සමාජයට අහිතකර සිංහල අලුත් අවුරුදු උන්මාදය

 

කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ පැමිණි තරුණයෙකු ගාල්ල දුම්රිිය ස්ථානයේ දී එම දුම්රියෙන් ඇද වැටී දුම්රියට හසුවිමෙන් ඔහු ගේ පාද දෙකම වෙන් විය.දුම්රිය ස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනුයේ ගාලු කුමාරි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ළඟාවීමත් සමඟ එතුළ සිටි මඟීන් ගේ තෙරපීම නිසා පාපුවරුවේ පැමිණ ඇති ඔහු දුම්රියෙන් ඇද වැටී ඇති බව ය.මේ අතර අලුත් අවුරුද්දට මාළු මිලදී ගැනීම සඳහා බේරුවල වරායට සිය පියා සමග පැමිණි දොලොස් වියැති දැරියක ජැටියෙන් මුහුදට වැටී ඇති අතර බෝට්ටුවක සිටි ධීවරයකු ඇය බේරාගෙන ඇත.මාළු මිල දී ගැනීම සදහා ධීවර වරායට විශාල පිරිසක් පැමිණ සිට ඇති අතර එහි දී ඇති වූ අධික තෙරපීමත් සමඟ මාළු මිල දී ගැනීමට ආ වෙනත් පුද්ගලයකුගේ ශරීරයේ වැදී ලිස්සා ගොස් දැරිය මුහුදට වැටී ඇතැයි ධීවරයෝ පැවැසූහ.

මෙම සිදුවීම් දෙකම මීට දින දෙක තුනකට ඉහත සිදු වූ අතර අධික ජන ඒකරාශීත්වයන් නිසා හට ගත් ඒවා ය.ඊට අමතරව මීට ගොනු නොවූ ජීවිත හානි ඇතුළු එවැනි සිදුවීම් කොතෙකුත් පසුගිය දින කිහිපය තුළ සිදු වන්නට ඇත.

උත්සව හා සැනකෙළි මුල් කොට වාර්ෂිකව ලොව පුරා විශාල පිරිසක් මිය ගොස් තවත් සැලකිය යුතු පිරිසක් නිත්‍ය ආබාධ ඇතුළු කායික අලාභ හානි සිදු කර ගනිති.ඒ අතර ආගමික සහ සංස්කෘතික උත්සව විනෝද හා ක්‍රීඩා උත්සව සේම අවමඟුල් වැනි ශෝක උත්සව ද ඒ අතර තිබේ.සමාජ විද්‍යාඥයන් ගේ ගණනයනට අනුව ජනගහණයට සාපේක්ෂව මේ ආකාරයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වනුයේ ආසියාකරයෙන් සහ මැද පෙරදිගිනි.ඊට හේතුව ඔවුන් බුද්ධියට අවනත නොවී හැඟීම් ආවේග අනුව කටයුතු කරන්නට යාමය.

ඇත්ත ඇති සැටියෙන් කිවහොත් සියවස් ගණනක සිට අපගේ ජන සංස්කෘතියට බද්ධ වී ඇති සිංහල අලුත් අවුරුද්ද අද වන විට සමාජ උන්මාදයක්;සමාජ සන්ත්‍රාසයක්( Social panic ) දනවන පාරිභෝගික සැනකෙලියක් බවට පත් කොට තිබේ.මාධ්‍ය මඟින් මෙම උත්සවය සඳහා අති ප්‍රාමාණික සමාජ අගැයුමක් ලබා දීම මීට හේතුව ය.සිංහල අලුත් අවුරුද්ද අපගේ ප්‍රමුඛතම ජාතික සංස්කෘතික මංගල්‍යය සේ හැඳින්වීම ඉන් එක් දෝෂයකි.මෙහි දී ජාතිකත්වය යන්න Nationality යන ඉංග්‍රීසි වදනට අනුව අර්ථ දැක්වුවහොත් සිංහල අලුත් අවුරුද්ද අපගේ ප්‍රමුඛතම ජාතික සංස්කෘතික මංගල්‍යය සේ හැඳින්වීමේ බරපතල වරදක් තිබේ.ඊට හේතුව මුස්ලිම්,ජා,මැලේ යන ශ්‍රී ලාංකේය සෙසු ජන කොටස් තබා ශ්‍රී ලාංකේය බහුතරය වන සිංහල ජාතිකයන් අතුරින් කිතුණු ප්‍රජාව පවා මෙම උත්සවය සැමරීමෙන් වැලකී සිටින බැවිනි.එමෙන්ම මෙය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වුව ද කිතුණු ආගම අදහන දෙමළ ජාතිකයෝ ද මෙම උත්සවය පිළි නොගනිති.ශ්‍රී ලාංකේය හින්දු සමාජයෙන් කොටසක් ද මෙදිනට සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය පදනම් කරගත් “චිත්තරෙයි පුතාණ්ඩු” නම් සැමරුමක යෙදෙන මුත් එය අප රටේ සිංහල බෞද්ධ සමාජය සමරන සිංහල අලුත් අවුරුද්දට වඩා ඉඳුරාම වෙනස් ය.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ නියෝජිතායතනයේ( නාරා) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ අරුලානන්දන් ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර වන පේදුරු තුඩුවේ උපත ලද්දෙකි.මීට දස වසරකට පමණ ඉහත මම ද අපගේ සිංහල අලුත් අවුරුද්දට සමගාමීව ඔවුන් විසින් සමරනු ලබන චිත්තරෙයි පුතාණ්ඩු උළෙකකට එක් වීමි.ඔවුන් එම උත්සවය සඳහා කේන්ද්‍ර කර ගත්තේ පේදුරු තුඩුවේ,වඩුවාවත්තෙයි හි ශ්‍රී වීරපතිරර් කෝවිලය ය.

ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ ජනයා එක් ව සමරන යනුවෙන් අපේ “ප්‍රාසාංගික පඬුවන්”මෙම උත්සවය හඳුන්වන මුත් උතුරේ සමරන චිත්තරෙයි පුතාණ්ඩු අපගේ සිංහල අවුරුදු නැකත් පවා පිළිනොගන්නා වෙනම සැමරුමකි.එමෙන්ම අප්‍රියෙල් 14 වන දා හිමිදිරියේ ඇරඹෙන එහි සියළු කටයුතු එදින සන්ධ්‍යාවේ අවසන් වෙයි. මගේ වැටහීම අනුව ගෘහ ජීවිතයේ සෞභාග්‍යය අරමුණු කර ගත් චිත්තරෙයි පුතාණ්ඩු නිවසේ ගෘගණියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ගෘහමය උත්සවයකි.එහි දී පවුලේ සාමාජිකයන් හා සමීප ඥාති මිත්‍රාදීන් අතර පවත්නා සබඳතා අලුත් කර ගැනීම ද විශේෂත්වයකි.චිත්තරෙයි පුතාණ්ඩු තම නිවස ඉදිරියේ බිම වර්ණ ගැන්වූ ධාන්‍ය වලින් සෞභාග්‍ය සංකේතනය කරන සිතුවම් නිර්මාණය කිරීම ද මෙම සැමරුමේ විශේෂ අංගයකි.ඒ සඳහා පුරෝගාමී වනුයේ කාන්තාවන්ම වීම විශේෂත්වයකි.කාසි විශේෂම් යන්න අපගේ අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමට සමාන චාරිත්‍රයකි මුත් ඒ සඳහා ඔව්හු නැකතක් අනුගමනය නොකරති.ඒ අනුව චිත්තරෙයි පුතාණ්ඩු යනු සරල,චාම් ,සොඳුරු ආධ්‍යාත්මික සැමරුමක් බව මට පසක් කර ගත හැකි විය. එසේ එම කතුන් විසින් සිත්තම් කරනුලබන වර්ණ රූ රටා හැඳින්වෙනුයේ කෝලම් නමිනි.එහෙත් ඒවා අප සිංහල බෞද්ධ සමාජයේ සිංහල අලුත් අවුරුදු සමයට දක්නට ලැබෙන “මළ කෝලම්” වලට වඩා ඉඳුරාම වෙනස් බව කිව යුතුය.

ටී.බස්තියන් ද සිල්වා විසින් 1891 ලියා ප්‍රකාශයට පත් කරන ලද “අවුරුදු මාලය”නම් කවි පෙළ තත් කාලීන සිංහල අලුත් අවුරුදු සැමරුම පිළිබඳ තතු විත්ති රැසක් එලෙසින්ම ගෙන එන රචනයකි.තෙරුවන් ගුණ සිහිපත් කිරීමෙන් ඇරඹෙන කවි හැත්තෑ නවයකින් යුතු එම පද්‍ය රචනයෙන් තුනෙන් දෙකකටත් වඩා වෙන් වී ඇත්තේ සිංහල අලුත් අවුරුද්දේ සුරාව,සූදුව සහ නිසරු විනෝදය පිළිබඳව කියා පෑමට ය.ඒ අනුව මෙම සිංහල අලුත් අවුරුදු සැමරුමට දෙමළ හෝ හින්දු නමක් ද එක් කර ගැනීම ඔවුනට කරන නිගරුවක් බව මගේ වැටහීම ය.
ඉතිහාසය, පුරාවිද්‍යාව, ජන සංස්කෘතිය පිළිබඳව විශිෂ්ට කෘතීන් කිහිපයක් ලියා පළ කළ විසිවන සියවසේ මුල් භාගයේ මෙරට මිනින්දෝරුවරයකු වශයෙන් සේවය කළ ආර්. එල්. බ්‍රෝහියර් සූරීන්ගේ Discovering Ceylon නම් කෘතියෙහි එන මෙම විස්තරය ද මෙම විමසුම සඳහා උපයෝගී කරගැනීමට මම කැමැත්තෙමි. එහි මෙසේ සඳහන් වෙයි.
“අප්‍රේල් මාසයේ දී සූර්යයා රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම මුල් කොට ගම්බදව මහත් උත්සව පැවැත්වෙයි. මේ සඳහා සියලු වැඩ නතර කෙරෙන අතර මෙය අලුත් අවුරුදු මංගල්‍යය නමින් හඳුන්වනු ලැබේ. මෙම උත්සවය සඳහා දුර බැහැර සිටින සියලුම දෙනා තම ඥාතීන් සොයා මහ ගෙදරට එති. මේ සඳහා සැතපුම් හතළිහක් පමණ දුර ගෙවා පයින්ම පැමිණෙන මිනිසුන් ද මට හමුවී තිබේ. ඔවුන් යළි ඒ දුරම ගෙවා ආපසු යා යුතු වෙයි.


මෙම මංගල්‍යය සඳහා සති දෙකක පමණ පෙර සිට සූදානමක් පවතී. ගේ දොර සුද්ධ පවිත්‍ර කිරීම සිදු කෙරේ. කෙසෙල් කැන් ඇතුළු සෙසු ආහාරපාන ද සපයා ගැනෙයි. කුඩා දරුවන්, තරුණ තරුණියන් සේම වැඩිහිටියෝ දඑක්ව විවිධ කෙළි සෙල්ලම්වල යෙදෙමින් එක්වීමේ සතුට භුක්ති විඳ ගනිති. ගෙවත්තේ ඔන්චිල්ලාවක් නැතහොත් කතුරු ඔන්චිල්ලාවක් බැඳ ගැනෙයි.
මෙය ගමේ ජ්‍යොතීර්වේදියාට වැඩ වැඩි සමයකි. ඒ තමන් වෙතට පැමිණෙන්නන්ට අලුත් අවුරුදු නැකත් සාදා දීමට ඇති බැවිනි. නැකත් සාදා ගැනීමට පැමිණෙන්නවුන් ඔහුගේ මෙහෙයට දක්වන ගෞරවයක් වශයෙන් ඔහුට බුලත් හුරුල්ලක් පිරිනමනු ලබති.
අලුත් අවුරුද්ද ලැබීමට පෙර සියලු ළිප්වල ගින්දර නිවා දැමෙයි. අලුත් අවුරුද්ද ලැබීමත් සමඟ දස`තින් රබන් නාදය ඇසෙන්නට පටන් ගනී. ළිප් ගිනි මෙලවනුයේ නැකතට අනුව ය. එදින විශේෂ බතක් පිස කැවුම්, කොකිස්, අලුවා වැනි රසකැවිලි සමඟ එය අනුභව කරති. එදින සියලු දෙනා හැඳ සිටිනුයේ ජ්‍යොතිෂකරු නියම කරන වර්ණයේ ඇඳුම් පමණි.
නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වලට යාම ඇරඹෙනුයේ ඉන් පසුව ය. මෙහිදී ගම් ප්‍රධානියාගේ නිවසට තෑගි මල්ලක් රැගෙන යාම ද නොවැරදීම සිදුවේ. මේ අතර සමහරක් පන්සල් ගොස් එහි දොරටුව අද්දර කිරි උතුරුවා ඒ කිරි පන්සල් බිම පුරා ඉසිති.
ඉන්පසු නැටුම්, ගැයුම්, වැයුම්වලින් යුතු මෙම උත්සවය දින දෙක තුනක් පැවැත්වේ. මෙහි කළගෙඩි සෙල්ලම් ආදිය ද දැකිය හැක. මේ අතර කාන්තා ස්වරූපයෙන් සැරසුණු බොරු කකුල්කරුවෝ දරුවන්ට සිනා ඉපදවීමට සමත් වෙති.විවිධ සතුන්ගේ ස්වරූප දක්වන වෙස් මුහුණු පැළඳ ගත් කෝලම් නැටුම් කාගෙත් සිත් සනසවන සුළුය.
අලුත් අවුරුදු උත්සවය නිමාවනුයේ හිස තෙල් ගෑමෙනි. නැකත්කරු විසින් ලබාදෙන නැකතට අනුව පවුලේ වැඩිහිටියන් විසින් මෙය සිදු කරනු ලබයි.
ශාක සාරවලින් තනා ගනු ලබන නානු එම පවුලේ වැඩිහිටි පිරිමියකු විසින් එකි’නෙකා කැඳවා හිස් මුදුණේත්,නළල් තලයේත්, ගෙල පෙදෙසේත් ආලේප කරනු ලැබේ. ඔහු එසේ කරනුයේ මෙලෙස කියමිනි.මේ නානු ආලේප කරනුයේ මහා බ්‍රහ්මයාගේ අතිනි. ගැරඬියාට අං එනතුරු, ඇසල කොටසේ දළු ලන තුරු, කළු කපුටා සුදු වෙන තුරු ඔබ ජීවත් (ආයු බෝ) වේවා !මෙහිදී නැකත්කරු විසින් පැවසූ දිසාවට මුහුණ ලා සිටිය යුතු අතර ඒ දිනයට නියමිත ග්‍රහයාට අයත් වෘක්ෂයේ පත්‍ර හිසට ද, ඊට පෙරදිගට අයත් ග්‍රහයාට අයත් වෘක්ෂයේ පත්‍ර පයට ද තැබෙන අතර ඔහු සිටගත යුත්තේ ඒ පත්‍ර මතය. හිස තෙල් ගෑම තෙක් ගැමියෝ කිසිදු වැඩපලක නොයෙදෙති. දුර ප්‍රදේශවල සිට පැමිණි ඥාතීන් යළි නික්මෙනුයේ ද හිස තෙල් ගෑමෙන් පසුවය.(උපුටා දැක්වීම අවසන්)

බ්‍රෝහියර්ගේ ඉහත සඳහන් විස්තරයට අනුව විසිවන සියවසේ මුල් කාර්තුවේ දී ද එය ග්‍රාමීය මට්ටමේ උළෙලක් මිස අද ඇතැමුන් හඬ නඟන අන්දමට ජාතික උත්සවයක් නොවූ බව පැහැදිලි ය. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා අවශ්‍ය නැකත් පත්‍රය ගමේ ජ්‍යොතිෂකරුවා වෙතින් “බුලත් හුරුල්ලකට” ලබාගත හැකිවීම එකල මෙම උත්සවයේ පැවැති සරල චාම් බව මැනවින් විදහා දක්වයි. එමෙන්ම වර්තමාන සිංහල අලුත් අවුරුදු උත්සවයේ දක්නට ඇති සේම දැනට දක්නට නොමැති පන්සල් දොරටු ආශ්‍රිතව කිරි ඉතිරවීම, කාන්තා වෙස්ගත් බොරු කකුල්කරුවන්ගේ දර්ශන, හිස තෙල් ගෑමේ දී ශරීරයේ වෙනත් ප්‍රදේශවල ද තෙල් ගෑම ආදියෙන් අපට පැහැදිලි වනුයේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ විකාශනයේ දී එහි එකිනෙක අංග යම් යම් ප්‍රතිශෝධනයට ලක්ව ඇති බවකි. නමුත් 1940 දශකයෙන් අසු අප රට පුරා ව්‍යාප්ත වූ අලුත් අවුරුදු උත්සව පා පැදි තරඟ,ගම හරහා දිවීම,අවුරුදු කුමාරි නම් වන රූප සුන්දරී තරඟ සංගීත පුටු ආදී එංගලන්ත සම්ප්‍රදායේ තරඟ ඉසව් වලින් අපිරුණු අලුත්ම ආකෘතියේ අවුරුදු සැමරුමකි.එමෙන්ම නූතන අධි පරිභෝජනවාදී සමාජයේ දුර්දාන්ත ලක්ෂණයක් වන කැපී පෙනෙන පරිභෝජනය(Conspicuous consumption) ප්‍රධාන පුරුෂාර්ථය කර ගත් නවතාලයේ අවුරුදු උළෙල යනු අත මිට සරු කර ගැනීමේ මායාකාරී සංකල්පය සිත දරා සිදු කර ගන්නා තියන අත මිටත් නැති කර ගන්නා “මඟුලක්” බව අකමැත්තෙන් වුව පිළිගන්නට අපට සිදු වෙයි.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර