බුදුන් ශ්‍රී ලංකාවේ පහළ වූ කතාව අනතුරු දායක මුසාවක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

බුදුන් වහන්සේ ලොව පහළ වූයේ ලෝක සම්මතය පරිදි ඉන්දියාවේ නොවන බවත් සම්බුදු උපත සිදු වූයේ ශ්‍රී ලංකාවේ බවත් පැවසෙන විසංවාදී මතයක් මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇතැම් කොටස් තුළ කෙමෙන් ආරෝපණය වෙමින් පවතී.එය ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය පුරා පැතිර යන තරමට අපගේ බෞද්ධ සාහිත්‍යය බෞද්ධ සංස්කෘතිය කෙරෙහි එල්ල වන අවමාන තර්ජනය සුළුපටු නැත.එමෙන්ම බුදුන් වහන්සේ ලොව පහළ වූයේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ බව ජාත්‍යන්තරය තෙක් පැතිර යාම ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකේය සමාජය ගෝත්‍රික මට්ටම තෙක් පල්ලම් බැස්සවීමට ද සමත් වන්නකි. එබැවින් තව දුරටත් ඒ සම්බන්ධයෙන් මුණිවත රැකීම නොකළ යුත්තක් සේ අපට හැඟේ. මෙම නිසරු මතවාදය පිළිබඳව මූලිකව විමසා බැලෙන විට ඉතා පැහැදිලිවම පෙනී යන කරුණක් තිබේ. එනම් එය ශ්‍රී ලාංකේය මධ්‍යම පාන්තික සමාජය තුළ පැතිර යමින් පවත්නා එක්තරා අන්දමක උන්මාදයක් බවකි.

දැනට වසර ගණනාවකට පෙර බෞද්ධ සමාජයේ එක් කණ්ඩායමක් විසින් පතුරුවන මෙම මතවාදය පැතිරවීමට මේ වන විට එවැනි කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලාංකේය ජනතාවගේ බහුතරය අදහන සේම ලෝකයේ ආගමික ශාස්තෘ වරුන් අතුරින් ඥානවිමංසාදී (Epistemology ) දහමක් දෙසූ ආගමික ශාස්තෘවරයකු ලෙස සමස්ත ලෝක ප්‍රජාවේම දැන හැඳුනුමට ලක් වූ බුදුන් වහන්සේ ලොව පහළ වීම සම්බන්ධ ලෝක සම්මතය අතික්‍රමණය කළ මෙවන් නරුම මතයක් අප සමාජය තුළ ව්‍යාප්ත වීම සුළු කොට තැකිය හැක්කක් නොවේ. බුදු උපත ශ්‍රී ලංකාවේ සිදු වූ බවට පිළිගන්නා පිරිස් අතරේ විවිධ විෂයන් සම්බන්ධයෙන් විශේෂ සුදුසුකම් ලත් එමෙන්ම සමාජ සම්මතයට අනුව ඉහළ ස්ථාවරයන් හි පසුවන්නෝ ද සිටිති. මෙහිදී අප ඔවුන් තුළ පවත්නා එම ආකල්පය විෂමතාව දකිනුයේ සමකාලීන පන්තිමය විලාසිතාවක් සහ පන්නයක් වශයෙනි.නූතන සමාජයේ මධ්‍යම පාන්තිකයන් වශයෙන් යම් සමාජ ස්ථාවරයක් ගොඩනඟා ගැනීමට සැරසෙන්නවුන් ඒ සඳහා තම අනන්‍යතාවයන් ගොඩනඟා ගැනීමේ විශේෂිත උපාය මාර්ග යොදනු පෙනේ.

මීට දශක කිහිපයකට පෙර කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී සිංහබාහු, මනමේ නාට්‍යයන් නොබැලීම සේම මෑතක සිට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බැලීමට නොයාම ආදිය තම මධ්‍යම පාන්තික සමාජමය ස්ථාවරය සම්බන්ධ අඩුවක් සේ සළකන්නෝ ද වෙති. එමෙන්ම බුදුන් ලංකාවේ ඉපදුණු බවට වන මෙම නරුම මතවාදය පිළිගැනීම සහ එය ව්‍යාප්ත කරවීමට කටයුතු කිරීම මඟින් තම පැලැන්තිය ගතානුගතිකත්වයයෙන් අත්මිදුණු නවීන ආකල්ප පදනම් කරගත් පිරිසක් සේ සමාජය හමුවේ පෙනී සිටීමට වෙර දරන පිරිසක් ද හිදින බව මම පෞද්ගලිකවම දනිමි.එහෙත්, එය මෙම සමාජ ව්‍යාධියේ මතු පිට ලක්ෂණ මිස සැබෑ රෝග නිධානය නොවන බව ද විශේෂයෙන් කිව යුතු ය.

ලොව ආගමික ශාස්තෘවරුන් අතුරින් ශාස්ත්‍රීය පදනමින් එෛතිහාසිකත්වය තහවුරු කළ හැකි ශාස්තෘවරුන් අතුරින් බුදුන් වහන්සේ ප්‍රමුඛස්ථානයකට ලක් වන්නාහ. ඒ ඓතිහාසිකත්වය තහවුරු වී ඇත්තේ උන්වහන්සේ ලොව පහළ වූ බවට නිසැක ලෙසම තහවුරු වූ සමකාලීන භාරතීය සමාජ, ආර්ථික සහ සංස්කෘතික වටපිටාව ද පදනම් කර ගනිමිනි. ඒ අනුව සහ බුද්ධ චරිතය සහ ක්‍රිස්තු පූර්ව සයවන සියවසේ භාරතීය සමාජමය පසුබිම ගසට පොත්ත මෙන් එකි’නෙකට බද්ධව පවතින බව ලෝක සම්මතයකි. එවන් පසුබිමක් යටතේ බුදුන් ලොව පහළ වූ ජම්බුද්වීය ඉන්දියාවට නොව ශ්‍රී ලංකාව බවට පැවසෙන කිසිවකුගේ මායාකාරී මතයක් මේ වන විට සමාජයේ විවිධ කොටස් අතරට සම්ප්‍රේෂණය වීම බෞද්ධ ද්‍රෂ්ඨිමය වශයෙන් ගත් විට ශාසනික සේම සමාජ මානව විද්‍යාත්මක ද්‍රෂ්ටියෙන් ගත්විට බරපතල සමාජ අර්බුදයක්;පිළලයක් ද වෙයි.

ඕනෑම ශාස්තෘ දේශනාවක් පදනම් කරගත් ආගමික විශ්වාසයක් පසුකාලීනව සමාජ,ආර්ථික, සංස්කෘතික සේම භූගෝලීය සහ දේශගුණික ආදී භෞතික සාධක ද පදනම් කර ගනිමින් විවිධ විපරිනාමයනට ලක් විය හැක. එසේ සිදුකෙරෙන යාවත්කාලීන සිදුවීම් රෙපරමාදුකරණය පොතෙස්තන්ත්‍රකරණය (Reformation/Protestant ) ආදී නිකායන් වශයෙන් හඳුන්වනු ලැබේ.ඒ අතරේ තවත් පිරිස් තම තමන්ගේ පටු ආත්මාර්ථකාරී දේශපාලන ආදී අරමුණු මුල් කොට එම ආගමික ඉගැන්වීම් වල යම් යම් කොටස් උළුප්පා දක්වමින් ඒ අනුව
අත්තනෝමතික ලෙස කටයුතු කරති. ප්‍රායෝගික වශයෙන් බලන විට සමාජයට හිතදායක තත්වයන්ට වඩා අහිත පිණිස බලපාන ඒ තත්වයන් හැඳින්වෙනුයේ මූලධර්මවාදය (Fundamentalism ) ලෙසිනි. ඒ හැරුණු කොට විවිධ හේතූන් මත මුල් ආගමික විශ්වාසයෙන් බෙදී වෙන්වුණු කොටස් ආගමික කල්ලි (Cult ) වශයෙන් ක්‍රියාකරනු ද දක්නට ලැබේ.

මෙලෙස ආගමික විශ්වාසයන් සම්බන්ධ මූඛ්‍ය ධාරාවෙන් බෙදී වෙන්වුණු මූලධර්මවාදීන් සහ ආගමික කල්ලි සාමාජිකයන් හුදෙක් තම කණ්ඩායම් වල අභිමතය අනුව ක්‍රියා කිරීම මත ඔවුන් වෙතින් සමූහ මිනිස් ඝාතන පවා සිදුවීමට ඉඩ තිබේ.1995 වසරේ ජපානයේ,ටෝකියෝ නුවර උමං මාර්ගයක් තුළ විෂ වායු ප්‍රහාරයකින් වටිනා මිනිස් ජීවිත දහ තුනක් ක් අහිමි වනසා දැමූ ඕම් ෂින්රිකෝ නම් මූලධර්මවාදී කණ්ඩායමේ නායක ශෝකෝ අසහාරා එවැන්නෙකි.මෙවැනි ඛේදනීය සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ ලොව පුරා සමාජ මනෝ විද්‍යාඥයන් විසින් මෙබඳු ආගමික කල්ලි නායකයන් තුළ පවත්නා මානසික රෝග, අර්බුද,විෂම හා ව්‍යාකුලතා එවන් බිහිසුණු ක්‍රියාවන් සඳහා බෙහෙවින් ඉවහල් වූ බව අනාවරණය කොට තිබේ.

එලෙස බුදුන්ගේ ලොව පහළවීම සිදුවන ලද්දේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ බවට උපකල්පනය කෙරෙන සමාජ මතය ද මුලදී හුදු පුද්ගල මනෝ භාවයක් පදනම් වූ එකක් බවට තොරතුරු ලැබී තිබේ. එහෙත්, ඒ පුද්ගල සාධකය ඉවත් කොට එම මතවාදය පිළිබඳ විශ්ලේෂණය කිරීම වඩාත් ඵලදායී වනු ඇතැයි යන්න අපගේ විශ්වාසය ය.
බුදුන් ශ්‍රී ලංකාවේ උපන් බවට පැතිර යන සමාජ මතයට කේන්ද්‍රීය වන සාධකය වනුයේ ජම්බුද්වීපය යන්න “ජන් බුද් ද්වීප” යන සාවද්‍ය අර්ථ කථනයක් ලබාදීම බව පෙනෙයි. නමුදු මෙවැනි සංසිද්ධියක් සම්බන්ධයෙන් විමසුම් කිරීමේදී ඒ සඳහා උපයෝගී කරගත යුතු ප්‍රවේශයන් හතරක් තිබේ. ඒ ධර්ම ශාස්ත්‍රීය, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක වශයෙනි.

ජන් බුද් ද්වීප හෙවත් බුදුන් උපන් දිවයින ශ්‍රී ලංකාව බවට තර්ක කරන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන ප්‍රධානතම තර්කයන් නම් ශ්‍රී ලංකාව මිස ඉන්දියාව ද්වීපයක් හෙවත් දූපතක් නොවන බවකි. එහෙත් ද්වීප යන්නෙහි මුල නිරුක්තියට අනුව ද්වීප යනු ද්වි ආප හෙවත් ජලස්ථර දෙකක් අතර පිහිටි භූමිය විනා හුදෙක් දූපතක් (Island ) හෝ කොදෙව්වක් (Islet ) නොවේ. එමෙන්ම ජම්බුද්වීපය යන්න ඉන්දියාව හඳුන්වන ඓතිහාසික ව්‍යවහාරයක් නොවන බව ද මේ පිරිස් කියා සිටිති. ඔවුන් එසේ පවසා හිදිනුයේ පොදු ජන ව්‍යවහාරයට අනුව කිවහොත් ‘කාගේ හෝ දිරච්ච ලනුවක්’ කෑම නිසා බව ඒ සම්බන්ධ ශාස්ත්‍රීය විශ්ලේෂණයක දී මනාව පෙනී යයි.එමෙන්ම “බෝසතාණෝ සියලු සක්වළ දස දහසක් යොදුන් අතරෙහි පන්සීයක් දිවයින්, පන්සීයක් කොදෙවු, පන්සීයක් ක්ෂුද්‍ර ද්වීප වශයෙන් දෙදහසක් දිවයින් පරීක්ෂා කොට බලා මා බුදුවන ජාතියෙහි උප්පත්තියට කවර ද්වීපයක් උතුම් දෝහෝයි පරීක්ෂා කොට අනන්තාපර්යන්ත බුදුන්ගේ උප්පත්ති ස්ථාන වූ ජම්බුද්වීපයෙහි උපදිමියි තීරණය කළහ” යනුවෙන් පැවසෙන ක්‍රි.ව.දහතුන් වන සියවසට අයත් පූජාවලියේ එන පංච මහා විලෝකන( පස් මහ බැලුම්) පිළිබඳ විස්තරය ද මෙම සැබෑ ජම්බුද්වීපය කුමක් දැයි වටහා ගැනීමට අපට ඉඩ සළසා දෙයි.

ජම්බුද්වීපය යනු භාරතය මුල් කොට ගත් ආධ්‍යාත්මික ව්‍යාප්තිය සංකේතය කෙරෙන භෞමික දේශසීමාවකි. ඉන්දීය මානව විද්‍යාඥයන් විසින් තහවුරු කර ගෙන ඇති අන්දමට මෙම ජම්බු ද්වීප යම නාමය සඳහා පාදක වනුයේ මහමෙර අද්දර ඇති ආශ්චර්යමත් ජම්බු වෘක්ෂයක් සම්බන්ධ පුරාණෝක්තියකි. බුද්ධ කාලයට හෙවත් ක්‍රිස්තු පූර්ව සය වන සියවසට වඩා බොහෝ පැරණි ඒ පුරාණොක්තිය මානව ශිෂ්ටාචාරයේ ආදිතම යුගයක් දක්වා දිව යන්නක් බව ඉන්දීය මානව විද්‍යාඥයන් ගේ මතයයි. ඒ අනුව ජම්බුද්වීපය අප රටේ සමහරුන් අර්ථ නිරූපණය කෙරෙන අන්දමට ජන් බුද් ද්වීපය ලෙස හැඳින්වීම ශාස්ත්‍රීය විප්‍රකාරයකි. එසේ නොවන්නට නම් ඔවුන් විසින් අනිවාර්යයෙන් කළ යුත්තක් තිබේ.එනම් ඔවුන් ගේ එම මතය හුදෙක් වචන වලට පමණක් සීමා නොකොට ශාස්ත්‍රීය වශයෙන් එය සනාථ කරවීම ය. හින්දු දේව කතා ඇතුලත් පුරාණ ග්‍රන්ථ දහ අට අතුරින් විෂ්ණු පුරාණය ආදී පැරණිම කෘතීන් හි දැක්වෙන පුරාණොක්ති වලින් ඉස්මතු වන අන්දමට එම ආශ්චර්යමත් ජම්බු ගසේ එක් ගෙඩියක් අලියකු ඇතකු තරම් විශාල ය. ඉදී බෙරි වී මහ මෙර මතට පතිත වන ඒ ජම්බු ගෙඩි ජම්බු නදී නම් මහා ගංගාවක ජලයට මුසුවෙයි. ඒ එසේ ඉදී වැටෙන දැවැන්ත ජම්බු ගෙඩිවල ක්ෂාරය ද ඊට එක්කර ගනිමිනි.එම ගංගා ජලය හා මුසුවන එම ජම්බු ගෙඩි වල කුඩා කොටස් කෙතරම් වටින්නේ ද යත් ඒවා රත්‍රන් වශයෙන් සළකනු ලැබේ.

පැරණි බුද්ධ ප්‍රතිමා පිළිබඳව විස්තර කිරීමේ දී දඹ රන් යන වදන අප ජන සමාජයේ අද පවා භාවිතයට ගැනෙන්නකි.දහ වන සියවසට අයත් දම්පියා අටුවා ගැට පදයට අනුව දඹ රන් සහ ජඹු රන් ලෙස හැඳින්වෙනුයේ ජම්බෝනාද නදියේ උපදින බව පැවසෙන එබඳු රත්‍රන් ය.එම සියවසටම අයත් සියබස්ලකර කෘතියේ ද මේවා දඹ නද රන් ලෙස හැඳින්වෙන අතර ජම්බු මිරිකා ගත් යුෂ ද එහි දඹ පනු ලෙස දක්වා තිබේ.මෙම යුෂ පිළිබඳව දා හතර වන වන සියවසට අයත් සද්ධර්මාලංකාරයේ ද තොරතුරු සඳහන් ය. බුදුන් දවස භාරතය හැඳින්වීම සඳහා ජම්බුද්ධීපය යන වදන යොදා නොමැති කම මත එය ජන් බුද් ද්වීපය ලෙසින් දේශීයකරණයට ලක් කරගැනීමේ දොසක් නොමැති බව කියන්නෝ ද වෙති.ගැමි වහරට අනුව කිවහොත් එය “කන්න හිතුණු විට කබරගොයා ද තලගොයා කර ගැනීම”කි.ඊට හේතුව ඉන්දියාව ජම්බුද්ද්වීපය ලෙස හඳුන්වා ඇති ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක සාක්ෂි ඉන්දියාවෙන් ඕනෑවටත් වඩා සොයා ගත හැකි වීම ය.

අප ගේ වැටහීම අනුව අතීතයේ සිට භාරතය මුල් කොට ගත් ආධ්‍යාත්මික ව්‍යාප්තිය සංකේතය කෙරෙන ජම්බුද්ද්වීපය භෞමික දේශසීමාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට ගෙන එන ලද්දේ ක්‍රි.පූ 268-232 අතර රජ ඉන්දියාවේ රජ කම් කළ අශෝක අධිරාජ්‍යයා විසිනි.එ බව තහවුරු කෙරෙමින් ජම්බුද්ද්වීපය අනුවෙන් සඳහන් සිද්ධපුර, සහශ්‍රම් ආදී අශෝක ශිලා ලේඛන පුරා විද්‍යාඥයන් විසින් කියවනු ලැබ තිබේ.එපමණක් නොව කන්නඩ බසින් ලියැවුණු පසු කාලීන දකුණු ඉන්දීය සෙල් ලිපි වල පවා මෙම ජම්බුද්ද්වීප යන වදන සඳහන් ව තිබීමෙන් අප ජන සමාජයේ පැතිර යන මෙන ජන් බුද් ද්වීප කතාව කෙතරම් දරුණු මිථ්‍යාවක් සේම සමජ පිළිලයක් ද යන්න වටහා ගන්නට අපට හැකි වේ. එමෙන්ම ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ අද්විතීය මූලාශ්‍රය සේ ගැනෙන ක්‍රි. පූර්ව පස්වන සියවසේ ලියැවුණු මහා වංශ කෘතියේ දහ හතර වන පරිච්ඡේදයේ නව වන ගාථා පාඨය මගින් පැවසෙන මිහිඳු හිමියන් එවක මුව දඩයමේ යෙදුණු තිස්ස රජු අමතා කළ බව පැවසෙන‘ජම්බු දීපා ඉධාගාතා’ (දඹදිව සිට ආවෙමු) යන ප්‍රකාශයෙන් ද අතීතයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව තුළ මෙම සැබෑ දඹදිව පිළිබඳ නිවැරදි ස්ථාවරය ස්ථාපිත ව පැවැති බව පෙනෙයි.

මෙවන් පසුබිමක් යටතේ මේ වන විට රට පුරා ව්‍යාප්ත වන ඊනියා ජන් බුද් ද්වීප නරුම සංකල්පය පසුපස ධර්මාශෝක රාජ්‍යයාගේ ප්‍රචාරක කටයුතුවල සිට මේ දක්වා ස්ථාපිතව ඇති භාරතය කේන්ද්‍ර කර ගත් ජම්බුද්දීප නම් ආධ්‍යාත්මික ආධිපත්‍යය සිඳ බිඳ දැමීමේ අන්‍යතර වෑයමක් තිබේද? යන සාධාරණ සැකය අප තුළ හට ගනී.

ප්‍රකට ඉතිහාසඥයකු ද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහල්ලාල් නේරු වරක් පවසා සිටියේ ශ්‍රී ලාංකිකයන්ගේ ආධ්‍යාත්මික සංස්කෘතික මාතෘත්වය පිළිබඳ ගෞරවනීය වගකීම භාරත මාතාව ඉත සිතින් භාර ගන්නා බවකි. එහෙත්, ස්වාධීන ජාතියක් සහ රාජ්‍යයක් වශයෙන් එයට එකඟ වීමේ එරෙහි වීමේ පූර්ණ නිදහස ද අප සතුව තිබේ.නමුදු තුන්වන බලවේගයක මෙහෙයවීම සහිතව හෝ රහිතව හෝ භාරත මාතාවගේ ආධ්‍යාත්මික ආධිපත්‍යය පිටුදැකීමට අවශ්‍ය නම් කළ යුත්තේ ධර්ම ශාස්ත්‍රීය එෛතිහාසික පුරා විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක සාධක මුල් කොට ඒ සඳහා වන ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීම ය. එසේ නොමැතිව ඔය ආකාරයේ ලෝකයා හිනස්සන ශාස්ත්‍රීය වැලිබත් පිසීම නොවේ.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර