාගි වන අජටාකාශාගාමීන් කණ්ඩායමේ නම් පසුගිය 3 වැනි දින නාසා ආයතනය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබිණි. ඊට අනුව එම කණ්ඩායමට කාන්තාවක ද ඇතුළත් වේ. සඳ ගමනකට සහභාගි වන අජටාකාශගාමීන් කණ්ඩායමකට කාන්තාවක ඇතුළත් වන්නේ ඉතිහාසයේ පළමු වතාවට ය.

මේ ආකාරයෙන් ඉතිහාසයට එක් වීමේ වාසනාව හිමි කරගෙන සිටින්නේ ක්‍රිස්ටිනා කොච් නැමැති 44 හැවිරිදි අජටාකාශගාමිනියකි. මෙම කණ්ඩායමේ තවත් විශේෂත්වයක් තිබේ. එනම් කළු ජාතික අජටාකාශගාමියකු ද ඊට ඇතුළත් වීම යි. මෙවැනි කණ්ඩායමකට කළු ජාතිකයකු ඇතුළත් වන්නේ ද පළමු වතාවට ය. ඒ නිසා ඔහුගේ නම ද අභ්‍යවකාශ චාරිකා ඉතිහාසයේ ලියැවෙන්නක් වනු ඇත. 46 හැවිරිදි මෙම කළු ජාතික අජටාකාශගාමියාගේ නම වික්ටර් ග්ලෝවර් ය.

මොවුන් දෙදෙනාට අමතරව තවත් අජටාකාශගාමීහු දෙදෙනෙක් ද ආටෙමිස් 2 චාරිකාවට එක් වෙති. ඒ රීඩ් වයිස්මන් සහ ජෙරෙමි හැන්සන් යන දෙදෙනා යි. මෙම චාරිකාවේ නඩේ ගුරා වන්නේ වයිස්මන් ය. ග්ලෝවර් ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරයි. කොච් සහ හැන්සන් සැලකෙන්නේ සහායක විශේෂඥයන් ලෙසිනි.

ආටෙමිස්-2 චාරිකාව සිදුවීමට නියමිතව ඇත්තේ 2025 වසරේ යි. සමහර විට 2024 අවසන් භාගයේ එය සිදුවීමට ඉඩ ඇති බව ද පැවසේ. කෙසේ නමුත් මෙහි යන අජටාකාශගාමීන් සඳ මත ගොඩ බසින්නේ නැත. ඔවුහු සඳ වටා ගමන් කර නැවත පෘථිවියට එති. එහිදී විවිධ අධ්‍යයනයන්හි ද නිරත වෙති. එම අධ්‍යයනයන් ඉදිරි සඳ ගමන් සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම චාරිකාව දින 10 ක චාරිකාවක් බව සඳහන් වේ.

ආටෙමිස් 2 චාරිකාවෙන් වසරකට පමණ පසු ආටෙමිස් 3 නමින් ඊළඟ චාරිකාව දියත් කෙරෙනු ඇත. එය ආටෙමිස්-2 චාරිකාවටත් වඩා විශේෂ චාරිකාවකි. මන්ද යත් අජටාකාශගාමීන් සඳ මත ගොඩ බැසීමක් ඒ හරහා සිදුවන බැවිනි. එම චාරිකාවට ද කාන්තාවක සහ කළු ජාතිකයකු අයත් වනු ඇති බව සඳහන් වේ. සඳ මත පා තබන පළමු කාන්තාව සහ කළු ජාතිකයා බවට ඔවුන් පත්වනු ඇත.

ආටෙමිස් 2 සඳ ගමනට සහභාගි වන ක්‍රිස්ටිනා කොච් අභ්‍යවකාශ චාරිකා පිලිබඳ බොහෝ අත්දැකීම් ඇති අජටාකාශගාමිනියකි. මෙයට පෙර ද ඇය වාර්තා කිහිපයක් පිහිටුවා තිබේ. අභ්‍යකාශයේ අඛණ්ඩව වැඩිම කාලයක් ගත කළ කාන්තාව ද කොච් ය. මෙයට ටික කලකට පෙර ඈ ජාත්‍යන්තර අභ්‍යකාශ මධ්‍යස්ථානයේ නොකඩවා දින 348 ක් ගත කළාය.(ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු පෘථිවියට කි.මී. 400 ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ රඳවා ඇති විද්‍යාගාරයකි). කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් අජටාකාශගාමිනියන් කණ්ඩායමක් පළමු වරට යානයකින් පිටත පැමිණ අභ්‍යවකාශ ඇවිදීමක -(Space Walk) නිරත වෙමින් කටයුතු කළේ 2019 වසරේ ය. කොච් ද ඊට අයත් වූවාය.

පෘථිවියේ සිට දළ වශයෙන් කි.මී. 385,000 ක් පමණ දුරින් ඇති චන්ද්‍රයා මත පළමු වරට මිනිසුන් ගොඩ බැස්සේ 1969 වසරේ ජුලි මාසයේ යි. ඒ, නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩි්‍රන් යන දෙදෙනා ය. එයින් පසු විවිධ අවස්ථාවල තවත් අජටාකාශගාමීහු 12 දෙනෙක් සඳ මත පා තැබූහ. 1972 ඇපලෝ 17 චාරිකාවෙන් පසු නාසා ආයතනය සඳ ගමන් නතර කළේය.

ඉදිරියේ දී සඳ මත ස්ථාවර කඳවුරක් පිහිටුවීම වැනි සැලසුම් කිහිපයක් නාසා ආයතනය සතු වේ. මෙවැනි කඳවුරක් ඇති කළ විට අජටාකාශගාමීන්ට දිගු කලක් සඳ මත ගත කරමින් අධ්‍යයනයන් හි නිරත වීමට හැකියාව ලැබෙනු ඇත.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්