සිංහල මිනිසා යන නම ඔබව අතිශයින් හුරු පුරුදු වුව ද සිංහල සුනඛයා යන්න ඔබට අතිශය නුහුරු නුපුරුදු වදනක් විය හැකි ය. එමෙන්ම ‘සිංහල’ යනු ජන වර්ගයක් බැවින් එය කිසියම් අපහාසාත්මක යෙදුමක් වශයෙන් යමකුට පෙනී යාමට ද පුළුවන.අන්තර්ජාල විකිපීඩියා වෙබ් අඩවිය පිරික්සා කිරීමේදී ද ‘සිංහල සුනඛයා යන්නට සමාන පදයක් හමුවේ.Sinhala hound යන්න ය. එහි සඳහන් විස්තරයට අනුව නිල්ගල ගුහාවෙන් සහ බෙල්ලන්බැඳි පැලැස්සෙන් මෙම සුනඛ අවශේෂ හමුවී ඇති අතර ඒවා පූර්ව සහ ප්රාග් ඓතිහාසික යුගවලට අයත් බැව් සොයා ගෙන තිබේ. අප රටේ ආදීතමයා වන බලංගොඩ මානවයා ද සිය වාසස්ථාන ආශ්‍රිතව සුනඛයන් ඇති දැඩි කොට ඇති බව පෙනෙන්නට තිබේ. මොවුන් ඩිංගෝ සුනඛයන්ට සමාන බැව් ද පැවසේ.
සිංහල සුනඛයා පිළිබඳව මෙසේ කතා බහ කිරීමේදී ඔවුන් පිළිබඳ තබනු ලැබූ අපූරු සටහනක් පිළිබඳව ද සඳහන් කළ යුතු ය. සෙනරත් පරණවිතානයන් තරමටම පුරා විද්‍යා ක්ෂේත්රයට සේවයක් කළ පසුගිය සියවසේ අප රටෙහි සිටි විශිෂ්ට විද්වතකු වූ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල සූරන් විසින් රචිත ත්‍රාස ක්‍රීඩා (Some Sinhala Combative, Field and Aquatic Sports and Games) නමැති කෘතියේ අප රටේ වෙසෙන සාමාන්‍ය සුනඛයන් ලෙස හඳුන්වා තිබේ.
‘සිංහල සුනඛයා’ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද ආත්මාරක්ෂක සටන් ක්‍රම කෘතියෙහි එතුමන් විසින් දක්වන ලද ‘සිංහල බල්ලා’ පිළිබඳ විස්තරය මෙලෙසිනි.
“ලංකාවේ බිතු සිතුවම්වල හා ගල් කැටයම්වල දක්නට ලැබෙන කෙටි ලෝම, සෘජු කන් හා උඩුකුරු වලිග සහිත සිංහල බල්ලා ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ය.
දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන 9 වැනි සියවසට අයත් ගල් කණුවක ද ඇති රූපයෙන් හකු මහත් සාමාන්‍ය දේහයක් ඇති බල්ලෙකුත්, බිලිබෑවේ තිබෙන දහවන සියවසට අයත් ගල්කණුවක රූපයෙන් ගෙවල් රැකීමට යොදන බල්ලෙකුත් දැක්වේ. කෙටි වූ විශාල හොම්බක් හා කුඩා කන් පෙති සහිත විශාල ඔලුවක් ඇති මේ සතාගේ බෙල්ලේ මස් කැරැල්ලක් ඇත. කෙටිවූ පාද ඇති, මහතට වැඩුණ උරහිස ක්‍රමයෙන් උකුල් ඇට අසල දී උස්වේ. තරමක් වකුටු වූ වලිගය, ඇසිරියන් හා වර්තමාන තිබැටන් දඩයම් බල්ලන්ගේ මෙන්ය. මෙම ගල් කණුවේ ඡායාරූපයක් එපිග්‍රෆියා සිලනිකා සඟරාවේ දෙවෙනි කාණ්ඩයේ 8 වන සේයාරුවේ ඇත. ඊට සමාන දුඹුරු සුනඛ රූ 18 වන සියවසට අයත් කැලණියේ ඇති මා කණ්හ ජාතකය දැක්වෙන බිතු සිතුවමේ ඇති අතර, වෙස්සන්තර ජාතකයේ බමුණන් වෙහෙස කළ බල්ලාට සුදු, දිග නැහැයක් හා මහත් ලැමැදක් ද ඇත.
මොවුන් සහ කතරගමින් සහ මැදවලින් දැක්වෙන්නවුන් (එපිග්‍රෆියා සිලනිකා, 3 කාණ්ඩය,රූප 24, 27) රැකවල් බල්ලන් හා 13 වන සියවසට අයත් මදරෙයි කෝරලේ කොට්ටන්ගයි කැටයම්වල දැක්වෙන සිහින් දේහ ඇති ටෙරියර් වර්ගයටත් අතර මැදි වර්ගයකි.”
මෙහිදී සිංහල සුනඛයාගේ අනන්‍යතාව තවදුරටත් දැරණියගල සූරීහු තම ලිපියෙන් මෙසේ ද කියති.
“දේව අන්ගම් රෙදිකඩේ දැක්වෙන කොටි හටනේ සිටින්නේ ටෙරියර් වර්ගයේ බල්ලන් ය. පැත්තෙන් පුල්ලි සහිත බල්ලාගේ පුල්ලියක් උගේ ඇස පමණට මහත ය. කොටියාගේ උරහිස ඩැහැගත් බල්ලාත් අනිකාගේ පාට මෙන් වුවත් කොටියාගේ බෙල්ලේ මස් කැරැල්ලෙන් අල්ලාගත් විශාල බල්ලාගේ පුල්ලි උගේ නාසය මෙන් මහත් ය. පුල්ලි රහිත ඒකාගේ හා තුවාල වූ බල්ලාගේත් කරේ කුඩා සීනුවක් බැඳි පටියක් ඇත.විදේශ සුනඛයන් ගැන මෙදෙස වැසියෝ නොදතුවා නොවේ. රාජසිංහ රජු ඔවුන් තෝරා ගැනීමට දැන සිටි බව පෙනේ”. එසේ තෝරාගත් සුනඛයන්, සිංහල රජු සාදරයෙන් පිළිගත් තිළිණයක් ලෙස ඕලන්දයින් සැලකූ බව, 1655 ජුනි 10 දා වෑන්ඩර් මේඩන් විසින් බතේවියාවේ අග්‍ර ආණ්ඩුකාර වෙත යවන ලද තම ලේඛනය මගින් අනාවරණය කරන දැරණියගල සූරීන් ඊළඟට පවසන්නේ කුමක්ද?
“ඕලන්දක්කාරයෝ සිංහල බල්ලාගේ වටිනාකම හොඳින් දැන සිටියේ, එක් නිලධාරියෙක් වැද්දකුගෙන් මිලට ගත් බල්ලෙක් සුරත් දක්වා ගෙන ගොස් රික්ස් ඩොලර් 400ක් සපයා ගත් බව පෙනේ.(පර්සිසවල් 1803, පිටුව 262)”
මෙහි ඉහත සඳහන් කළ පරිදි මෙම සුනඛයා හඳුන්වන නම ද සිංහල බැවින් යමෙකු තුළ එකවර මේ පිළිබඳ යම් කුකුසක් වුව ඇති විය හැකි ය. නමුත්, ශිලා ලේඛන ඇතුළුව සිංහල ජාතිය පිළිබඳ සඳහන් වන බොහෝ ස්ථානවල මෙම සුනඛයන් පිළිබඳ සඳහන්ව ඇති බැවින් දැරණියගල සූරීන් ඔවුන් මේ නමින් හඳුන්වන්නට තීරණය කරන්නට ඇතැයි සිතිය හැකිය. එසේත් නොමැති නම් අතීතයේ අප රට සිංහලේ නමින් හඳුන්වන ලද නිසා විය හැක.අප එසේ පවසනුයේ මෙම සිංහල සුනඛ වර්ගයට අයත් සුනඛයන්ට සිංහල ජාතියටත් වඩා ඉපැරණි ඉතිහාසයක් ඇති බව සනාථ කළ හැකි තොරතුරු ඕනෑ තරම් ලැබී ඇති බැවිනි.නමුදු මේ වන විට විදේශයන් ගෙන් ගෙන්වන ලද විවිධ සුනඛ විශේෂ සිංහල සුනඛයාට මුහුන් වීම නිසා උපහාස පිරුළකට අනුවම කිව හොත් උණ පුරුකේ දැම්මත් නොයන ඇදයක් සහිත වලිගයක් ඇතුළු ඉහත සඳහන් රූපකායන් සහිත සෑබෑ සිංහල සුනඛයකු සොයා ගැනීම පවා දුෂ්කර කාරියක් වී තිබේ.
තිලක් සේනාසිංහ