රුපියල් තුන් සීයේ “ෆුල් කොත්තුව” දහස තෙක් වැඩි කොට රුපියල් දහයකින් අඩු කිරීමේ “ගජ වාසිය”

ශ්‍රී ලංකාවේ පුරවැසියන් මුහුණ දෙමින් සිටින මූලිකම ආර්ථික ගැටලුවක් බවට ආහාර උද්ධමනය පත් වී තිබේ. ආහාර උද්ධමනය ලෙස හඳුන්වනු ලබන්නේ ආහාරවල මිල ගණන් ඉතා වේගයෙන් ඉහළ නැඟීම ය. මෙය එකවර ඉතා ඉහළට නැඟුණු අතර මේ වන විට කෙමෙන් අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ආපන ශාලා,බේකරි හිමියන්ගේ සංගම් මෑතක දී මාධ්‍ය හමුවේ පවසා සිටියේ තමන් ආහාර මිල අඩු කරන්නට පියවර ගෙන ඇති බව ය. බත් හැරුණු විට වැඩි දෙනෙකුගේ ප්‍රධාන ආහාරයක් බවට පත් ව තිබෙන පාන්වල මිල රු. 10 කින් අඩු කරන බව ද ප්‍රකාශ වී තිබේ. දැනට වසරකට පමණ පෙර ඉතා ඉහළට නැගුණු ආහාර උද්ධමනය වරින් වර අඩු වැඩි වෙමින් තිබී, දැන් යම් යම් ප්‍රතිශතවලින් අඩුවෙමින් පවතින බව ප්‍රධාන මාධ්‍යයන්වල නිතර පැවසෙන්නකි. නමුත් ජනතාව පවසන්නේ වෙනත් කතාවකි. ඔවුන් පවසන්නේ ආහාරවල මිල අඩු වීම, ආහාර උද්ධමනය අඩුවීම පිළිබඳ කෙතරම් ප්‍රවෘත්ති අසන්නට ලැබුණ ද තමන්ට නම් තවමත් එහි වාසි සහගත තත්වයක් ලැබී නැති බව ය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ උද්ධමනය පසුගිය වසරේ ජූලි මාසයෙන් පසු ප්‍රථම වතාවට සියයට 50 ට වඩා පහත වැටුණු අතර, මෙම වසරේ මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටීමක් පෙන්නුම් කරයි. වෙළෙඳ පල ආරංචි මාර්ග පිළිබඳ විමසා බැලුවහොත් අපට දකින්නට ලැබෙන්නේ අන් කිසිදු පාරිභෝගික ද්‍රව්‍යයකටත් වඩා ආහාරවල මිල ගණන් අඩු වී ඇති බව ය. රයිස්, කොත්තු, බනිස් ආදියේ මිල ගණන් අඩු වී ඇති බව ද මේ සමඟම දැනගන්නට ලැබිණි. මේ අතරින් රයිස් සහ කොත්තු යනු අපේ රටේ ප්‍රධාන පෙළේ ආහාරයක් ලෙස කිසිදු සංඛ්‍යා ලේඛනයකට හසු වී නැතත්, සමාජයේ අතිශය ජනප්‍රිය ආහාරයකි. රාත්‍රී කාලයේ කෑම අළෙවි කරන ස්ථානයකට ගියහොත්, එතැන සිටින්නන්ගෙන් බහුතරයක් කෑමට ගන්නේ මේවා බව පෙනෙන්ට තිබේ. රාත්‍රියේ ආහාර අළෙවි කරන වෙළෙඳ සල්වල පොලිස් නිලධාරීන් වෙනුවෙන් වෙනමම කොත්තුවක් පිළියෙල කරන අතර එය ‘පොලිස් කොත්තුව’ නමින් හඳුන්වන බව ද පැවසෙයි.එය උප සංස්කෘතික ලක්ෂණයකි. මේ ආකාරයට බලන කල කොත්තුව අතිශය ජනප්‍රිය මෙන්ම ප්‍රධාන ආහාරයක් බවට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් රට සාමාන්‍ය පරිදි තිබූ කාලයේ “රයිස් එකකට” හෝ “කොත්තුවකට” වැය කළ මුදලින් වර්තමානයේ ඒවා මිල දී ගන්නට නොහැකි තත්වයක් තිබේ. බොහෝ විට තවමත් මේවායේ මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ නැග තිබේ. රුපියල් 300 කට පමණ ‘ෆුල් කොත්තුවක්’ මිලට ගත හැකිව තිබූ කාලය ගැන සිහිපත් කරන්නට පරම්පරාවක් ආපස්සට යා යුත නැත. වසර එකහමාරක් පමණ අතීතයට යා හැකි නම් ඔබට ඒ මුදලට කොත්තුවක් මිලට ගත් බව සිහිපත් කළ හැකි ය. නමුත් අද එය පවතින්නේ රුපියල් දහසකට වැඩි මට්ටමක ය. ඇතැම් කෑම කඩවලින් සහ ලංකාවේ ඇතැම් ප්‍රදේශවලින් පමණක් මෙයට වඩා අඩු මිලකට මේවා ගත හැකි අවස්ථා තිබේ. බහුතර ජනතාවගේ වැටුප මේ උද්ධමනය සමගින් ඉහළ නැග්ගේ නැත. ඉහළ නැග්ගා නම් එය ද සුළු ප්‍රතිශතයකිනි. අනෙක ආහාරවල මිල ගණන් වැඩි වූ තුන් ගුණයට සාපේක්ෂව වැටුප් ඉහළ ගියේම නැත. එවැනි වාතාවරණයක් යටතේ ආහාරවල මිල රුපියල් 10 කින් හෝ 20 කින් අඩු කළ පමණින් එයින් ජනතාවට ලැබෙන සහනයක් නැත.නමුත් ආපන ශාලා,බේකරි හිමියන්ගේ සංගම් මෙය”ගජ වාසිය”ක් සේ හුවා දක්වන බවක් පෙනෙයි.

ලෝකයේ දියුණු රටවල නම් සෑම ආහාරයකටම තිබිය යුතු ප්‍රමිතියක් ඒ රටවල සෞඛ්‍යයට සම්බන්ධ ආයතන මගින් නියාමනය කරයි. නමුත් අපේ රටේ එවැන්නක් නැත. වරින් වර මෙවැනි වෙළෙඳ වැටලීම් කළ ද ඒවා මගින් ආහාරවල ප්‍රමිතිය පිළිබඳ සාධනීය පියවර මතු වනු දකින්නට ලැබෙන්නේ නැත. මේ කොත්තු හෝ රයිස් පිළියෙල කරන්නට භාවිත කරන ද්‍රව්‍යමොනවාද? ඒවා යොදා ගනු ලබන්නේ කුමන ප්‍රමාණයන්ගෙන් ද?, ඒවා ජනතාවගේ සෞඛ්‍යයට කුමන බලපෑමක් එල්ල කරයි ද වැනි කාරණා පිළිබඳ කිසිදු බලධාරියකු අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැත. මේවායේ නිශ්චිත බරක් ද නැත. දැනට වසර එකහමාරකට පමණ පෙර මිලට ගත් ‘ෆුල් කොත්තුවක’ බර ආහාර මිල අඩු කළ පසු මිල දී ගන්නා කොත්තුවේ ද පවතින බව අප දන්නේ නැත. මන්ද පැරණි කොත්තුවේ හෝ අලුත් කොත්තුවේ බර ගැන අපට හැඟීමක් නැති බැවිනි. “රයිස්” ආදිය පිළිබඳ කතා කළ හැක්කේ ද මෙයම ය.

අපට මිල දී ගන්නා පාන්වල බර ගැන ද කිව යුත්තේ එයයි. කිසිදු පුද්ගලයකු පාන් ගෙඩියක බර බලන්නේ නැත. එවැන්නක් කරන්නට ඕනෑකමක් නැත. පාරිභෝගික සේවා අධිකාරිය වරින් වර මේ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු වුව ද එවැන්නක් සිදු වන්නේ නැත.එමෙන්ම පාන් ගෙඩියක නියමිත බර නොමැති වීම සම්බන්ධයෙන් නඩු පැවරීමට පාරිභෝගික අධිකාරියට නීතිමය බලයක් නැත.ඒ වෙනුවට ඔවුන් කරනුයේ මිල දර්ශනයක් ප්‍රදර්ශනය නොකිරීම ආදී හේතු මත ඒ වෙළඳුන්ට එරෙහිව නඩු “පටලැවීම” ය.

කාලයක් තිස්සේ දැනගන්නට ලැබී ඇති පරිදි ඇතැම් ආහාර නිෂ්පාදකයන්ගේ අමු ද්‍රව්‍ය අඩු ප්‍රමාණයන්නේ යොදා ගනිමින් බරින් අඩු ආහාර ජනතාවට අළෙවි කරන්නට උත්සාහ කළ අවස්ථාවන් ද ඕනෑ තරම් තිබේ.අද ඇතැම් ඇසුරුම් භාණ්ඩ පවා අඩු කරන මිලට සාපේක්ෂව බර අඩු කොට අලෙවි කෙරෙන අවස්ථා කොතෙකුත් තිබේ. ඒ අනුව මෙවැනි ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත් කළ අත මිට මුදල් හිඟව සිටිනා ජනතාවට වැඩි මුදලක් ද දී මිලට ගන්නට සිදුව ඇත්තේ අඩු බරකින් සේම ප්‍රමිතියකින් යුක්ත ආහාර බව සිතන්නට ඕනෑවටත් වඩා කාරණා තිබේ.

කිසිදු ව්‍යාපාරිකයෙක් සුබසාධනය ඉලක්ක කොට වැඩකටයුතු කරන්නේ නැත. ජනතාව තුන් ගුණයක් වැය කොට ආහාර මිලට ගත යුතුව ඇති මුත්, ආහාර නිෂ්පාදකයන්ට වෙළඳුන්ට ඒ පිළිබඳ හැඟීමක් නැත. ඔවුන් කරන්නේ මාධ්‍ය හමුවේ පෙනී සිට රුපියල් 10 කින් හෝ 20 කින් සිය නිෂ්පාදනවල මිල අඩු කළ බව පැවසීම පමණි. ඩොලරයේ මිල ද සාපේක්ෂව පහළ ගිය ද, ඒ වටිනාකම පැවති සමයේ පැවති මිල ගණන් අද දකින්නට ලැබෙන්නේ නැත. එබැවින් එහි සහනයක් ද ජනතාවට ලැබෙන්නේ නැත.

නමුත් සහනය ලැබෙන එක් කොටසක් සිටියි. ඒ අන් කිසිවකු නොව ආහාර නිෂ්පාදකයන් ය. ඔවුන්ට රජයේ පාර්ශ්වයෙන් ද යම් යම් සහන ලැබෙයි. සහනාධාර, බදු අඩු කිරීම් ආදියට ද ඔවුහු හිමිකම් කියති. ඒවා සමඟින් ඔවුහු දෙතුන් ගුණයක් වැඩි මිලට සිය නිෂ්පාදන අළෙවි කරති. එවැනි තත්ත්වයක් තුළ ඉඳ හිට රුපියල් සොච්චමකින් මිල අඩු කළ පමණින් ඔවුන්ට සිදුවන අවාසියක් නැත. ගෑස් මිල නැවත වරක් අඩු කරන ලද අවස්ථාවේ දී ‘ආපන ශාලා සහ බේකරි හිමියනි – දැන් ඔබේ වාරයයි’ යනුවෙන් සමාජ මාධ්‍යවල දකින්නට ලැබුණ ද ඔවුන් ඒවායේ සම්පූර්ණ සහනය ජනතාවට ලබා දෙන්නට කටයුතු කරන්නේ නැත. සිදුවන්නේ රජයේ අනුග්‍රහය ද සහිතව ජනතාවට වැඩි මිලට අළෙවි කටයුතු කරමින් සීමිත ගණනක් වන ආහාර නිෂ්පාදකයන් පොහොසත් වීම පමණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර