ආදාහනය හෝ භූමදානය පිණිස මෘත ශරීරයක් නිවසකින් පිටතට ගැනීම සඳහා නැකැත් සාදවා ගැනීමට ද විවිධ පිරිස් ජ්‍යොතිර්වේදීන් වෙත පැමිණෙති. එසේ පැමිණෙන්නවුන්ගෙන් වැඩි පිරිස එම මෘත ශරීරය අසුබ හෝරාවක, අසුබ මොහොතක නිවසින් පිටතට ගැනීම නිසා ජීවත් වන්නවුන් හට විපත් ඇති වේ යන බිය මත එසේ නැකැත් සාදවා ගැනීමට පැමිණෙන බවක් ද පෙනේ. එමෙන්ම එසේ පැමිණෙන්නවුන්ගෙන් බහුතරය එසේ පැමිණෙනුයේ අන්‍යයන් ගේ පෙළඹවීම් මත මිස තමන් තුළ පවත්නා යම් විශ්වාසයක් පෙරදැරිව නොවේ.
තම ජීවිතවල විවිධ වැදගත් සේම යහපත් සංසිද්ධීන් සඳහා මෙන්ම එදිනෙදා ප්‍රායෝගික කටයුතු සඳහා ද නැකැත සාදා ගැනීම පිණිස ජ්‍යොතිර්වේදීන් හමුවට පැමිණෙන පිරිස් දිනෙන් දිනම වැඩි වන අයුරක් පෙනෙන්නට තිබේ.පොදුවේ ගත් කල මිනිස් ජීවිතයක ඕනෑම කටයුත්තක් සම්බන්ධයෙන් නැකතක් පිළියෙල කර දීමේ හැකියාවක් ජ්‍යොතිෂය තුළ තිබේ.නමුත් නැකත සැම විටම යහපත් කටයුතු සඳහා යොදා ගැනෙන බැවින් පාලි භාෂාවෙන් හැඳින්වෙනුයේ සුනක්ඛත්තං(සුබ නැකත) යනුවෙනි. එහෙත්, ඒ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර දීමේ හැකියාවක් යොදා ගන්නා සුබ නැකතට ඇතැයි පැවසීම අතිශයෝක්තියකි. යමක් සම්බන්ධ යහපත් ඉෂ්ටාර්ථ සිද්ධිය ඉටුකර ගත හැකි සාධක බොහොමයක් වන අතර නැකත යනු ඉන් එක් සාධකයක් පමණි. ‘බල සුබ නිමිති පෙරමග නැකතටක් වැඩි’ යන සැළලිහිණි සංදේශයේ එන ඒ සුප්‍රකට කවි පදය ඔබ ද බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. එම කවි පදය මගින් සැළලිහිණි සංදේශය රචනා කළ ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් සැළලිහිණියාට ප්‍රකාශ කරනුයේ පෙරමග නිමිති බැලීම නැකැත් බැලීමටත් වඩා වැදගත් වන බවකි. වර්තමාන සමාජය තුළ ජ්‍යොතිෂයට හිමිව ඇති අති ප්‍රමාණික ජන ප්‍රසාදය නිසා ‘නිමිති ශාස්ත්‍රය’ වැනි පැරණි ගුප්ත ශාස්ත්‍ර රාශියක් අභාවය යමින් පවතින බව ද කිව යුතුම ය.
හුදෙක් ජ්‍යොතිෂමය පදනම පසෙක තිබිය දී මානුෂීය කෝණයකින් ආදාහනය හෝ භූමදානය පිණිස මෘත ශරීරයක් නිවසකින් පිටතට ගැනීම සඳහා ද නැකැත් සාදවා ගැනීම දෙස බැලීමේ දී එහි එක්තරා අසත්පුරුෂ භාවයක් අපට පෙනෙයි. මෙසේ නැකැත් අනුව තම නිවෙස්වලින් පිටමං කර ගැනීමට වෙර දරන බොහෝ මෘත ශරීර වියපත් මාපියන්ගේ ය. ඒ නැකැත් සාදා ගැනීමට පැමිණෙනුයේ ඔවුන්ගේ දූ දරුවන්ය. එමෙන්ම සමහර දූ පුතුන් තම මව්පියන්ගේ අවමංගල්‍යයන්හි දී මෙම නැකැත් බැලීම අප්රකටව රහසිගතව සිදුකරන බවක් පෙනේ. නමුත් සමහරුන් එම අවමංගල්‍ය උත්සව නිමා කොට තම දෙමාපියන්ගේ මෘත දේහ නිවසේ ආලින්දයේ තබාගෙන නැකත එළඹෙන තෙක් අත් ඔරලෝසු බලමින් කල් මරනු අපි දැක ඇත්තෙමු.
මෘත දේහයක් නිවසින් පිටතට ගැනීමට පමණක් නොව අවශ්‍ය නම් එය ආදාහනය හෝ භූමදානය කිරීම පිණිස වුව සුදුසු වේලාවක් සාදා දීමට අවශ්‍ය උපයෝග ජ්‍යොතිර්වේදය තුළ තිබේ. විපත්, ප්‍රත්‍යාරී, වධ ආදී වශයෙන් සඳහන් අසුබ වේලාවන් මඟහැර, අසුබ හෝරා විෂ පංචමය, රාහු කාලය, මරු සිටින දිශාව, පක්ෂියා නිදි සහ මර අවස්ථා මගහැර මෙම නැනැත් සැදීම සිදු කෙරේ. එමෙන්ම යමකුගේ උපත මුල්කොට මෙන්ම විපත හෙවත් මරණය මුල්කොට ගෙන ද කේන්දර තැනීමක් සිදු කෙරේ. ඉන් එම මියගිය අයගේ ඊළඟ භවය හෙවත් සංසාරික දිවිය පිළිබඳ කරුණු දැන ගැනීමට අවශ්‍ය මූලිකාංග ජ්‍යොතිර්වේදය තුළ තිබේ.
එහෙත්, මෙම මෘත දේහ නිවසින් පිටතට ගැනීම පිළිබඳ නැකැත් සම්පාදනයේ අරමුණ ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ ය. එමගින් අපේක්ෂා කෙරෙනුයේ මියගිය තැනැත්තාගේ භවගාමී දිවි පෙවෙත සුගතිගාමි කිරීම නොවේ.
එම මෘත දේහය මුල්කොට එම නිවස වෙත බැල්ම හෙළන අමනුෂ්යාකාරකාදීන්ගේ බලපෑම පිටු දැකීම ය. නොඑසේ නම් මියගිය පුද්ගලයා දුගතිගාමි භවයක ඉපිද තම පැරණි වාසස්ථානය වෙත, නිවහන වෙත බැලුම් හෙළීම වළකාලීම ය.බුදු දහම අනුව වුව ද තමන් ජීවත් වූ පරිසරය සම්බන්ධයෙන් දැඩි ඇලීම් බැඳීම් ඇති කර ගන්නවුන් එසේ තමන්ගේ පැරණි වාසස්ථානය, දූ දරුවන්, ධන ධාන්‍ය ආදිය කෙරෙහි ඇලුම් බැලුම් ඇතිකර ගත හැකි ය. එහෙත්, එම තත්වයන් පිටුදැකීම පිණිස බුදු දහමින් යෝජනා කරන අපාය මාර්ග දෙකක් තිබේ. ඉන් පළමු වැන්න මියගිය ඥාතීන් උදෙසා පින්පෙත් අනුමෝදනා කොට ඔවුන් දුගතිගාමී භවයන් හි ඉපිද සිටි නම් ඉන් අත්මුදවා ගැනීම ය. තමන් තුළ පවත්නා කුසල ශක්තීන් පුබුදුවා ගැනීම ඒ සඳහා බුදු දහමින් අනුමත කෙරෙන දෙවන ක්රමෝපායයි.
යම් පුද්ගලයකු මියගිය පසු ඒ තැනැත්තාට පින් දීම පිණිස සිදු කෙරෙන ප්‍රථම දානය මතක වස්ත්‍ර පූජාව ය.සාමාන්‍ය ජන සමාජයේ මළගිය ප්‍රාණකාරයා නමින් හා පාලි භාෂාවෙන් ඥාති පේතස්ස කාල කතස්ස (මියගිය ඥාතියා) නමින් හඳුන්වන තැනැත්තා දුගතිගාමි භවයකට පිවිස සිටී නම් එවන් පුණ්යකර්ම මගින් තමන් ජීවත් වූ නිවස ආශ්රිත පරිසරයේදීම පින් අනුමෝදන් කර ගැනීමේ වාසනාව ඒ තැනැත්තා හට හිමි වෙයි. එවිට එම මෘත දේහය නිවසින් පිටතට ගෙන යාම සඳහා ජ්‍යොතිෂයේ පිහිට අපේක්ෂා කළ යුතු නැත.
මෙහි දී විශේෂයෙන් කිව යුතු තවත් කරුණක් තිබේ. අතීතයේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය සහ නක්ෂත්රය ඉගැන්වීමට පෙර ඒ සම්බන්ධ ආචාර්යවරු තමන්ගෙන් ඉගෙනුම සඳහා එන සියලු දෙනාටම ඒ සඳහා අවකාශ ලබා නොදුන්හ. ඊට පෙර එම ගුරුවරු තමන්ගෙන් අධ්‍යාපනය ලැබීමට පැමිණෙන්නවුන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඔවුන්ගේ සත්පුරුෂ, අසත්පුරුෂ භාවය වටහා ගත්හ. එසේම ඉන් පසු තවත් යම් කලක් එම සිසුන් තමන් ඇසුරේ රඳවා ගනිමින් ඔවුන්ගේ චරිත ලක්ෂණ සියුම් දෙස විමසා බැලූහ. නමුදු අද වන විට එවැනි පූර්ව පරීක්ෂාවක් සිදුනොවීම මත මෙවන් සියලු වටිනා ශාස්ත්‍රයන් අසත්පුරුෂයන් අතට පත් වී ඔවුන් මේවායින් වවාගෙන කෑම සිදු කරන බව පෙනේ.ඒ අනුව මෙය ද විවිඅහ මංගල උත්සව අවසානයේ “ගොයින් අවේ”හෙවත් නික්ම යාම සඳහා මංගල්‍යය අතරතුර දීම නැවත් ඇඳුම් මාරු කළ යුතුය යන්න වැනි වැඩකට නැති බොළඳ විච්චූරණයකි.
හේම ශ්‍රී අමරසිංහ