මේ පොසොන් මාසයයි. පොසොන් මාසය අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකාවට බුදු දහම දායාද වූ මාසය ලෙසිනි. මිහිඳූ හිමියන් මිහින්තලා පව්වේ සිට දේවානම්පියතිස්ස රජු සමග කළ සංවාදය පරිසරය පිළිබඳ සිදු වූ ලොව ප්‍රථම කතිකාව වන්නට පුළුවන. මිහිඳූ හිමියන් එහි දී පරිසරය සුරැකීම සහ සතුන්ගේ අයිතිවාසිකම්, මිනිසා සතුන්ට සැලකිය යුත්තේ කුමනාකාරයෙන්ද ආදී වශයෙන් කරුණු ගෙනහැර දැක්වූහ. මේ පණිවිඩය අප නිවැරදිව සිතට ගත්තේ නම්, එදා සිට අද දක්වා ගත වූ කාලය තුළ පරිසරය සුරැකීම සහ සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ ලෝකයේ ඉහළින් ම සිටිය යුත්තේ අප ය. නමුත් යථාර්ථය එය නොවේ. මහත් ධනස්කන්දයක් වැය කරමින් පොසොන් උළෙල අප විසින් සමරනු ලැබුව ද, එදි මිහිඳු හිමියන් ලබා දුන් පණිවිඩය අප සහමුලින්ම අමතක කොට තිබේ. එවන් වටිනා පණිවිඩයක් නොලැබුණු රටවල් පරිසරය සහ සතුන් සම්බන්ධව දක්වන ආකල්ප ධනාත්මක ව වර්ධනය වී ඇති වකවානුවක, අප රට ඒ කාරණා සම්බන්ධව පරිහානියේ පතුලටම ගමන් කොට තිබේ. කොටින්ම සත්ත්ව අයිතිවාසිකම් සුරකින රටවල්වල ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නම ඇත්තේ ද නැත.
අප නොදන්නා නූතන සත්ත්ව හිමිකම්
මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවය. මෙයින් සතුන්ගේ හිමිකම් නිසි පරිදි සුරක්ෂිත වන්නෙ නැති බැවින් 2022 ජනවාරි 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මේ පණත සංශෝධනය කොට මෙහි බලතල ඉහළ දමා තිබේ. නමුත් සතුන්ට සිදුවන හිංසා පීඩා ඉහළ යන තත්ත්වයක් තුළ මෙහි බලතල නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. සත්ත්ව හිමිකම් පිළිබඳ ලෝකයට ඉහළම ආදර්ශයක් ලබා දිය යුතු රටේ තත්ත්වය එසේ වුව ද ලෝකයේ සෙසු රටවල් එසේ නොවේ.
ලෝකයේ සතුන්ගේ හිමිකම් පිළිබඳ කතිකාවන් ඇතිකරගැනීමේ දී බුදු දහම ඇතුළුව පෙරදිග ආගම්වල ඇති අහිංසාවාදය පදනම් කරගන්නා බැව් පැහැදිලව පෙනෙන කාරණයකි. විශේෂයෙන් ධම්ම පදයේ ‘දණ්ඩ වර්ගයෙහි’ මිනිසුන්ට මෙන්ම සතුන්ට ද එක හා සමාන අයිතිවාසිකම් ඇති බව එහි මුල් ගාථා හතරෙහි පැහැදිලිව දේශනා කොට තිබේ. එවන් වටිනා පදනමක් තිබුණ ද ඒ කිසිවක් අප රටේ ක්‍රියාත්මක වන්නේ නැත. ලෝක සත්ත්ව හිමිකම් දිනයක් සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වෙන බව බොහෝ දෙනෙක් දන්නේ ද නැත.
ඇතැම් රටවල පාසල් විෂය නිර්දේශයේ සිටම සතුන්ගේ හිමිකම් උගන්වනු ලබයි. එයට හොඳම උදාහරණය සපයන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. මෑතක සිට උතුරු ඇමරිකාවේ පාසල්වල ‘සත්ත්ව නීතිය’ විෂය නිර්දේශයට ඇතුළත් කොට තිබේ. සතුන් කෙරෙහි සිදුවන අමානුෂික දණ්ඩනයන් නතර කිරීම පිළිබඳ 2019 නොවැම්බර් මාසයේ දී ලෝකයේ රටවල් 32 ක් ඒකාබද්ධව ඒකමතික තීරණයකට එලැඹ තිබේ. ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය මේ රටවල් අතරින් කිහිපයකි. සත්ත්ව සුබසාධනය පිළිබඳ විශ්ව ප්රකාශනයක් නුදුරේදී ම එළිදක්වන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් පසු වේ.
අප පිළිගන්නට අකමැති වුව ද, අප රටේ පවත්වන පෙරහරවල්වල දී අලි ඇතුන් හිංසනයට ලක්වීම නිරතුරුව සිදු වේ. නමුත් මේ පිළිබඳ නගන සියලු හඬ, ප්‍රබල ලෙස මැඩපැවැත්වීම සිදු වේ. එසේ සිදු වන්නේ ලෝකයට සතුන්ගේ හිමිකම් පිළිබඳ ලෝකයට මුල් වරට පණිවිඩයක් ලබා දුන් රට තුළ වීම ලජ්ජාවිය යුතු කාරණයකි. නමුත් සෙසු රටවල් එසේ නොවේ. බොස්නියාව සතුන් අපයෝජනය හා සර්කස්වල දී හානියට පත්වීමට විරුද්ධව නීති සම්පාදනය කළ ලොව මුල්ම රට ලෙස ඉතිහාස ගත වෙයි. ඇමරිකා එක්සත් ජනපදය තුළ මාංශ පරිභෝජනය උදෙසා අශ්වයින් මරා දැමීම තහනම් කොට ඇති ලොව එකම රට බවට පත් ව තිබේ.
ඉන්දියාව නිරාගමික රාජ්‍යයකි. එසේ වුවත් රාජ්‍ය අනුග්‍රහය ඇති ආගමක් ඇති අප රටට වඩා ඔවුහු සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ සිතා කටයුතු කරති. ජෛන ලබ්ධිකයන්ගේ වන්දනා නගරයක් වූ පයිල්තානා නගරය ලොව ප්‍රථම නීත්‍යානුකූලවම මස් මාංශ අනුභවයෙන් තොර නගරය බවට නම් කොට තිබේ. එහි සත්ත්ව මස් මාංශ අළෙවිය, සතුන් ඇති දැඩි කිරීම, මසුන් ඇල්ලීම වැනි සත්ත්ව හිංසාවට අදාළ කිසිදු ක්‍රියාවකට අවසරයක් නැත.
අප නොදන්නවා වූව ද, පක්ෂීන්ගේ හොට කපා දැමීම, කුකුළු පැටවුන්ගෙන් විවිධ ආහාර වර්ග පිළියෙල කිරීම, චාරිත්‍ර සඳහා සත්ත්ව ඝාතනය ආදිය ලෝකයේ බොහෝ රටවල තහනමකට ලක්ව තිබේ.
සත්ත්ව හිමිකම් සුරැකීම සඳහා කැප වූ සංවිධාන
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සත්ත්ව හිමිකම් සංවිධාන බොහෝ ඇති නමුත් අප රටෙන් බිහි වූ එවැන්නක් මේ ලැයිස්තු අතර නැත. එය එක් අතකට දෛවයේ සරදමකි. PETA ^People for the Ethical Treatment of Animals& යනු මේ අතරින් ඉතා සුප්‍රකට සංවිධානයකි. මෙයට ලොව පුරා සාමාජිකයන් මිලියන 9 ක දායකත්වය තිබේ. මිනිසා පමණක් උසස් ය යන අදහසට මේ සංවිධානය එරෙහිව කටයුතු කරයි. එමෙන්ම ප්‍රධාන කාරණා 4 ක් ඔස්සේ, එනම්, රසායනාගාර පරීක්ෂණ, ආහාර කර්මාන්තය, රෙදිපිළි කර්මාන්තය සහ වින්දනාත්මක කර්මාන්ත (සර්කස් වැනි) මේ සංවිධානය විසින් ක්‍රියාකාරකම් සිදු කරයි. ඊට අමතරව ‘පලිබෝධකයන්’ සේ සලකා මීයන්, පක්ෂීන් ආදී සතුන් මරා දැමීම සහ ගෘහාශ්‍රිත ව සතුන්ට සිදු වන හිංසනයන්ට එරෙහිව ක්‍රියාකිරීම ද මේ සංවිධානය විසින් සිදු කරයි.
මීට අමතරව සත්ත්ව අයිතිවාසිකම් සම්බන්ධව පොදුවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධාන 43 ක් දැනට තිබෙන අතර රසායානාගාරවල සතුන් සමග සිදු කරන පරීක්ෂණවලට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන 16 ක් ක්‍රියාත්මක ය. ඊට අමතරව සතුන් යොදා කරන ක්‍රීඩාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන 3 ක් ඇති අතර, ගොවිපළවල සතුන් ඇති කිරීමේ දී සිදුවන අකටයුතුකම්වලට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන 6ක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. සත්ත්ව මාංශ ආහාරයට ගැනීමට විරෝධය පළ කරමින් නිර්මාංශ ආහාර පමණක් ලබාගන්නා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් සංවිධාන 8 ක් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ය.
ලෝකයත් සමග සැසඳීමේ දී සතුන්ගේ හිමිකම් අතින් අප යා යුතු දුර තව බොහෝ බව මේ කාරණාවලින් පැහැදිලි ය. අප රටේ බුදු දහම යොදා ගන්නේ ලෝකය, පරිසරය, සතුන් ආදීන් දෙස සානුකම්පිත ව බැලීම සඳහා නොවේ. අද එය හුදෙක් දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා අතකොලුවක් බවට පත් වී හමාරය. ඒ බුදු දහමේ ම හරය පදනම් කර ගනිමින් ලෝකයේ සෙසු රටවල් සතුන් වෙනුවෙන් සංවිධාන ගොඩනගද්දී අප තවමත් සිටින්නේ වැදි යුගයේ ය. පරිසරය පිළිබඳ අප රටට වටිනා පණිවිඩයක් ලැබුණු මේ පොසොන් මාසයේ අප, අප ගැනම නැවතත් සිතා බැලිය යුතු බව කිව යුත්තේ එබැවිනි.
නිරංජන් චාමින්ද කරුණාතිලක