චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යයට සියල්ල සූදානම් !

මැයි 6 බ්‍රිතාන්‍යයයේ ඉතා වැදගත් සිදුවීමක් සිද්ධවීමට නියමිත දිනයකි. එනම් 3 වැනි චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය යි. දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු චාල්ස් පසුගිය සැප්තැම්බර් 08 වැනි දින රජකමට පත් වුවත් නිල වශයෙන් ඔහු අභිෂේක කරනු ලබන්නේ මැයි 6 වැනි දින ය. මෙහි දී චාල්ස් රජුගේ බිසව කැමිලා රැජින ලෙස අභිෂේක කිරීම ද සිදු වේ.

මෙම මහා උත්සවය සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. මේ වනවිට බ්‍රිතාන්‍යය සහ විශේෂයෙන් ලන්ඩන් නගරය මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ලහලහියේ සූදානම් වෙමින් සිටින බව මාධ්‍ය වාර්තා අනුව පෙනී යයි. ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේ පැවැත්වෙන මෙම උත්සවයට සහභාගි වීම සඳහා රජ පවුලේ සාමාජිකයෝ මෙන්ම දේශීය විදේශීය අමුත්තෝ රැසක් ඇරයුම් ලබා සිටිති. බ්‍රිතාන්‍යය තුළ මෙවැනි රාජාභිෂේක මංගල්‍යයක් පැවැත්වෙන්නේ වසර 70 කට පසුව වීම විශේෂත්වයකි. එළිසබෙත් මහ රැජිනගේ අභිෂේකය සිදු වූයේ 1953 වර්ෂයේ යි.

කෙසේ වෙතත්, චාල්ස් රජුගේ අභිෂේක උත්සවය මහ රැජිනගේ අභිෂේකය තරම් විශාල පරිමාණයේ එකක් නොවන බව ප්‍රකාශයට පත්ව තිබේ. මේ වනවිට රට තුළ පවතින ආර්ථික ගැටලු ආදිය නිසා මෙම අවස්ථාව සඳහා විශාල වියදමක් නොදැරීමට අදාළ අංශ කල්පනා කර තිබිණි. මෙම උත්සවය සඳහා ඇරයුම් ලබා ඇත්තේ ආරාධිතයන් 2,000 ක පමණ පිරිසකි. නමුත් එළිසබෙත් රැජිනගේ අභිෂේකයට 8,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇරයුම් ලබා තිබිණි.

මැයි 6 වැනි දින උදෑසන සිටම ආරාධිත අමුත්තන් වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානය වෙත පැමිණීමට නියමිත ය. ඔවුන් එහි ළඟා වීමෙන් පසු ඊළඟට චාල්ස් රජු දේවස්ථානය වෙත කැඳවාගෙන එන පෙරහර බකිංහැම් මාළිගයෙන් පිටත් වනු ඇත. දේවස්ථානයේ පැවැත්වෙන කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙ.ව. 11 ට යි. මෙහි පළමු අංගය වන්නේ දේව මෙහෙය යි. එය මෙහෙයවනු ලබන්නේ කැන්ටබෙරි හි අගරදගුරු විසිනි.

මෙම උත්සවයේ සෙසු ප්‍රධාන අංග වන්නේ දිවුරුම් දීම, ශුද්ධ වූ තෙල් ගැල්වීම, ඔටුනු පැළඳවීම සහ සිංහාසනාරූඪ කිරීම යි. තෙල් ගැල්වීමේ දී සිදුවන්නේ රජුගේ හිසෙහි, දෑත්වල සහ පපුවෙහි ශුද්ධ වූ තෙල් ගැල්වීම යි. උත්සවයේ සෙසු සියලු අවස්ථා මහජනතාවට මාධ්‍ය ඔස්සේ දැක ගන්නට හැකියාව ලැබුණත් මෙම අවස්ථාව විකාශය කිරීමට රූපවාහිනි ආයතනවලට අවසර නොලැබේ.

දිවුරුම් දීම හැරුණු කොට සෙසු අංග කැමිලා රැජින වෙනුවෙන් ද ඉටු කෙරේ.

දේවස්ථානයේ කටයුතු අවසන් වීමෙන් පසු රජු සහ රැජින නැවතත් පෙරහරකින් බකිංහැම් මාලිගය වෙත කැඳවාගෙන එනු ලැබේ. එයින් පසු රජු සහ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් බකිංහැම් මාලිගයේ සඳළුතලයේ සිට ජනතාවට ආචාර කරනු ඇත.

මැයි 7 වැනි දින රාත්‍රියේ පැවැත්වීමට නියමිත සංස්කෘතික ප්‍රසංගය ද මෙම උත්සවයේ ප්‍රධාන අංගයකි. රට තුළ පවතින සංස්කෘතික විවිධත්වය විදහා දැක්වෙන ආකාරයෙන් මෙම ප්‍රසංගය පැවැත්වෙනු ඇති බව සඳහන් වේ. ගීත, නාට්‍ය සහ නර්තන අංගවලින් මෙය සමන්විත වනු ඇත. වින්ඩ්සර් මාළිග පරිශ්‍රයේ පැවැත්වෙන මෙම ප්‍රසංගයට කේටි පෙරී, ලයනල් රිචී වැනි ජනප්‍රිය ශිල්පීන් ද සහභාගි වීමට නියමිත ය.

ආරාධිත අමුත්තන්, කලා ශිල්පීන් කෙතරම් මෙම උත්සවවලට සහභාගි වුවත් ඒ කිසිවකට සහභාගි නොවන විශේෂ පුද්ගලයකු ද මේ දිනවල කතාබහට ලක් වේ. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් රජුගේ පුත් හැරී කුමරුගේ බිරිඳ වන මෙගන් මාර්කල් ය. පසුගිය කාලය පුරා රජ පවුල සමග විවිධ ගැටුම්වලට පැටලී සිටින ඇය සිය මාමණ්ඩියගේ අභිෂේක මංගල්‍යයට සහභාගි වන්නේ නැත. උත්සවයට සහභාගි වන්නේ හැරී කුමරු පමණක් බව මාධ්‍ය වාර්තා කර තිබූ අතර බකිංහැම් මාලිගය ද එය සනාථ කර තිබිණි.

මෙගන් සහ රජ පවුල අතර කලෙක පටන්ම යම් යම් ආතතීන් පවතින බව රහසක් නොවේ. ඇයගේ ප්‍රකාශවලින් පෙනුණේ රජ පවුල තුළ දී යම් කෙණහිලිකම්වලට ලක් වීමට ඇයට සිදු වූ බවයි. මෙගන් කළු ඇමරිකානු සම්භවයක් සහිත කාන්තාවකි. මෙවැනි කාරණා ද මෙම කෙණහිලිකම්වලට හේතු වී තිබූ බවක් මෙගන්ගේ ප්‍රකාශවලින් පෙනිණි. ඇය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක නොවීම, කලක් නිළියක ලෙස කටයුතු කර තිබීම, ඇගේ පවුල් පසුබිම පිළිබඳ තිබූ ගැටලු ආදිය නිසා මෙගන් රජ පවුලට එතරම් ගැලපෙන කෙනෙකු නොවන බවට හැඟීමක් ද ඇතැම් පාර්ශ්ව තුළ තිබිණි. රජ පවුල සමග සිටි කාලයේ තමාට වරක් දිවි නසා ගැනීමට පවා සිතුණු බවක් ද ඇය එක්තරා රූපවාහිනි සාකච්ඡාවක දී පැවසුවාය. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබුණේ බි්‍රතාන්‍ය මාධ්‍ය වෙතින් එල්ල වූ ප්‍රහාරයන් ය. මාධ්‍ය තුළ පළ වූ ඇතැම් කතන්දර රජ පවුල විසින්ම පැල කරන ලද ඒවා බවට වරක් හැරී කුමරු චෝදනා කළේය.

මෙම පසුබිම තුළ මෙගන් සහ හැරී කුමරුත්, අනෙක් පැත්තෙන් රජ පවුලත් අතර ආතතිය වඩ වඩාත් උත්සන්න වෙමින් පැවතිණි. පසුගිය වසරේ මහ රැජිනගේ අවමගුල් උත්සවයට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ පවා ඔවුන් දෙදෙනාට යම් යම් කෙණහිලිකම් සිදු වූ බවට කතන්දර පළ වී තිබිණි. මෙගන් රාජාභිෂේකය මග හරින්නේ මෙම අප්‍රසන්න තත්ත්වය හේතුවෙන් විය හැකිය.

කෙසේ නමුත් ඇයගේත්, හැරී කුමරුගේත් වැඩිමල් පුතු වන ආචීගේ සිව්වැනි උපන් දිනය යෙදී ඇත්තේ ද මැයි 6 වැනි දිනටම ය. මේ නිසා මෙගන් තම පුතුගේ උපන් දිනය සැමරීම සඳහා ඇමරිකාවේ රැඳී සිටිනවා විය හැකි යයි ද අදහස් පළ වී තිබෙනු දැකිය හැකි විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර