ඔබේ දුර්වලකම් ශක්තීන් බවට පත් කරගන්න – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අපි හැමෝම තුළ දුර්වලකම් තියෙනවා. කිසි කෙනෙක් දුර්වල කම් නැති පරිපූර්ණ පුද්ගලයෙක් නෙවෙයි.
සමහරු තමන්ගේ දුර්වලකම් ගැන ලතවෙනවා. කනගාටු වෙනවා. සමහරවිට හිතෙන් දුක් විඳිනවා. මානසිකව වැටෙනවා. ජීවිතය ගෙවන්නේ නීරස විදිහට.
සමහරුන්ට තමන්ගේ දුර්වලකම් පේන්නෙ තේරෙන්නෙ නෑ. මානසිකව අන්ධයි.
සමහරු තමන් තුළ දුර්වලකම් තිබෙන බව පිළිගන්න කැමති නැහැ. කවුරුත් දුර්වලකම් පෙන්වා දෙනවාට කැමතිත් නැහැ.
අපි අපේ දුර්වලකම් හඳුනා නොගැනීම තමයි අපේ ලොකුම දුර්වලකම . තමන්ගේ දුර්වලකම් හඳුනාගෙන නිහතමානීව පිළිගැනීම තමයි දුර්වලකම් මඟහරවා ගැනීමට මුල්ම පියවර වෙන්නේ.
කෙසේ වෙතත්, අපේ දුර්වලකම් හදාගන්න උත්සාහ කරන අතරම ,සුභවාදීව හිතන්න පුළුවන් නම් ,අප තුළ මොන දුර්වලකම් තිබුනත් ඒවා අපේත් අනිත් අයගෙත් යහපත වෙනුවෙන් හරවාගන්න අපිට හැකියාව තියෙනවා.

මේ කතාව ටිකක් අහගන්නකො.

කන්දක් උඩ තිබුණු ලොකු ගෙදරක මිදුලේ ලස්සන මල් පිපිලා තිබුණා. ඒ මල් වත්ත බලන වතු පාලකයා මල් වලට දාන්න වතුර ගෙනාවේ කන්ද පාමුල තිබුණු දියකඩිත්තකින්.ඔහු කලගෙඩි දෙකක් රිටක දෙපැත්තට බැඳලා කදක් වගේ කරේ තියාගෙන තමයි වතුර ගෙනිච්චෙ.
ඒත් එක කලයක් ටිකක් බිඳිලා තිබුණා. කන්ද උඩට ගියහම හැමදාම අනිත් කළේ පිරිලා තියෙද්දි අර බිඳිලා තිබුණු කලයේ වතුර තිබුණේ ගොඩක් අඩු වෙලා. වතුර මග දිගට හැළුණු නිසා . ඉතින් ඒ බිඳුණු කළය වතු පාලකගෙන් සමාව ඉල්ලු‍වා.

”‍අනේ මම බිඳුනු කලයක්. මගේ ඒ දුර්වලකම් නිසා කන්ද උඩට එද්දි වතුර ගොඩක් හැලිලා. ඒකට මට සමාවෙන්න”‍
එතකොට අර උයන් පල්ලා මෙහෙම කිව්වා.
”‍නෑ නෑ ඔබ දුර්වලයෙක් නෙමෙයි. වැඩක් නැති කෙනෙක් නෙමෙයි. ඔබ නොදන්නවා උනාට ඔබෙන් ලොකු සේවයක් සිදු වෙනවා. බලන්න අර පාර දෙපස වැවිලා තියෙන මල්. ඔබ ඉන්න පැත්තෙ මල් පාර දිගටම ලස්සනට පිපිලා .ඒ ඔබ ඒවට වතුර දාපු නිසා. ඒ නිසා ඔබට සතුටු වෙන්න පුළුවන්.ඔබේ උපරිමය ඔබ කරනවනේ. ඒ හොඳටම ඇති. ”‍

අපිත් සමහරවිට අනිත් අය කරන බොහෝ දේවල් අපිට කරන්න බැහැ කියලා හිතාගෙන මානසිකව වැටිල ඉන්නවා වෙන්න පුළුවන්. අනිත් අයට තියන දේවල් අපිට නැති එක දුර්වල කමක් නෙමෙයි කොහෙත්ම.
අපිට මිල මුදල් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඇඳුම් පැලඳුම් යාන වාහන වල අඩුපාඩු තියෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනයක් නොතිබෙන්න පුළුවන්. අපේ දෙමව්පියන් එතරම් උගත් නැති අය වෙන්න පුළුවන්. ලොකු ආදායමක් නොතිබෙන්න පුළුවන්. ඒත් මේ කිසි දෙයක් දුර්වලකමක් නෙවෙයි කියන එක හොඳට අවබෝධ කරගන්න.

එක ඔලිම්පික් දිවීමේ තරගයකදී ක්‍රීඩාංගනය තුළ වට 7 ක් දුවන්න තිබුණු අවස්ථාවක දෙවැනි වටයේදී එක ක්‍රීඩකයෙක් පැටලිලා වැටිලා ඔහුගේ දණහිසක් හදින් පොළොවේ ගැටිලා වේදනාකාරී අපහසුතාවයකට පත්වුණා. ඒත් ඔහු තරඟයෙන් ඉවත් නොවී නැගිටලා ඉතා සෙමෙන් සෙමෙන් නැවත දිවීම පටන් ගත්තා . ප්‍රේක්ෂකාගාරයම ඔහුට අත්පොලසන් දුන්නා .ඔහු ඉතා අසීරුවෙන් තුන්වෙනි රවුම අවසන් කරද්දී මුල් ක්‍රීඩකයෝ හැමදෙනාම ඔහු පසුකර ගියා .ඒත් ඔහු තරගයෙන් ඉවත් වුනේ නැහැ. ඉතා සීරුවෙන් දිවීමේ යෙදුණා. ඔහු හතරවන වටය නිම කිරීමට මත්තෙන් ඔහු පසුපසින් ආ මුල් ක්‍රීඩකයන් දෙවැනි වතාවටත් ඔහු පසුකර ගියා. ඒත් ඔහු තරගයෙන් ඉවත් වුණේ නැහැ.
ඔහු පස්වන වටය ආරම්භයට පෙර තරගය අවසන් වුණා.ප්‍රේක්ෂකයෝ බලා බලාපොරොත්තු වුණේ ඔහු තරගයෙන් ඉවත් වෙයි කියලා .ඒත් ඔහු ඉවත් වුණේ නැහැ .තරගය අවසාන වුනත් ඔහු තරගය ඉවර කළේ නැහැ. ඔහු පස්වන වටයත් දුවන්න පටන් ගත්තේ ප්‍රේක්ෂකාගාරයේ අත්පොළසන් හඬ මැද්දේ.
ඒ රවුමෙන් පසු ඔහු තරග පිටියෙන් ඉවත් වෙයි කියලා සියලු‍ දෙනා හිතුවත් ඒක එහෙම වුණේ නැහැ. ඔහු අමාරුවෙන් කකුල් අද්ද අද්ද හයවෙනි වටයත් නිමා කරල මොහොතින් මොහොත වේදනාව වැඩි වෙන දනහිසේ අපහසුතාවයත් නොතකා හත්වැනි අවසන් වටයත් දුවන්න පටන් ගත්තේ ප්‍රේක්ෂකාගාරයේ දෙදරණ අත්පොළසන් හඬ මැද්දේ.
මුළු ක්‍රීඩා පිටියටම හිටියේ ඔහු පමණමයි .. ඔහු කොහොමහරි කකුල්අද්ද අද්ද ඉතාම අමාරුවෙන් වට හතම නිම කරලා අවසාන කළේ මුළු ප්‍රේක්ෂකාගාරයම නොකඩවා එක දිගට අපූරු අත්පොලසන් වරුසාවක් ඔහුට ලබා දෙද්දී. තරගය අවසන් වුණාට පසුවත් බොහෝ වේලාවක් යනතුරු ප්‍රේක්ෂකාගාරය අහස දෙදරණ තරමට අත්පොලසන් දුන්නේ ඔල්වර හඬ මැද්දේ. ප්‍රේක්ෂකයෝ බුරුතු පිටින් ගිහින් ඔහුව වැලළඳ ගත්තා.

දුර්වලකම ශක්තියක් බවට පත් කරගත්තු මේ පුදුමාකාර පුද්ගලයාගේ අධිෂ්ඨාන ශක්තිය ආත්මශක්තිය ගැන මොනවා කතා කරන්නද තවත් නේද? ගතින් කොච්ච්ර දුර්වල වුණත් ඔහු සිතින් පුදුමාකාර ශක්තියකින් අවස්ථාවට මුහුණදුන් හැටි බලන්න. ඒක තමයි සැබෑ වීරත්වය. සැබෑ ශක්තිය.

දුර්වලකම් ඇති වෙන්නෙත් හිතේ …නැති කරගන්නත් පුළුවන් හිතෙන්මයි …

හාවයි ඉබ්බයි රේස් දුවපු කතාව අපි කවුරුත් දන්නවනේ .බලන්න ඉබ්බා හාවාගේ අභියෝගයට මුහුණ දුන්නු හැටි! බලන්න ඉබ්බා තමන්ගෙ දුර්වලකම විශාල ජයග්‍රහණයකට පෙරලගත්ත හැටි!
ඒකෙන් අදහස් කරන්නේ දුර්වලකම් ගැන මහ ලොකුවට පම්පෝරි ගහන්න කියන එක නෙවෙයි. මෝඩ විදිහට වීරත්වය ප්‍රකාශ කරන්න කියන එක නෙමෙයි.
සීමාවන් දැනගෙන වැඩ කරන එක හොඳයි. ඒත් ඔබේ දුර්වලකම් ඔබට ජයග්‍රහණය ළඟා කරදෙන විශාල ශක්තියක් ජනනය කරන මෙවලමක් වීමටත් බැරි නැති බව මතක තියාගන්න .
මිනිස්සු ආදරය කරන්නේ අගය කරන්නේ දුර්වලකම් පොල්කට්ටකින් වහගන්න හදන අයට නෙමෙයි . ජීවිතේ දුර්වලකම් ශක්තීන් බවට පරිවර්තනය කරගන්නා අයටයි.
හැමෝටම හැම දේම කරන්න බැහැ. එහෙම පුළුවන් වෙන්න ඕනෙත් නැහැ. හැමෝටම තරගවලින් පලළවෙනියා වෙන්න බැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ .එහෙම උනේ නැහැ කියලා කිසි කෙනෙක් දුර්වලයෙක් වෙන්නේ නැහැ .

ශක්තිමත් පෞරුෂයක් ගොඩනගාගන්න තරග ජයග්‍රහණය කරන්න අවශ්‍ය නැහැ. පරාජය නොවී ඉන්න ආත්ම ශක්තිය තියෙනවා නම් ඒ ඇති. අර ක්‍රීඩකයා තරගයෙන් දිණුවෙ නැහැ . නමුත් ඔහු පරාජය වුනෙත් නැහැ . ජයග්‍රාහකයන්ට වඩා මිනිස්සු ඔල්වරසන් දුන්නෙ ,අත්පොලොසන් දුන්නේ . අගය කළේ, ආදරය කළේ අර සිරුරෙන් තුවාල වූ දුර්වල වූ නමුත් ශක්තිමත් හිතකින් තමන්ගේ උපරිමය කළ ක්‍රීඩකයාට.

කෙනෙකුගේ පෞරුෂ ශක්තිය වැඩෙන්නේ ජයග්‍රහන ලැබීමෙන් නෙවෙයි. පරාජය නොවී සිටීමෙනුයි.
තමාගේ දුර්වලකම් ශක්තීන් බවට පරිවර්තනය කරගැනීමෙනුයි.

ඒ නිසා කාවවත් පරද්දන්න සැලසුම් කරන්න එපා. වෙන කෙනෙක් වෙන්න දඟලන්නත් එපා.
වෙන කෙනෙකු පැරදවීමෙන් වත් වෙන කෙනෙකු වෙන්න දැගලීමෙන් වත් ඔබ වීරයෙක් වෙන්නේ නෑ.
අනුන් අභිබවා යන්න දඟලන එක ජීවිතයට හරි වෙහෙසකරයි. අනුන් සමග ඔබව සංසන්දනය කරන්න යන්න එපා.ඒකෙන් තැලෙන්නේ ඔබමයි. රිදෙන්නේ ඔබටමයි. අපි කිසි කෙනෙක් සමග අපිවම සංසන්දනය කර ගන්න අවශ්‍ය නෑ.
ඒ නිසා ඔබ ඔබම වෙන්න . ඔබේ දුර්වලකම් ගැන ඔබට සමච්චල් කරන, ඔබව පහත් කරලා කතා කරන අය ගැන සතපහකට ගණන් ගන්න එපා . ඔබට අභියෝග කරන අයට බය වෙන්නත් එපා.
අර බිඳුනු වතුර කළය වගේ තමන්ගේ දුර්වලකම් තුළින් වුණත් අවට ලෝකය ලස්සන කරන්න උත්සාහ කරන්න. අර ක්‍රීඩකයා වගේ ඔබට හැකි විදිහට ඔබේ උපරිමය කරන්න .
එතකොට ඔබේ සිත සැහැල්ලු‍යි. වටපිටාවත් ලස්සනයි. මිනිස්සුත් ඔබට ආදරෙයි. ඔබටම නොදැනී ඔබ යන මඟ දෙපස මලු‍ත් පිපේවි.!.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඉරා අදුරුපට