කෝවිඩ් වසංගතයේ පැමිණීමත් සමගම අපි මුහුණට මාස්ක් එකක් දැමීමටත්, නිරන්තරයෙන් සැනිටයිසර් භාවිතා කර දෑත් පිසදා ගැනීමට සහ සෝදා ගැනීමටත් හුරු වූයෙමු.
කෝවිඩ් එන්නට පෙර අපට මාස්ක් සම්බන්ධයෙන් තිබූ ලොකුම අත්දැකීම වූයේ රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සැත්කම් වැනි දේවල්වල දී මාක්ස් භාවිතා කරනු දැකීම ය. ඒ හැරුණු විට වකුගඩු සැත්කම් වැනි බරපතළ ශල්‍යකර්මවලට භාජනය කළ රෝගීන් නිරන්තරයෙන් විෂබීජවලින් ආරක්ෂා විය යුතු නිසා මාස්ක් පැළඳ සිටියා මතක ය. දූවිලි අසාත්මික වන අය සහ දූවිලි සිරුරට ඇතුළු වීම ප්‍රතික්ෂේප කරන අය මෝටර් සයිකල්වලින් ගමන් යෑමේදී නාසය සහ මුඛය ලේන්සුවක් වැනි දෙයකින් මාස්ක් එකක් ආකාරයට ආවරණය කරගෙන යන අන්දම ද එදා මෙන්ම අදත් සුලබ දසුනක් වේ. එවැනි සුවිශේෂ හේතුවක දී මිස මාස්ක් යනු අපගේ එදිනෙදා අවශ්‍යතාවන්වලට කිසිසේත්ම අයත් එකක් වූයේ නැත. නමුත් කෝවිඩ් වසංගතයෙන් පසු මාස්ක් එක සමාජයේ පොදු අවශ්‍යතාවක් බවට පත් විය. ඉන්පසු ලොකු කුඩා භේදයක් නැතිවම ඕනෑම අයකු මාස්ක් එකක් භාවිතා කරන තත්ත්වයට අපේ රටද පත් වූයේය. නමුත් මේ වන විට කෝවිඩ් පිළිබඳ අවදානම බොහෝ දුරට පහවී ගොස් ඇති නිසා තවදුරටත් අපට මාස්ක් සහ සැනිටයිසර්වලින් පලක් වේද?
මේ උත්සාහ කරන්නේ ඒ පිළිබඳව සොයා බලන්නට ය.
මාස්ක් භාවිතයට අප හුරු වූයේ කෝවිඩ් වසංගතය පැමිණීමෙන් පසුව බව සැබෑ ය. කෝවිඩ් තිබුණත් නැතත් දූවිලි, විෂ දුම් සහ තවත් විවිධාකාර වූ පියවි ඇසට නොපෙනෙන සියුම් අංශු සදාකාලිකවම අප ජීවත් වන පරිසරයන්හි සුවසේ රැඳී පවතී. මේවා සමග විවිධාකාර වූ රෝග කාරක වෛරස් වැනි විෂබීජ ද පවතින අතර කිසිදු බාධාවකින් තොරව ඒවා අපගේ ආශ්වාස වාතයත් සමග නාසය හරහා සිරුර තුළට ගමන් කළ හැකිය. අපට වැළඳිය හැකි නොයෙකුත් ආසාදනවලින්, විශේෂයෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි වෛරස් ආසාදනවලින් වැළකී සිටීමට මාස්ක් එකක් යනු ඉතා හොඳ ආරක්ෂකයෙකි. එනිසා කෝවිඩ් පිළිබඳව මුළුමනින්ම අමතක කර දැමුවත් මාස්ක් එක අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස සලකා නිවසින් බැහැරට යනවිට පැළඳිය හැකි නම් එයින් ඔබට මනා ආරක්ෂාවක් ලැබෙනු ඇත.
වෛරස් වැඩිපුරම අපේ ශරීරයට ඇතුළු වන්නේ නාසයෙන් සහ මුඛයෙනි. වෛරස් ආසාදනය වූ අයකු කතා කරන විට, කැස්ස සහ කිවිසුම් පිටකරන විට, කෑගසන විට, ගීත ගයන විට මේ ඕනෑම ආකාරයකින් නාසයෙන් හා මුඛයෙන් නිකුත් වන බිඳිති අප ජීවත් වන පරිසරයට එකතු වෙයි. එමගින් නිරෝගී අයෙකුට එම වෛරස ආසාදනය විය හැකිය. මේ නිසා ශ්වසන පද්ධතියේ ඇති වන ආසාදන වළක්වා ගන්නට මාස්ක් එකකින් සැලසෙන ප්‍රයෝජනය පිළිබඳව ඔබට පැහැදිලි වී ඇතැයි සිතමු.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම 2023 ජනවාරි මාසයේ ප්‍රසිද්ධ කරන ලද ප්‍රකාශයක මාස්ක් විශේෂයෙන් භාවිතා කළ යුත්තේ කවුද යන්න පැහැදිලි කර ඇත. ඒ මෙසේ ය.
1. කෝවිඩ් රෝගියකුට මෑත කාලයේ නිරාවරණය වූ පුද්ගලයෙක්
මෙහිදී එම පුද්ගලයාට කෝවිඩ් රෝග ලක්ෂණ නොතිබුණත්, එය වැළඳීමට අවකාශයක් නැතැයි සිතිය නොහැකි නිසා සෙනග ගැවසෙන ස්ථානයකට යන විට අනිවාර්යයෙන්ම ඒ තැනැත්තා මාස්ක් එකක් භාවිතා කිරීම වැදගත් වේ.
2. මහජනයා වැඩිපුර ගැවසෙන, නිසි වාතාශ්‍රයක් නොලැබෙන ආවරණය වූ ස්ථානයකට යන විට
3. වෛරස් ආසාදනයන් නිසා බරපතල සංකූලතාවයන්ට පත්විය හැකි තත්ත්වයේ පුද්ගලයන්
පිළිකා රෝගීන්, ඇදුම රෝගීන්, ශ්වසන පද්ධතියේ වෙනත් රෝග තිබෙන අය, දියවැඩියා රෝගීන්, හදවත් රෝගීන්, වකුගඩු රෝගීන්, වකුගඩු සහ වෙනත් අවයව බද්ධ කළ රෝගීන්, ගැබිණි මව්වරුන් , වයස 65 ඉක්ම වූවන් වැනි අය පොදු ස්ථානවලට යන විට මාස්ක් එකක් පැළඳීම අවශ්‍ය වේ.
මේ හැරුණු විට ඕනෑම අයෙකු වඩා හොඳ වාතාශ්‍රයක් නැති සෙනග පිරුණු කාමරයකදී, සෙනග පිරුණු බස්රථ දුම්රිය වැනි පොදු ප්‍රවාහනයකින් ගමන් කරන විට, රෝහල් , සිනමා ශාලා, රැස්වීම් ශාලා වැනි සෙනග පිරුණු ස්ථානවලට යන විට මාස්ක් එකක් පැළඳීම තුළින් ආරක්ෂාවක් ලැබේ. එයින් තමන්ට සේම, තමන්ට ශ්වසන පද්ධතියේ ආසාදනයක් තිබේ නම් අනිකුත් අයට ද ආරක්ෂාවක් ලැබේ. නමුත් මෙවැනි පොදු ස්ථානයක දී මිස, නිරෝගී පුද්ගලයකු නිතර මාස්ක් එකක් පැළඳ සිටීම එතරම්ම අවශ්‍ය කරුණක් වන්නේ නැත.
මේ මොන පැහැදිලි කිරීම් කළත් මාස්ක් එකක් නිවැරදිව පළඳින්නේ නැත්නම් මාස්ක් පැළඳීමේ අර්ථයක් නැත.
එසේනම් මාස්ක් එක පැළඳීම සම්බන්ධයෙන් ඔබ විශේෂයෙන් සැලකිය යුතු කරුණු මොනවා දැයි දැන් අපි විමසා බලමු.
* මාස්ක් එක පැළඳීමට පෙර අත් සෝදා පිරිසිදු කර ගත යුතුය.
* මාස්ක් එක පැළඳගත් පසු නාසය, මුඛය සහ නිකට මාස්ක් එක මගින් හොඳින් ආවරණය වී තිබිය යුතුය. නාසයෙන් පහළට සිටින පරිදි මාස්ක් එකක් පැළඳීම යනු මාස්ක් නොපැළඳීම හා සමාන වූ ඵල රහිත ක්‍රියාවකි. එසේම තමන්ගේ මුහුණට සරිලන, හොඳින් තද වී සිටින අන්දමේ මාස්ක් එකක් පැළඳීම ද අනිවාර්ය වේ.
වඩා හොඳ මාස්ක් වර්ගය කුමක්ද?
සාමාන්‍ය පුද්ගලයන්ට වඩාම උචිත වන්නේ සර්ජිකල් මාස්ක් හෙවත් මෙඩිකල් මාස්ක් නමින් හඳුන්වන පාවිච්චියෙන් පසු ඉවත දමන නිල් පැහැති මාස්ක් වර්ගයයි. මෙය මේ වනවිට නිල් පැහැයට අමතරව වෙනත් විවිධ පැහැයන්ගෙන් වෙළඳපොලෙහි පවතී. මෙම මාස්ක් වර්ගය වරක් පාවිච්චි කිරීමෙන් පසු ඉවත දැමිය යුතුය. සෝද සෝදා පාවිච්චි කිරීමට මෙම මාස්ක් වර්ගය සුදුසු නොවේ.
මේ හැරුණු විට සාමාන්‍ය පුද්ගලයන්ට භාවිතා කිරීමට සෝදා පාවිච්චි කළ හැකි රෙදිවලින් සැකසූ මාස්ක් වර්ග ද සුදුසු වේ.
KN 95 සහ N 95 මාස්ක් වර්ග සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නේ රෝගීන් සමග වැඩ කරන රෝහල් කාර්ය මණ්ඩලවල අයට ය. එම මාස්ක් පොදු ජනතාව පැළඳීම එතරම් අවශ්‍ය නොවේ.
එයට හේතුව, මෙම මාස්ක් වර්ගවලටම අයත් වන වෑල් එකක් සහිත මාස්ක් ( mask with a valve) වර්ගය සාමාන්‍ය ජනතාවට සුදුසු නොවීම ය. එම මාස්ක් වර්ගය පැළඳීම තුළින් පිටතින් එන විෂබීජ තම ශ්වසන පද්ධතියට ඇතුළු වීම වැළකුණත්, තමාගෙන් එළියට හුස්ම පහසුවෙන් පිටවන නිසා තමන්ට ශ්වසන පද්ධතියේ ආසාදනයක් ඇත්නම් එම විෂබීජ අවට පරිසරයට නිකුත් වීම සිදුවේ. ඒ නිසා තමන්ගේ රෝගය අනෙකුත් අයට බෝ වීමට පුළුවන.
සාමාන්‍යයෙන් නියමිත ප්‍රමිතියට අනුව නම් ඕනෑම මාස්ක් එකක තට්ටු (layers ) තුනක් තිබිය යුතුය. පිටතින් වතුර උරා නොගන්නා පොලියෙස්ටර් රෙද්ද, මැද පොලිප්රොෆිලින් වර්ගයේ රෙද්ද සහ ඇතුළත තට්ටුව කපු වශයෙන් මෙම තට්ටු තුන සකස් විය යුතු වේ.
මාස්ක් එකක අපිරිසිදුම පැත්ත වශයෙන් සලකන්නේ පිටතට නිරාවරණය වන පැත්තයි. බාහිර පරිසරයෙන් එන සියලු විෂබීජ එම පිට පැත්තේ තැවරේ. එම නිසා කිසිවිටෙකත් ඔබ පැළඳ සිටින මාස්ක් එකේ පිට පැත්ත ස්පර්ශ නොකළ යුතුය. මාස්ක් එක ගැලවීමේදී පටි වලින් අල්ලා ගැලවීම කළ යුතුවේ. කෑම ගැනීම වැනි කාර්යයකදී මාස්ක් එක ගලවා තබා නැවතත් දමා ගැනීමට සිදු වන අවස්ථාවල එය ප්‍රවේශමෙන් ගලවා ඇතුල් පැත්තට නවා පොලිතීන් කවරයක දමා අත්බෑගය වැනි තැනක තැන්පත් කළ යුතුය. මාස්ක් එක ගලවන මොහොතේ හොඳින් අත් සෝදා ගත යුතු අතර එය නැවත පැළඳීමට පෙර ද අත් සෝදා ගත යුතු වේ. නිවසට ගිය පසු ඔබ පැළඳ සිටින මාස්ක් එක ඉවත දමන වර්ගයේ එකක් නම් ප්‍රවේශමෙන් ගලවා පසුව පුළුස්සා දමන තෙක් බින් එකක දමා වසා තැබීමට අමතක නොකරන්න. සෝදා පැළඳිය හැකි රෙදි මාස්ක් එකක් නම් සෝදා හොඳින් අව්වේ වේලෙන්නට දමන්න.
සැනිටයිසර් වර්ගයකින් අත් සේදීමේ වැදගත්කම ද කෝවිඩ් තිබුණත් නැතත් සැමදා එක සේ නො වෙනස්ව පවතින්නකි. නමුත් මේවායේ මිල වැඩි නිසා ඒ වෙනුවට සබන් යොදා අත් සේදීමට හුරුවීම සුදුසු වේ.
කොතලාවල ආරක්ෂක රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය දිලිනි නක්කාවිට
සැකසුම – ඉන්දු පෙරේරා