ජාතික අභිමානයක් ගැන පුරසාරම් දොඩන අපට ජාතික අවමානයක් හිමිකර දුන් මුතු රාජාගේ කතාව

රැයක් දහවලක් නොමැතිව අභිමානය පිළිබඳ කතා කරමින්, අභිමානය යන වචනයට තඹයකින් හෝ සාධාරණයක් ඉටුනොකරන ජාතියක් ඇත්නම්, ඒ අන් කිසිදු ජාතියක් නොව ශ්‍රී ලාංකිකයන්ම බව පසක් කරවන සිදුවීම් ඕනෑ තරම් අසන්නට ලැබේ. සමස්ත ශ්‍රී ලාංකිකයන් මෙසේ නොවුනත්, කිහිප දෙනෙකු විසින් කරන්නා වූ තිරශ්චීන ක්‍රියාවන් නිසා එකී අභිමානය සේදී යයි. එවැනි සිදුවීම් මොනවාදැයි යමෙක් විමසා සිටියහොත් නිදසුන් ලැයිස්තු ගණනින් ඉදිරිපත් කළ හැකි ය. මේ ලැයිස්තුවට මෑතකදීම එක් වූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීම වන්නේ ‘මුතු රාජා’ හස්තියාගේ කතාව ය. මේ පිළිබඳ ඔබ ඇතැම්විට දන්නවා විය හැකි ය. කෙසේ මුත් නොදන්නා කවුරුන් හෝ සිටී නම්, ඒ සියලුදෙනාගේ දැනගැන්ම පිණිස අපට මුතුරාජාගේ යටගියාවේ සිට කතාව ආරම්භ කිරීම වඩාත් පහසුවක් වනු ඇත.

muthuraja

මුතු රාජා අපට ලැබෙන්නේ 2001 වසරේ දී ය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියට තායිලන්ත රජයෙන් ලැබෙන තිළිණයක් ලෙසිනි. මුතු රාජා තායිලන්තයෙන් අප රටට ලැබුණු එකම හස්තියා නොවේ. තවත් හස්තීන් කිහිප දෙනෙකුම එරට විසින් අප රටට පරිත්‍යාග කොට තිබේ. එපමණක් නොව ඉන්දියාව සහ බුරුමයෙන් ද අප රටට හස්තීන් පරිත්‍යාග කොට තිබේ. මේ පරිත්‍යාග අතරින් බුරුමය සහ තායිලන්තය අප රටට හස්තීන් පරිත්‍යාග කිරීමේ දී සලකා බලන විශේෂිතම කාරණාව වන්නේ මේ ඔවුන් සහ අප ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය අනුගමනය කරන රටවල් වීම ය. එපමණක් නොව මහනුවර රාජධානිය පැවති සමය වන විට අප රට පරිහානියට පත්වෙමින් පැවති බුදු දහම නැවත නගා සිටුවමින්, ශ්‍රී ලංකාවට උපසම්පදාව ලබා දීමට කටයුතු කළ රටක් ලෙස ද තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දැඩි මිත්‍රතත්වයක් පවතී. මේ ආගමික බැඳීයාව සියවස් ගණනක් අතීතයට ගමන් කරයි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය ඉතා ඉහළින් සුරකින රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ඇති ගෞරවය නිසා මේ රටවල් අප රටට හස්තීන් පරිත්‍යාග කිරීම වසර ගණනාවක් තිස්සේ සිදුකරගෙන ආවේ ය. සිය රටේ දී හා සමානව, ඇතැම්විට එයටත් වඩා හොඳීන් අප රටේ දී මේ හස්තීන්ට ගෞරව සැලකිලි හිමි වේ යැයි මේ රටවල බලධාරීන් උදක්ම කල්පනා කරන්නට ඇත. මුතු රාජා අප රටට පරිත්‍යාග කරද්දී තායිලන්ත බලධාරීන්, විශේෂයෙන් මේ පරිත්‍යාගයට මුල් වූ තායිලන්ත රජ පවුල ද මෙසේම සිතන්නට ඇත.

ජනපතිනිය විසින් මුතු රාජා කන්දේ විහාරයට පරිත්‍යාග කළ අතර එයට හේතුව වූයේ නායක හිමියන් විසින් කලක පටන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසිනි. තායිලන්තයේ සිට ‘සක් සූරීන්’ නමින් අප රටට පැමිණි මේ හස්තියාට මුතු රාජා යන නම ලැබෙන්නේ කන්දේ විහාරයේ දී ය. මුතු රාජා අප රටට පැමිණෙන්නේ පෙරහරේ කරඬුව වඩමාගෙන යාමට වුව ද, කරන්නට සිදුවන්නේ අනෙකකි. ඒ කතාව මෙසේ ය.

යම් විහාරස්ථානයකට හස්තියකු අවශ්‍ය නම්, ඒ සතා නඩත්තු කිරීමේ හැකියාව ද එකී විහාරස්ථානය තිබිය යුතු ය. එසේ නොමැතිව ලෝකයට පරකාස කිරීමේ අරමුණින් හස්තියකු ළඟ තබාගැනීමේ තේරුමක් නැත. මුතු රාජා ට සිදු වූයේ ද එයමය. “අපටත් ඇතෙක් ඕනෑ” කියමින් කන්දේ විහාරයට මුතු රාජා ලබා ගත්ත ද ඌ රැකබලා ගැනීම සඳහා ඇත්ගොව්වකුට වැටුපක් ගෙවන්නට තරම්වත් එම විහාරස්ථානයට හැකියාවක් නොවූ බව පෙනී යයි. අනෙක එවන් හස්තියකු රැකබලා ගැනීම සඳහා පළපුරුදු, සතුන්ගේ හැඟීම් තේරුම් ගත හැකි ඇත්ගොව්වකු තෝරා ගත යුතු ය. නමුත් මේ ඇත්ගොව්වා එවැන්නකු නොවන බව පෙනෙන්නට තිබේ. ඇත්ගොව්වාට වැටුප් ගෙවන්නට නොහැකි නිසා නායක ස්වාමීන් වහන්සේ සිදුකර තිබුණේ අපූරු යෝජනාවකි. ඒ එවැනි හස්තියකු වෙනුවෙන් බුද්ධ පුත්‍රයකු නොකළ යුතු අන්දමේ යෝජනාවකි. ඒ අනුව පෙරහරේ යාම වෙනුවට මුතු රාජාට කරන්නට සිදු වූයේ කොට ඇදීම ය. හොඳීන් රැකබලා ගන්නැයි යමෙකුට දරුවකු භාරදුන් පසු, ඒ දරුවා එසේ බලාගන්නවා වෙනුවට වහල් සේවයේ යොදා ගත්තා හා සමාන ක්‍රියාවකි. මුතු රාජා ලවා කොට ඇද ගැනීමෙන් ලැබෙන ආදායම ඇත්ගොව්වාට හිමි වන ලෙස නායක ස්වාමීන් වහන්සේ එකඟතාව පළ කොට තිබිණි. කොට අදින හස්තීන් ලවා එවැනි බර වැඩ කරවා ගනිද්දී නොසෑහෙන සේ වදහිංසා පමුණුවන බව බොහෝ තැන්වලින් වාර්තා වී තිබේ. මුතු රාජාට ද මේ වදහිංසා අඩුවක් නොමැතිව ලැබිණි. කුළුගෙඩි පහරවල් නිසා උගේ ඉදිරි පාදයේ සහ පසුපස පාදයේ තුවාල ඇති විය. ඊට අමතරව පසුපස ප්‍රදේශයේ ගෙඩියක් ද හටගෙන තිබිණි. කොට ඇදීම නිසා මෙසේ වදහිංසාවලට ලක් වූ මුතු රාජාට පෙරහරවල ගමන් කරන්නට සිදු විය. ඌ මහත් අපහසුවකින් සිටින බව මෙවැනි අවස්ථාවල දී ඇතැමුන්ගේ නිරීක්ෂණය ලක් විය. සත්ත්ව හිමිකම් සංවිධාන ද මෙහි දී නැගී සිටියහ. මේ අතරින් ‘රෙයාර් ශ්‍රී  ලංකා” ( RARE Sri Lanka) පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

ඔවුන් ඇතුළු පරිසර සහ සත්ත්ව හිමිකම් සංවිධාන විසින් සොයා ගත් තොරතුරුවලට අනුව බරවැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උගේ එක් දළයකින් කොටසක් කැඩී තිබිණි. බිම ඇද වැටීම නිසා එක් කකුලක් ඇද වී තිබිණි. පාදවල යටිපතුල් කුණු වී තිබුණු අතර කකුල්වල තුවාල තිබිණි. කන්දේ විහාරයේ සිටි අපූරු ඇත්ගොව්වා මුතු රාජා මෙල්ල කිරීම සඳහා කකුල්වලට දමා තිබුණේ කටු සහිත දම්වැල් ය. විහාරස්ථානයක හැදී වැඩුණු හස්තියකුගේ ඉරණම මෙසේ විය. නිතරම හිස පහත් කරගෙන සිටි නිසා, හිස කෙලින් තබාගැනීමට බල කරමින් ගෙලෙහි කටු සහිත යකඩ බෝලයක් උගේ ගෙලෙහි එල්ලා තබන්නට තරම් ඇත්ගොව්වා අමානුෂික විය. බුද්ධ පුත්‍රයකු වූ නායක හිමියන් එය නොදැක්කේ සේ සිටියහ.

මුතු රාජා විඳීන දුක් වේදනා සත්ත්ව හිමිකම්වලින් සඟවාගන්නට නොහැකි විය. ඔවුහු දිගින් දිගටම මුතු රජාගේ අයිතතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නට පටන ගත්හ. ‘රෙයාර් ශ්‍රී  ලංකා” සංවිධානය මෙහිදී ඉමහත් වැඩ කොටසක් සිදු කළේ ය. මේ අවස්ථාවේ දී අලි ඇතුන් සඳහා ප්‍රතිකාර කරන ‘කපුගොඩ වෙදගෙදරින්’ මුතු රාජාගේ තුවාලවලට ප්‍රතිකාර ලැබුණු අතර ඒවා කෙමෙන් සුව වූ නමුත් මුතු රාජාට සිදු වූයේ නැවතත් තමන්ට වදහිංසා දුන් වද කඳවුරටම යාමට ය. ඉන්පසුව මුතු රාජාට නැවතත් කොට ඇඳීමේ රැකියාවට යන්නට සිදුවිය.

රෙයාර් ශ්‍රී ලංකා ඇතුළු සතුන්ට, පරිසරයට ආදරය කරන සෙසු සියලු සංවිධාන මේ පිළිබඳ අදාළ බලධාරීන්ට දැනුම් දුන් නමුත් ඒ කිසිවකු ඒ කෙරෙහි අවධානය යෙමෙු කළේ නැත. එතැනින් නොනවතින පරිසර සංවිධාන තායිලන්ත තානාපති කාර්යාලයට මේ පිළිබඳ දැනුම් දෙනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස තායිලන්තයෙන් වෛද්‍ය කණ්ඩායමක් පැමිණ මුතු රාජා පරික්ෂා කරනු ලැබිණි. දුටු දෙයින් ඔවුහු මහත් කම්පාවට පත් වූහ. මහත් ගෞරවයෙන් යුක්තව පෙරහරේ යාම සඳහා තමන් පරිත්‍යාග කළ හස්තියාට, ඔවුන්ටත් වඩා හොඳින් රැකබලා ගනු ඇතැයි සිතූ ශ්‍රී ලංකාවේ විහාරස්ථානයක දී මෙවැන්නක් දකින්නට ලැබීම ඔවුන්ට අදහාගත නොහැක්කක් විය.

මේ පිළිබඳ තායිලන්ත වැසියන්ට දැනගන්නට ලැබුණු වහාම ඔවුන් ඉල්ලා සිටියේ මුතු රාජා නැවත තායිලන්තයට ගෙන්වා ගෙන උගේ ඉදිරි ජීවිතය විවේකයෙන් ගෙවන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය. මුතු රාජා නැවත තායිලන්තයට රැගෙන යාමට පෙර දෙහිවල් සත්වෝද්‍යානයේ රඳවා තබන්නට පියවර ගැනුණි. කන්දේ විහාරයේ සිට කොළඹට මුතු රාජා රැගෙන එන්නට සූදානම් වූ අවස්ථාවේ දී  ලෝකයට පරකාසයක් වෙමින් කිසිදු ලජ්ජාවක් නොමැතිව පිරිත් කියා ආශීර්වාද කරනු ද දක්නට ලැබිණි. බුද්ධ පුත්‍රයකු දැනුවත්වම මුතු රාජාට මෙවැනි ඉරණමක් අත්වීම තායිලන්තය ඇතුළු සෙසු ලෝකයේ ඉදිරියේ ශ්‍රී ලංකාවට අත් වූ නින්දාව සුළුපටු එකක් නොවේ. විහාරාධිපති හිමියන් තමාට සිදු වූ ලජ්ජාව වසාගන්නට මාධ්‍ය හමුවේ පවසා සිටියේ ප්‍රතිකාර සඳහා තායිලන්තයට පිටත් කරන හරින මුතු රාජා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ය. දෙතිස් වද විදිමින් කොටන් අදින තෙක් අන්ධයකු සේ බලා සිටි උන්වහන්සේට මෙවැන්නක් පවසන්නට තරම් ලැජ්ජාවක් නැති වූයේ කෙසේද යන්න වෙනමම සොයා බැලිය යුත්තකි.

නොබෝ දිනකින්ම විශේෂ ගුවන් යානයකින් මුතු රාජාව නැවත තායිලන්තය කරා රැගෙන යනු ඇත. ආසියාවේ දිගම දළ සහිත ඇතකු ලෙස පිළිගැනෙන මුතු රාජා අපට අහිමි වන්නේ මේ ආකාරයටය. එමෙන්ම තායිලන්තයෙන් අප රටට නැවත හස්තීන් පරිත්‍යාග කරනු ඇති ද යන සැකය ද පහළවෙමින් තිබේ. අප දන්නේ දෙදහස් පන්සිය වසරක අභිමානය පිළිබඳ පුරසාරම් දොඩන්නට පමණි. බුදුන් තෙවරක් වැඩි පින්බිම යැයි කියමින් පාරම් බාන්නට පමණි. එවන් පින් බිමක ඇති සුප්‍රකට විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ දැනුවත්ම යම්කිසි සත්ත්වයකු දෙතිස් වදය ලබන්නේ නම් මේ පාරම්බාන ඉතිහාසයෙන්, අභිමානයෙන් පලක් ඇතිද? ජාතික අභිමානයක් ගැන පුරසාරම් දොඩන අපට ජාතික අවමානයක් ඉතිරි කරමින් ආසියාවේ අගනා හස්තියකු අහිමි වන්නේ එසේ ය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර