ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇරඹුණු ස්ත්‍රී දූෂණ නඩුව

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාව දූෂණය කළ බව පවසමින් එක්තරා කාන්තාවක පවරා ඇති නඩුවක් මේ දිනවල මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ ජීන් කැරොල් නැමැති කාන්තාවකි. මේ වනවිට 79 වැනි වියෙහි පසුවන කැරොල් ලේඛිකාවක, මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ කෙනෙකි.

ඇය පවසන ආකාරයට මෙම සිද්ධිය සිදු ව තිබුණේ නවසිය අනූව දශකයේ මැද භාගයේ ය. එනම් මෙයට දශක තුනකට කලිනි. කැරොල් කර ඇති පැමිණිල්ලට අනුව ට්‍රම්ප් ඇය දූෂණය කර තිබුණේ මෑන්හැට්න් නුවර පිහිටි සුපිරි වෙළෙඳසැලකදී යි. ඇය එහි සිටිය දී ඇය වෙත පැමිණි ට්‍රම්ප් කැරොල්ගෙන් යම් උපදෙසක් ඉල්ලා තිබිණි. ඒ කාන්තාවක වෙනුවෙන් මිල දී ගැනීමට සුදුසු තෑග්ගක් ගැනය. එම අවස්ථාවේ තමා තෑගි ලෙස දිය හැකි භාණ්ඩ කිහිපයක් ගැන යෝජනා කළ බව කැරොල් පවසයි. අවසානයේ ට්‍රම්ප් ඇඳුමක් තෝරා ගත් බවත්, එය හැඳ පෙන්වන මෙන් තමාගෙන් ඉල්ලූ බවත් ඇය පවසා තිබේ. පසුව තමා එම වෙළෙඳසැලේ වූ ඇඳුම් මාරු කරන කාමරයක් තුළට ගිය බවත්, ට්‍රම්ප් ද ඊට ඇතුල් වී දොර වසා දැමූ බවත් ඇය සඳහන් කරයි. අනතුරුව ට්‍රම්ප් එම කාමරය තුළ දී තමා දූෂණය කළ බව කැරොල්ගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මෙම සිද්ධියට අදාළව කැරොල් විසින් පවරන ලද නඩුවෙහි සාක්‍ෂි විභාගය පසුගිය 25 වැනි දින ආරම්භ විය. එහි දී මුලින්ම සාක්‍ෂි දෙමින් ඇය ඉහත සිද්ධිය සම්බන්ධයෙන් තවත් විස්තර ඉදිරිපත් කර තිබිණි. එය ඉතා වේදනාකාරී අත්දැකීමක් වූ බවත්, තමා ඔහුගෙන් ගැලවෙන්නට දැඩි උත්සාහයක් ගත් බවත්, විනාඩි කිහිපයකින් සිද්ධිය අවසන් වූ බවත්, පසුව හැකි ඉක්මනින් වෙළෙඳසැලෙන් පිටව ගිය බවත් ඇය එහි දී පවසා තිබේ. කෙසේ වෙතත්, කැරොල් මේ ගැන එම අවස්ථාවේ පොලිසියට පැමිණිලි කර තිබුණේ නැත. ඒ වෙනුවට ඇය කර තිබුණේ ඒ ගැන තම මිතුරියන් දෙදෙනකු හා පැවසීම යි.

මෙම සිද්ධිය ගැන කැරොල් පළමු වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ 2019 වසරේ ය. ඒ, ඇය විසින් ලියන ලද ලිපියකින් සහ පළ කරන ලද පොතකිනි. ඒ වනවිට ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්ව සිටියේය.

එම අවස්ථාවේ ට්‍රම්ප් මෙම චෝදනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළ අතර ඔහු පවසා සිටියේ කැරොල් බොරු කියන බවයි. එමෙන්ම තමා ඇය නොහඳුනන බවක් ද ඔහු පැවසීය. ඇය ඇයගේ පොත් විකුණා ගැනීම සඳහා මෙවැනි කතාවක් ගොතා ඇති බවට ද ඔහු චෝදනා කළේය. ට්‍රම්ප් තවදුරටත් පැවසුවේ මේ පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති බවයි. කැරොල් තමාගේ රුචියට ගැලපෙන කෙනෙකු නොවන බවක් ද ඔහු පවසා තිබිණි.

ට්‍රම්ප් ඇයගේ චෝදනා බොරු යයි කියමින් ඒවා ප්‍රතික්‍ෂේප කළ විට කැරොල් ඊට එරෙහිව අපහාස නඩුවක් ද පැවරුවාය. කෙසේ වෙතත් ට්‍රම්ප් තවමත් ඇයගේ චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් සිටියි. මේ කියන ආකාරයට තමා ඇය දූෂණය කළා නම් ඒ අවස්ථාවේ ‘ඇය කෑ ගැසුවේ නැද්ද? කිසිවකු මෙය දුටුවේ නැද්ද? ඊට සාක්‍ෂිකරුවන් කව්රුත් නැද්ද?’ යයි විමසමින් පසුගිය දිනෙක ද ට්‍රම්ප් තම සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් යොදා තිබිණි. සුපිරි වෙළෙඳසැලක් තුළ මෙවැනි සිද්ධියක් සිදුවිය හැකි යයි සිතීම හාස්‍යජනක බවක් ද ට්‍රම්ප් එක් අවස්ථාවක පැවසුවේය.

පසුගිය දා ආරම්භ වූ නඩු විභාගයේ දී කැරොල්ගෙන් හරස් ප්‍රශ්න අසන අවස්ථාවේ ට්‍රම්ප්ගේ නීතිඥයන් සහ ඇය අතර උණුසුම් වාද විවාද ඇති වූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. ට්‍රම්ප් ඇය දූෂණය කළා නම් එම අවස්ථාවේ ඇය කෑ නොගැසුවේ මන්දැයි ට්‍රම්ප්ගේ නීතිඥයකු ද ඇයගෙන් විමසා තිබිණි. තමා එම අවස්ථාවේ කෑ ගැසීමට පවා නොහැකි තරමට දැඩි කම්පනයකින් සහ තැති ගැන්මකින් සිටි බවක් කැරොල් එහි දී පවසා තිබුණාය.

සිද්ධිය සිදු වූ අවස්ථාවේ ඇය ඒ ගැන පොලිසියට පැමිණිලි නොකළේ මන්ද යන ප්‍රශ්නය ද ට්‍රම්ප්ගේ නීතිඥයන් මතු කර තිබිණි. සිද්ධිය ගැන තමා මුලින්ම පැවසූ මිතුරියන් දෙදෙනාගෙන් කෙනෙකු පොලිසියට නොයන මෙන් තමාට පැවසූ බවක් ද එහි දී කැරොල් ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් යනු ඉතා බලවත් පුද්ගලයකු නිසා ඔහු සමග හැප්පෙන්නට යාම මිතුරිය අනුමත නොකළ බවක් ඇය පවසා තිබිණි. ‘ඒක තමයි මටත් අවශ්‍ය වෙලා තිබුණු උපදෙස. ඒ නිසා මා අනුගමනය කළ උපදෙසත් එයයි’ කැරොල් පිලිතුරු දී තිබුණේ එලෙසිනි.

මෙම නඩුව තවමත් ඉදිරියට යමින් තිබේ. සති දෙකක පමණ කාලයක් එය පැවැත්වෙනු ඇති බව සඳහන් ය. ට්‍රම්ප් මෙහි දී සාක්‍ෂි දෙනු ඇත් ද යන්න තවම නිශ්චිතව සඳහන් නොවේ. ජීන් කැරොල් මෙම නඩුව පවරා ඇත්තේ වන්දි ඉල්ලමිනි.

මේ වනවිට ට්‍රම්ප් නඩු කිහිපයකම පැටලී සිටින අතර මෙම දූෂණ නඩුව ඒ අතරින් එකක් පමණි. මේ සියල්ල අතරේ ඔහු 2024 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට සූදානම් වෙයි. එම ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්‍ෂයෙන් නාම යෝජනා දිනා ගැනීමේ සටනට තමා ඉදිරිපත් වන බව ඔහු පසුගිය නොවැම්බර් මාසයේ නිල වශයෙන් නිවේදනය කළේය. ඔහුගේ ජනාධිපති සිහිනයට මෙම නඩුහබවලින් කවර බලපෑමක් එල්ල වේවි ද යන්න බොහෝ දෙනා කුතුහලයෙන් බලා සිටින කාරණයක් වී තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර