ගාන්ධිලාගේ පක්‍ෂයෙන් නරේන්‍ද්‍ර මෝදිට අභියෝගයක්

ඉන්දියාවේ අගමැති නරේන්‍ද්‍ර මෝදි ඒ රටේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේම සිටින ප්‍රබලම නායකයකු බව රහසක් නොවේ. 2014 වසරේ පළමු වරට අගමැති ධුරයට පත් වූ ඔහු මේ වනවිට වසර 10 කට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කර තිබේ. ඔහු බලයට පත් වීමත් සමග එරට එතෙක් ප්‍රබලම දේශපාලන පක්‍ෂයක් වූ ඉන්දීය ජාතික කොංග්‍රස් පක්‍ෂය විශාල පසුබෑමකට ලක් විය. ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි, සෝනියා ගාන්ධි, රහුල් ගාන්ධි වැනි චරිත අයත් වූ එම පක්‍ෂය මේ වනවිට සිටින්නේ ඉන්දියාවේ ජාතික දේශපාලනය තුළ ඔවුන් කලින් සිටි ශක්තිමත් තත්ත්වයට නැවත පත් වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමිනි.

මෙම පසුබිම තුළ මෙම ප්‍රධාන පක්‍ෂ දෙකටම තීරණාත්මක වූ මැතිවරණයක් පසුගිය දා පැවැත්විණි. ඒ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රාන්ත සභා මැතිවරණය යි. එය ප්‍රාන්ත මැතිවරණයක් වුව ද ලබන වසරේ ඉන්දියාවේ මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිත පසුබිම තුළ එයට විශාල වැදගත්කමක් ලැබී තිබිණි. එයින් ජය ගන්නා පක්‍ෂයට මහා මැතිවරණයට මුහුණ දීම සඳහා ලොකු විශ්වාසයක්, තල්ලුවක්, ශක්තියක් ඒ තුළින් ලැබෙන බැවිනි. මේ නිසා කර්ණාටක මැතිවරණයෙන් තම පක්‍ෂවලට ජය හිමි කරදීම සඳහා එම පක්‍ෂ දෙකේම නායකයෝ ඉතා උණුසුම් සටනක නිරතව සිටියහ.

කෙසේ හෝ වේවා, මෙම සටනෙන් මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය පරදවා විශිෂ්ට ජයක් ලබා ගැනීමට කොංග්‍රස් පක්‍ෂය සමත්ව තිබේ. එම පක්‍ෂය පසුගිය කාලයේ වැටී සිටි දුර්වල තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මෙම ජයග්‍රහණය විශාල උත්තේජනයක් ලබා දෙනවාට සැකයක් නැත. එමෙන්ම මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තුළ යම් නොසන්සුන්තාවක් ඇති කිරීමට ද මෙය හේතු වනු ඇතැයි සැලකිය හැකිය. කර්ණාටක ප්‍රාන්ත සභාවේ මෙයට කලින් බලය හිමි කරගෙන සිටියේ භාරතීය ජනතා පක්‍ෂය යි.

කර්ණාටකය යනු දකුණු ඉන්දියාවේ පිහිටි ප්‍රාන්තයකි. දකුණු ඉන්දියානු ප්‍රාන්ත අතරින් භාරතීය ජනතා පක්‍ෂය බලය හෙබ වූ එකම ප්‍රාන්තය එය යි. දැන් එය ද ඔවුන්ට අහිමි වී තිබේ. මෙම ප්‍රාන්ත සභාවේ ආසන 224 න් 136 ක්ම දිනාගන්නට කොංග්‍රස් පක්‍ෂය සමත්ව තිබීම විශේෂත්වයකි. යම් පක්‍ෂයකට එහි තනිවම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන අවම ආසන ගණන 113 කි. නමුත් ඊට වඩා තවත් ආසන 23 ක් දිනා ගැනීමට කොංග්‍රස් පක්‍ෂය සමත් වී තිබේ. තනි පක්‍ෂයක් මෙම ප්‍රාන්ත සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත්ව ඇත්තේ 1985 වසරෙන් පසු පළමු වතාවට යි. භාරතීය ජනතා පක්ෂය හිමි කරගෙන ඇත්තේ ආසන 65 ක් පමණි. පසුගිය කාලයේ ඔවුන් ආණ්ඩු කරද්දී දැක් වූ අකාර්යක්‍ෂමතාව, දූෂණ වංචා චෝදනා, අභ්‍යන්තර ගැටුම් ආදිය භාරතීය ජනතා පක්‍ෂයේ පරාජයට ප්‍රධාන වශයෙන් බල පෑ බව විශ්වාස කෙරේ. අගමැති මෝදි ද මෙම මැතිවරණ සටනේ දී විශාල භූමිකාවක් ඉටු කළ නමුත් පරාජය වලක්වා ගැනීමට ඔහුට ද හැකි වී නැති බව පෙනේ.

කොංග්‍රස් පක්‍ෂයේ කර්ණාටක ප්‍රාන්තයේ නායකයන් මෙම සටනේ දී ඉතා ශක්තිමත්, සමගි සම්පන්න, උද්වේගකර මැතිවරණය ව්‍යාපාරයක් ඉදිරියට ගෙන ගොස් තිබිණි. එමෙන්ම පසුගිය කාලයේ රහුල් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් ජාතික තලයේ ගෙන ගිය අරගල ද මෙම ජයග්‍රහණයට යම් දුරකට බලපාන්නට ඇති බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස යි. මාස කිහිපයකට පෙර ඔහු දියත් කළ දැවැන්ත පාද යාත්‍රාව ද පසුගිය කාලයේ කොංග්‍රස් පක්ෂයට යම් ජීවයක් ලබා දුන් කටයුත්තකි. ඉන්දියාවේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවර දක්වා කි.මී. 4,000 ක පමණ දුරක් ආවරණය කළ මෙම පාද යාත්‍රාව දින 150 ක් පුරා ගමන් කළ එකක් විය.

කෙසේ හෝ වේවා, මෙම වසරේ ඉදිරි කාලය තුළ ඉන්දියාවේ තවත් ප්‍රධාන ප්‍රාන්ත හතරක මැතිවරණ පැවැත්වීමට නියමිත ය. ඒ මධ්‍ය ප්‍රදේශ්, තෙලගානා, චතිස්ගාර්, රාජස්ථාන් යන ප්‍රාන්තවල යි. එම ප්‍රාන්ත මැතිවරණවලදීත් ඉදිරියට ඒමට කොංග්‍රස් පක්‍ෂයට හැකියාව ලැබුණහොත් එයින් ලැබෙන ශක්තිය හරහා 2024 මහා මැතිවරණයේ දී මෝදිගේ පක්‍ෂයට ප්‍රබල සටනක් දිය හැකි තත්ත්වයකට ළඟා වීමට ඔවුන්ට හැකි වනු ඇත. ජාතික තලයේ දී භාරතීය ජනතා පක්‍ෂය තවමත් ඉතාම ශක්තිමත් තත්ත්වයක සිටින බව රහසක් නොවේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර