මෙයට වසරකට පමණ පෙර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ලෝකයම කම්පනයට පත් කළ සිදු වීමක් වූ අතර එයින් ඇති වූ ආර්ථික බලපෑම් ආදියෙන් බැට කන්නට ද ලෝකයටම සිදු විය. මෙවැනිම තවත් ආක්‍රමණයක් ළඟ දී සිදුවනු ඇත් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් තිබේ. ඒ චීනය විසින් තායිවානය ආක්‍රමණය කෙරෙනු ඇත් ද යන්න සම්බන්ධවයි. චීනය සහ තායිවානය යන පාර්ශ්ව දෙකම ආසියානු කලාපයට අයත් වන නිසා මේ ගැන ආසියානු රටවල් දැඩි කුතුහලයකින් සිටිනු දැකිය හැකි වේ.
චීනය සහ තායිවානය අතර මේ වනවිට විශාල ආතතියක් ගොඩ නැගෙමින් තිබේ. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ චීනයේ ප්‍රධානම විරුද්ධවාදියකු ලෙස සැලකෙන ඇමරිකාව සමග තායිවානය සමීප සබඳතා වර්ධනය කරගනිමින් සිටීමයි. මෙය චීනයේ ප්‍රසාදයට හේතු වන කාරණයක් නොවේ.
චීනය තායිවානය සලකන්නේ කලකට පෙර චීනයෙන් කැඩී ගිය චීනයේම පළාතක් වශයෙනි. එය වෙනම රටක් ලෙස සැලකීමට චීනය සූදානම් නැත. නමුත් තායිවානයේ නායකයෝ චීනයේ මෙම ස්ථාවරය නොපිලිගනිති. ඔවුන්ගේ අදහස තායිවානය වෙනම රටක් බවයි. එසේ වුවත් චීනය පවසන්නේ කවදා හෝ තමුන් තායිවානය නැවත චීනය හා එක් කර ගන්නා බවකි. සාමකාමී ආකාරයෙන් බැරි වුවහොත් බලය යොදා හෝ එය කරන බවක් ඔවුහු අඟවමින් සිටිති.
චීනය පවසන ලෙසම තායිවානය කලක් චීනයට අයත්ව තිබූ භූමියකි. නමුත් මාඕ සේතුංගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ මහජන විමුක්ති හමුදාව චීනයේ ප්‍රධාන භූමියේ බලය අල්ලා ගැනීමත් සමග ඒ වනවිට එරට පාලනය කරමින් සිටි කුමින්තාන් පක්ෂයේ නායකයෝ යාබද තායිවාන දිවයින වෙත පලා ගියෝය. එයින් පසු චීනයේ ප්‍රධාන භූමිය මත කොමියුනිස්ට් නායකයන් මහජන චීන ජනරජය (Peoples Republic of China) ස්ථාපිත කළ අතර ඒ වනතෙක් එහි ස්ථාපිතව තිබූ චීන ජනරජය (Republic of China) කුමින්තාන් නායකයන් විසින් තායිවානය තුළ ස්ථාපිත කෙරිණි. මේ වනවිට තායිවානය යනු වෙනම ව්‍යවස්ථාවක්, වෙනම ආර්ථික ක්‍රමයක්, වෙනම රජයක් පවතින තැනකි. එසේ වුවත් තායිවානය වෙනම රටක්ය යන අදහස චීනය කිසිසේත් පිලිගන්නේ නැත.
කෙසේ හෝ වේවා, තායිවානය වෙනම රටක් ලෙස ස්ථාපිත වීමේ උත්සාහයට ඇමරිකාව සහය දක්වන බව චීනයේ අදහස යි. ඇමරිකාව ද තායිවානය සමග සමීප සබඳතා වර්ධනය කර ගනිමින් සිටින ආකාරය පැහැදිලිව දැකිය හැකි වේ. මන්ද යත්, චීනයට දකුණු දෙසින් පිහිටි මෙම කලාපය තුළ චීනය දරණ ආධිපත්‍යය ඇමරිකාවට ගැටලුවක් බැවිනි. මෙම කලාපය ජාත්‍යන්තර නැව් මාර්ග බොහොමයක් වැටී ඇති කලාපයකි. එමෙන්ම ස්වභාවික සම්පත් බහුල කලාපයක් ද වේ. මේ නිසා ඇමරිකාවට ද මෙම කලාපය දේශපාලනික, ආර්ථික වශයෙන් වැදගත් කලාපයකි. මෙම පසුබිම තුළ ඇමරිකානු නායකයන් තායිවාන නායකයන් සමග ගණුදෙනු කිරීම චීනය එතරම් රුස්සන්නේ නැත.
චීනය සහ තායිවානය අතර මේ දිනවල උණුසුම් වෙමින් ඇති ආතතියට හේතුව ද තායිවාන ජනාධිපතිනි ත්සායි ඉංග්-වෙන් ඇමරිකානු කතානායක කෙවින් මැකාර්ති හමු වීමේ සිද්ධියකි. පසුගිය සතියේ ත්සායි ඉංග්- වෙන් මධ්‍යම ඇමරිකාවේ පිහිටි ගෝතමාලා සහ බෙලීස් යන රටවල සංචාරයක නිරත වූ අතර ආපසු එන ගමනේ දී ඇමරිකාවට ද ගොඩ බැස්සාය. ඇය සහ මැකාර්ති අතර හමුව සිදු වූයේ එම අවස්ථාවේ යි. ඉංග්-වෙන් සහ මැකාර්ති අතර හමුවක් සිදුවීමට නියමිත බව දැනගත් මොහොතේ පටන්ම චීනය ඊට සිය විරෝධය දැක්වීය. ඔවුන් පැවසුවේ එවැනි හමුවක් සිදු වුවහොත් තමුන් ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවයි.
ත්සායි ඉංග්-වෙන් ඇමරිකානු කතානායකවරයා හමු වූයේ චීනයේ මෙම විරෝධය මායිම් නොකරමිනි. මෙයින් කෝපයට පත් චීනය පසුගිය දිනවල ඊට ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තේය. ඒ තායිවාන දිවයින ආසන්නයේ තරමක් දරුණු ආකාරයේ යුද අභ්‍යාස පෙළක් පවත්වමිනි.
තම යුද ගුවන් යානා සහ යුද නැව් යොදා ගනිමින් පවත්වන ලද මෙම යුද අභ්‍යාසවල දී ඔවුන් තායිවානය වට කරන ආකාරය සහ තායිවානයේ නිශ්චිත ඉලක්ක වෙත පහර දෙන ආකාරය අනුකරණය කරමින් අභ්‍යාස කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. තායිවාන බලධාරීන් ද මේ බව සනාථ කළ අතර ඔවුන් පසුගිය ඉරිදා (09) පවසා තිබුණේ චීනයේ යුද අභ්‍යාසවලට යුද ගුවන් යානා 71 ක් සහ යුද නැව් 9 ක් සහභාගි වී තිබූ බවයි. මේවා තායිවාන සීමාවට ඇතුල්ව තිබූ බවක් ද ඔවුන් සඳහන් කර තිබිණි.
චීනය දැන් කලෙක සිටම වරින් වර මෙවැනි යුද අභ්‍යාස පවත්වමින් තායිවානයට තම බලය පෙන්වමින් සිටියි. නමුත් මෙවර ඔවුන් වෙනදාට වඩා පුළුල් අභ්‍යාසයක නිරතව ඇති ආකාරයක් දැකිය හැකි වේ.
පසුගිය වසරේ ද චීනය සහ තායිවානය අතර මෙවැනි සිද්ධියක් සිදු විය. ඒ එවකට ඇමරිකාවේ කනානායකවරිය වූ නැන්සි පෙලෝසි චීනයේ විරෝධය නොතකා තායිවානයේ සංචාරයක නිරත වීම නිසා ය. එවර ද ඇය සහ තායිවාන ජනාධිපතිනිය අතර හමුවක් පැවැත්විණි.
පසුගිය දා ත්සායි ඉංග්-වෙන් ඇමරිකානු කතානායකවරයා හමු වූ අවස්ථාවේ තායිවානයට ඇමරිකානු ආයුධ සැපයුම් වැඩි කිරීම ගැන ද සාකච්ඡා වී තිබිණි. මෙවැනි කාරණා නිසා චීනය වඩාත් නොසන්සුන් වීම බලාපොරොත්තු විය යුත්තකි.
තායිවාන නායකයන් චීනයේ විරෝධය නොතකා දිගින් දිගටම ඇමරිකාව සමග සබඳතා තර කර ගැනීමට කටයුතු කළහොත් ඉදිරියේ දී වඩාත් බරපතල තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ. කෙසේ හෝ වේවා, චීනය තායිවානය ආක්‍රමණය කරනු ඇත් ද යන කුතුහලය පසුගිය සතියේ සිදුවීම් සමග නැවතත් කරළියට පැමිණ තිබෙන ආකාරයක් දැකිය හැකි වේ.
නිහාල් පීරිස්