සංක්‍රමණිකයන් 500 ක් අතුරුදන් කළ බෝට්ටු අනතුරේ අබිරහස

boat-acc

ඉතිහාසය තුළ මධ්‍යධරණී මුහුදු කලාපයේ සිදු වූ බිහිසුණුම අනතුරක් ගැන පසුගිය සතියේ වාර්තා විය. ග්‍රීක වෙරළේ සිට කි.මී. 80 ක් පමණ ඈත මුහුදේ දී මෙලෙස අනතුරට පත්ව ගිලාබත් වූයේ නීති විරෝධී ආකාරයෙන් සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවකි. මේ වනවිට වාර්තාවන ආකාරයට මෙම යාත්‍රාවේ ගමන් කරමින් සිටි අය අතරින් 600 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති බවක් පෙනී යයි.

අනාවරණය වී ඇති අන්දමට ලිබියාවේ සිට ගමන් කරමින් තිබූ මෙම යාත්‍රාවේ 750 කට ආසන්න සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් ගමන් කරමින් සිට ඇත. කුඩා දරුවන් 100 කට ආසන්න ගණනක් ද එහි සිට ඇති බව වාර්තා වේ. යාත්‍රාව පෙරළී ගිලාබත් වෙද්දී එහි සිටි අයගෙන් 104 දෙනෙකු ගලවා ගන්නට ග්‍රීක වෙරළාරක්‍ෂක නිලධාරීන්ට හැකිව තිබිණි. ඊට අමතරව, මළ සිරුරු 78 ක් ද සොයා ගන්නට ලැබිණි. ඉතිරි 500 කට වැඩි පිරිස මේ වනවිටත් අතුරුදන් ය. ඔවුන් පණ පිටින් සොයා ගැනීමට හැකි වේවි ද යන්න මේ වෙද්දී බොහෝ දුරට සැක සහිත වී තිබේ. යම් හෙයකින් මේ අය ද මරණයට පත්ව ඇත්නම් සමස්ත මරණ ගණන 600 ඉක්මවා යයි. මේ අනුව මෙම අනතුර සැලකෙන්නේ මෑත කාලයේ මෙම කලාපය තුළ සිදු වූ මේ ආකාරයේ දරුණුම අනතුර ලෙසිනි. මෙයට පෙර මේ අයුරින් සිදු වූ දරුණුම අනතුර වාර්තා වූයේ 2016 වසරේ යි. එම අනතුරෙන් මිය ගිය සහ අතුරුදන් වූ ගණන 320 ක් ලෙස සටහන් විය.

පසුගිය දා ගිලාබත් වූ යාත්‍රාව හැඳින්වුණේ ‘ඇන්ඩි්‍රයානා’ යන නමිනි. එය ගිලාබත් වූ මුහුදු ප්‍රදේශය මධ්‍යධරණී මුහුදු කලාපයේ ගැඹුරුම ඉසව්වක් බව සඳහන් වේ. ඇතැම් වාර්තාවලින් පැවසුණේ මෙම ඉසව්වේ ගැඹුර අඩි 13,000- 17,000 ක් අතර වන බවයි. එය සැතපුම් දෙකක් තුනක් පමණ වන ගැඹුරකි.

‘ඇන්ඩි්‍රයානා’ ගමනාරම්භ කර තිබුණේ ලිබියාවේ ටොබෘක් නගරයෙනි. එහි ගමනාන්තය වී තිබී ඇත්තේ ඉතාලිය යි. මෙම යාත්‍රාවේ ගමන් කිරීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා අති විශාල සංඛ්‍යාවක් එහි ගමන් කර ඇති බව වාර්තා වේ. අනතුර සිදු වීමට පෙර වෙරළාරක්‍ෂක කණ්ඩායම් විසින් ගන්නා ලද එහි ඡායාරූපයක් මාධ්‍ය තුළ පළ විය. එහි දැකිය හැකි වන්නේ යාත්‍රාව ඇඟිල්ලක් ගසන්නට ඉඩ නැති තරමට අතුරු සිදුරු නැතිව පිරී ඇති ආකාරයකි. කාන්තාවන් සහ ළමුන් විශාල සංඛ්‍යාවක් එහි ඇතුළත කොටසක රඳවා අගුලු ලා තිබුණු බවක් ද පැවසේ. යාත්‍රාව ගිලී ගොස් ඇත්තේ ඉතාම ගැඹුරු ඉසව්වක නිසා එය සොයා ගැනීමට නොහැකි වනු ඇති බව ද මේ වනවිට ප්‍රකාශ වී තිබේ.

අනතුර සිදුවීමට ටික වේලාවකට පෙර සිටම යාත්‍රාව එන්ජින් දෝෂයකට මුහුණ දී සිටි බවක් පෙනී යයි. කෙසේ වෙතත්, මේ වනවිට ලොකුම අබිරහස වී ඇත්තේ යාත්‍රාව මේ ආකාරයෙන් ගිලාබත් වූයේ මන්ද යන්න ය. මේ සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් කතා කිහිපයක්ම මාධ්‍ය තුළ පළ වී තිබිණි. එක් කතාවකින් පැවසෙන්නේ වෙරළාරක්‍ෂක යාත්‍රාවක් ඇන්ඩි්‍රයානා යාත්‍රාවට ලණුවක් ගැට ගසා ඇදගෙන යාමට උත්සාහ කළ බව සහ යාත්‍රාව පෙරලෙන්නට එය හේතුවක් වන්නට ඇති බව ය. මෙම කතාව පවසා තිබුණේ සිද්ධියෙන් දිවි ගලවා ගත් අය අතර සිටි ඇතැමුන් ය. කෙසේ නමුත් තම යාත්‍රාවක් ඇන්ඩි්‍රයානා යාත්‍රාව ඇදගෙන යාමට උත්සාහ කළාය යන කතාව වෙරළාරක්‍ෂක නිලධාරීන් ප්‍රතික්‍ෂේප කර තිබේ. ඔවුන් එක් අවස්ථාවක පවසා තිබුණේ සංක්‍රමණිකයන්ගේ යාත්‍රාවට උදව් කිරීමට තමුන් කිහිප අවස්ථාවකම උත්සාහ කළත් සංක්‍රමණිකයන් එය ප්‍රතික්‍ෂේප කළ බවයි. ‘අපට කිසි දෙයක් එපා. අපට අවශ්‍ය ඉතාලිය බලා යාමට පමණයි’ යනුවෙන් ඔවුන් සඳහන් කළ බවක් ද ප්‍රකාශ වී තිබිණි. මේ අතර මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් පවසා තිබුණේ ඇන්ඩි්‍රයානා යාත්‍රාවේ සිටි සංක්‍රමණිකයන් උදව් ඉල්ලා සිටි බවයි. මේ බව වෙරළාරක්‍ෂකයන්ට සහ වෙනත් අදාළ පාර්ශ්වවලට දැනුම් දෙමින් තම සංවිධානය ඊමේල් පණිවුඩයක් යැවූ බවක් ද ඔවුන් පවසා තිබිණි.

මේ ආකාරයෙන් එකිනෙකට වෙනස් කතා ප්‍රකාශයට පත්වීම නිසා මෙම සිද්ධිය වටා යම් අපැහැදිලි තත්ත්වයක් ද නිර්මාණය වී ඇති ආකාරයක් පෙනේ.

මෙම සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමේ නියැළුණු බවට සැක කරන නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවක් ද වාර්තා වේ. ලොව පුරා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරන මාර්ග අතරින් මධ්‍යධරණී මුහුදු මාර්ගය වඩාත්ම අනතුරුදායක මාර්ගය ලෙස සැලකේ. සෑම වසරකම විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයෝ මෙම මාර්ගයේ සිදුවන අනතුරුවලින් මරණයට පත් වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවල සඳහන් වන ආකාරයට 2014 සිට මේ දක්වා මෙම මුහුදු මාර්ගයේ දී මියගොස් හෝ අතුරුදන් වී ඇති සංක්‍රමණිකයන් ගණන 20,000 කට අධිකය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර