අවුරුදු කුමාරයා නෑවිත් අස්සයෝ හත් දෙනා විතරක් අප අතරට එවලාද?

අපගේ ජනප්‍රිය සිංහල අලුත් අවුරුදු සංස්කෘතිය තුළ අවුරුදු කුමාරියට හිමි වන්නේ මුල් තැනකි. එහෙත්, සිංහල අලුත් අවුරුදු උත්සව වල මේ අවුරුදු කුමාරි තේරීමේ සංස්කෘතියට විසි වන සියවසේ මැද භාගයෙන් එපිට ඉතිහාසයක් ඇති බවක් නොපෙනේ. අද බොහෝ දෙනෙකු නොදන්නා මුත් වත්මන් සිංහල අලුත් අවුරුදු උත්සව වල ප්‍රධාන තැනක් ගන්නා අවුරුදු කුමාරිය තේරීමක් ගැන අප ගැමි සමාජයේ කිසිම තැනක සඳහන් වන්නක් නොවේ.එය අප රට නිදහස ලැබීමෙන් පසුව නගරයෙන් ගමට පැමිණ සමාජය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ නව විලාසිතාවකි. අද වන විට ජනප්‍රිය අලුත් අවුරුදු සංස්කෘතීන් හි ප්‍රධාන තැනක් ගන්නා පා පැදි තරඟ ගම හරහා දිවීම සංගීත පුටු තරඟ ආදී අංග බටහිර සංස්කෘතියෙන් අපට උරුම වූවකි.එමෙන්ම නූතන අලුත් අවුරුදු උත්සව වල මුල් තැනක් හිමි කර ගන්නා අවුරුදු කුමාරිය තේරීම ද බටහිර සංස්කෘතියේ එන රූප සුන්දරී තරඟවල( Beauty pageant) දේශීය ආරෝපණයකි.

අවුරුදු කුමාරිය ගේ තත්වය එසේ වුව ද සිංහල අලුත් අවුරුදු උත්සවයට කේන්ද්‍රීය චරිතය වන “අවුරුදු කුමාරයා” වර්තමාන සිංහල අලුත් අවුරුදු සංස්කෘතික මංගල්‍යය තුළ හිමි වන තැන සම්බන්ධයෙන් අදටත් පවතිනුයේ විවාදාත්මක තත්වයකි. ඊට හේතුව අදටත් අප ජන සම්මත සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර මාලාව තුළ අවුරුදු කුමාරයකු සම්බන්ධයෙන් වන ඇදහීම් වත් පිළිවෙත් ආදිය පිළිබඳව සඳහන් නොවීම ය. සාමාන්‍ය ජන වහරේ “නොනගතය” නමින් හැඳින්වෙන සිංහල අවුරුද්දේ එන පුණ්‍ය කාලය යනු “පුණ්‍ය කාලම්” යන දෙමළ වදනේ සිංහල ස්වරූපයකි. එය මුල් වරට සිංහල ජන සමාජයට හඳුන්වා දෙන ලද්දේ දහ නව වන සියවසේ අප රටේ විසූ ප්‍රමුඛතම ජ්‍යොතීර්වේදියකු වන ඈපා ලිතේ නිර්මාතෘ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විසිනි. එහෙත්, එම පුණ්‍ය කාලය ද හුදු ඉෂ්ඨ දේවතා ස්මරණය පිණිසම යෙදිය යුත්තක් ලෙස විනා අවුරුදු කුමාරයා නමැදීම පිණිස යොදා ගත යුත්තක් සේ එහි දක්වා නැත.

එහෙත්, අපගේ දේශීය ගැමි සම්ප්‍රදාය තුළ සිංහල අලුත් අවුරුද්ද උදා වන දින සැන්දෑ යාමයේ නිවස ඉදිරියේ නිවසට මුහුණ ලා ගොක් කොළ පහන් පැළක් ඉදි කිරීමේ සම්ප්‍රදායක් තිබේ. පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද අතර වන අවස්ථාවේ එළැඹෙන සැදෑ සමයේ දී නිවසේ ප්‍රධානියා විසින් එම පහන් පැළ වෙත ගොස් තෙල් මල් පහන් පිදීමේ සම්ප්‍රදායක් ද පවතී. මෙම සම්ප්‍රදාය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අතර එය අවුරුදු කුමාරයා ලෙසින් හැඳින්වෙන සූර්ය දේව නමස්කාරයක් ලෙස ඇතැම්හු සළකති. එහෙත්, ඒ සම්බන්ධ වන කවි, ස්ත්‍රෝත්‍ර, ශ්ලෝක ආදී කිසිවක් ද ඇති බවක් අප හමුවේ අනාවරණය වී නැත. නමුදු එම ජන විශ්වාසයට අනුව අවුරුදු කුමාරයා යනු හිරු දෙවියන් යන පිළිගැනීම ජාතික මට්ටමින් ව්‍යාප්තව පවතින බවක් නම් අප පිළිගත යුතුම ය.
හිරු දෙවියන් ඇදහීම හෙවත් සූර්ය දේව නමස්කාරය මානව ශිෂ්ටාචාරයේ අනාදිමත් කාලයක් තෙක් අතීතයට දිව යන්නක් බව ඒකාන්ත සත්‍යයකි. ක්‍රිස්තු පූර්ව 3500 තෙක් අතීතයට දිව යන ඊජිප්තු ශිෂ්ටාචාරයේ මෙම සූර්ය දේව වන්දනාව පැවැති බවට මානව විද්‍යාත්මක සාක්ෂි හමු වී තිබේ. පසුව ක්‍රිස්තු පූර්ව 2000-1500 අතර වකවානුවේ දී මධ්‍යම ආසියාවෙන් ඉන්දීය උප මහාද්වීපයට සංක්‍රමණය වූ ආර්යයන් අතර ද මෙම සූර්ය වන්දනාව ස්ථාපිතව තිබූ බව පැවසෙයි.

පැරණි රෝම සහ ග්‍රීක ශිෂ්ටාචාරයන් හිදී ද මෙම සූර්ය වන්දනාව ඉහළම මට්ටමකට පැමිණි අතර ග්‍රීසියේ දී හෙලියොස් නමින් හැඳින්වුණු හිරු දෙවියන් අති ප්‍රබල දෙවි කෙනකු වශයෙන් ඔවුන් ගේ පුද පිළිවෙත් වලට ලක් වූ බව සනාථ වී තිබේ.එමෙන්ම පැරණි ග්‍රීක ශිෂ්ටාචාරයට අයත් හෙලියොස් දේව ප්‍රතිමා ග්‍රීක ප්‍රතිමා කලාවේ විශිෂ්ටත්වය ගෙන හැර දක්වන ලෝක ප්‍රකට කලා නිර්මාණයන් ලෙස ද සැලකෙයි.
රටේ මෙම අතීත සූර්ය දේව වන්දනාව පැවැති බවට සාධාරණ ලෙස අනුමාන කරන මානව විද්‍යාඥයෝ ග්‍රීපාදය සහ කෝනේෂ්වරන් යන බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන වලට එම ආගමික ස්වරූපය ආරෝපණය වීමට පෙර ඒවා සූර්ය දේව වන්දනාව සඳහා යොදා ගන්නට ඇති බව අනුමාන කරති. එමෙන්ම අතීත මිසර වැසියන් හිරු දෙවියන් “රා” නමින් හැඳින් වූ අතර එය අප රටේ පැවැති ඉපැරණි රාවණා ඇදහීමට සම්බන්ධ බවක් අනාවරණය වී නැත.

පසුව අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයෙන් සහ පොලොන්නරුවේ ශිව දේවාලයෙන් ද සූර්ය දේව ප්‍රතිමාවක් බවට සැළකෙන පුරා වස්තු දෙකක් ලැබී ඇති අතර එය ද අනුරාධපුර යුගයේ අග භාගයෙන් සිට භාරතීය ආභාෂයෙන් අප රටට සූර්ය දේව ඇදහීම සංක්‍රමණය වූ බවට සාක්ෂි වශයෙන් ඉතිහාසඥයන් සහ පුරා විද්‍යාඥයෝ මත පළ කරති.
එහෙත්, ඊට පසුකාලීනව දොලොස් වන සියවසේ ලියැවුණු ‘බුත්සරණ’ නම් ධර්ම ග්‍රන්ථයෙහි තීර්ථක දමනය යටතේ බුද්ධ බලයට හිරු දෙවියන් ගේ බලය ද යටපත් වන බව අනාවරණය වීමෙන් එය එකල සූර්ය වන්දනාව වෙත යොමු වෙමින් සිටි බෞද්ධයන් ගේ සිත් තුළ යළි බුදුන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය කුළුගැන්වීමට ‘බුත්සරණ’ කතුවරයා යෙදූ උපායක් බව සාධාරණ ලෙස අනුමාන කළ හැක.
භාරතීය ජ්‍යොතීර්වේදයේ ද සූර්යයා රවි යන නමින් දක්වා ඇති අතර ඔහු පාපී ග්‍රහයකු වශයෙන් හඳුන්වා තිබීම විශේෂත්වයකි. එහෙත්, මෙම පාපී යන්න හැඩි දැඩි,ප්‍රචණ්ඩ තේජස් සහිත යන අදහසින් මිස අප ජන වහරේ එන අන්දමට ‘පව්කාර’ යන අදහස පළ නොකරන බව ද විශේෂයෙන් කිව යුතුය. ජ්‍යොතීර්වේදයේ එසේ දැක්වුණ ද සූර්යයා තරුවක් මිස ග්‍රහයෙකු නොවේ.නමුත් ඒ කෙසේ හෝ දාහතර වන සියවසට අයත් සීතාවක කමත් හැල්ල ආදී ජන කාව්‍යයන් මගින් ද හිරු දෙවියකු වශයෙන් දක්වා තිබීම විශේෂත්වයකි. එහෙත් ඒ කිසිදු කාලයක සාමාන්‍ය ජීවිතයේ දී සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානතම භූමිකාව වන අවුරුදු කුමාරයා හෙවත් හිරු දෙවියන් වැඳීමට අප ජන සමාජය යොමු වී නොමැති බව විශේෂයෙන් කිව යුතු ය.හින්දු ආගමේ දැක්වෙන අන්දමට සූර්ය දෙවියන් කඩවසම් ජව සම්පන්න රූපකායක් දරයි.එතුමන් ගමන් කරනුයේ අසුන් සත් දෙනකු සහිත රථයකිනි.නූතන සමාජය අලුත් අවුරුදු සමය වන විට ඒ සම්බන්ධයෙන් පළ කරන තරඟකාරී උනන්දුව සම්බන්ධයෙන් මේ වන විට අවුරුදු කුමාරයා අප හමුවට නොපැමිණ තම රථයේ බඳින අශ්වයන් සත් දෙනා පමණක් ලිහා හැර එවා තිබේද? යන සැකය අප තුළ ඇති වේ.ඒ අපට සිංහල අලුත් අවුරුදු උත්සවය අබිමුව අප ජන සමාජය කිසියම් සමාජ කැළඹිමක (social panic) හෙවත් “අස්ස කුලප්පුවක”ස්වරූපයක් පළ කරන බැවිනි.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය