ප්‍රධාන නගරයක පිහිටි ප්‍රමුඛතම ආයතනයක වැදගත් තනතුරක් දැරූ පෙරේරා මහතා පනස් වියැති දෙදරු පියෙකි. රාජකාරිය සම්බන්ධයෙන් මනා කැපවීමක් ඇති ඔහු තම ආයතනය තුළ කිසිවකු සමඟ හෝ විශේෂ දැන හැඳුනුම්කම් පැවැත්වූවෙක් ද නොවී ය.
මුළු කාර්ය මණ්ඩලයෙන් තුනෙන් දෙකකටත් වඩා විවිධ වයස් පරාසයන්ට අයත් කාන්තාවන් වුවද ඇතැම් ප්‍රධානීන් මෙන් ඒ කිසිදු කාන්තාවකට අයුතු බලපෑමක් තබා අයුතු විහිළුවක් වත් නොකළ ඉතා විනයවත් නිලධාරියෙකු ලෙස ද පෙරේරා මහතාට ආයතනය තුළ හොඳ නමක් ලැබී තිබිණ.
නමුදු රාජකාරීමය අතපසුවීම් වල දී ඔහු තරමක් දරදඬු ආකාරයට කටයුතු කරන බවට ඔහුට රහසින් දොස් නැඟූ නිලධාරීන් සේම නිලධාරිනියෝ කිහිප දෙනෙක් ද එම ආයතනය තුළ වූහ.
පෙරේරා මහතා උදේ රාජකාරියට පැමිණෙනුයේ තමන් ගේ මෝටර් රථයෙනි. එහෙත්, සතියකට දිනයක් දෙකක් ඔහු බසයෙන් කාර්යාලයට පැමිණෙන බව ද කිසිවකුටත් රහසක් නොවිණි.
ඒ අතර එක්තරා දිනයෙක උදේ එක් පුවතක් කාර්යාලය තුළ ලැව් ගින්නක් මෙන් පැතිර යන්නට විය. එනම් පෙරේරා මහතා බසයක් තුළ දී කාන්තාවන් කිහිප දෙනකු ගේ ගුටි බැට ප්‍රහාරයකට ලක්ව ඇති බව ය.
ඒ සමඟම ඊට හේතුව වශයෙන් අනාවරණය වූයේ ඔහු කාර්යාලයට එන අතරේ බසය තුළ දී එහි සිටි කාන්තාවකට අයුතු බලපෑමක් කිරීමට යාමේ දී එලෙස කාන්තාවන් කිහිප දෙනකු ගේම ගුටි බැට ප්‍රහාරයකට ලක් වූ බවකි.
ඒ මොහොතේ පෙරේරා මහතා පොලීසිය වෙත යොමු කිරීමට බසයේ සිටි මගීන් කිහිප දෙනකු ඉදිරිපත්ව ඇතත් එය තමන් ගෙන් සිදු වූ වැරැද්දක් බව පිළිගනිමින් පෙරේරා මහතා නැවත නැවතත් සෙසු මගීන් ගෙන් සමාව ඉල්ලා තිබිණ.
පෙරේරා මහතා මෙලෙස බසයේ සිටි කාන්තාවන් කිහිප දෙනෙකුගෙන්ම ගුටි බැට කෑමට හේතුව එහි එක් කාන්තාවකට කරනු ලැබූ නිහඬ අතවරය බසයේ සිටි තවත් කාන්තාවන් කිහිප දෙනෙකු ගේ නිරීක්ෂණයට ලක් වීමය.
“ඔය මනුස්සයා කාර් එක ගෙදර තියලා බස් එකේ ඔෆිස් එන්නේ ඔය වැඩේට කියන එක ඔෆිස් යන ගෑනු අය කලින් ඉඳලම දැන ගෙන ඉඳලා; ඒ වෙලාවෙ එයාලා පෙරේරා ගේ නමයි තනතුරයි අපේ ආයතනයේ නමයි කියලා කෑගැහුවලු; ඒ මිනිහා කරපු ජරා වැඩෙන් අපේ ආයතනයටත් නරක නාමයක් පටබැඳුණා.
දැන් අපේ ආයතනයේ ඔය වගේ මානසික ලෙඩෙක් ඉන්නවා කියලා ආරංචි වුණාම අපේ ගෙවල්වල අපි ගැනත් සැක කරන්න ඉඩ තියනවා.” මෙම සිදුවීමෙන් පසු එම කාර්යාලයේ නිලධාරීහු පෙරේරා මහතාට එසේ දොස් නඟන්නට වූහ.
“අපිට නම් කීයටවත් හිතා ගන්න බෑ ඔය මනුස්සයා ඔය වගේ මානසික ලෙඩෙක් කියලා; ඒත් බලන්නකො ඔෆිස් එකේ ඉන්න හැටි; හරියට ඔළුව උස්සලා අපි දිහා බලන්නෙවත් නෑනේ. එහෙම මිනිහෙක් කොහොමද බස්වල ගෑනුන්ට හේත්තු වෙන්න ගිහින් ගුටි කන්නේ” මේ අතර කාර්යාලයේ තරුණ නිලධාරිනියන් පෙරේරා මහතා සම්බන්ධයෙන් දරන ලද්දේ එවැනි අදහසකි.
අප ගේ ජන සම්මතයට අනුව සමාජයේ වෙසෙන පිරිමින් ගෙන් කොටසක් කාන්තාවන් කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන අතර එවැනි පිරිමි සෙවලයන්, මනමාලයන්, අනංගයන්, ඇඹලයන් ආදී උපහාසාත්මක නම් වලින් හැඳින්වෙති.
එහෙත්, කාන්තාවන් සම්බන්ධයෙන් එවැනි කිසිදු අනිසි උනන්දුවක් පළ නොකොට තමන් ගේ වෘත්තියේ සේම පෞරුෂයේ ගෞරවය රැකගෙන හිඳින පෙරේරා මහතා බස් රථවල දී කාන්තාවන් ගේ සිරුරුවලට තෙරපීමෙන් ඔවුන් ගෙන් ගුටි කන්නට තරම් නිහීන ගති ඇත්තකු වූයේ කෙසේද?
පෙරේරා මහතා වෙතින් දක්නට ලැබෙන මෙම ‘දුර්ගුණය’ වත්මන් සමාජයේ බොහෝ පිරිමින් වෙතින් දක්නට ලැබෙන බව නොරහසකි. ඒ බවට බස්, දුම්රිය ආදී පොදු ප්‍රවාහන සේවා වල නිතර ගමන් කරන කාන්තාවෝ ඕනෑ තරම් කරුණු දක්වති.
එමෙන්ම අධික මගීන් පිරිසක ගෙන් යුතු බස් රථ, දුම්රිය වල සේම ඉන් පරිබාහිර ජනයා තෙරෙපෙන වෙනත් අවස්ථාවල දී ද ඉතා උපායශීලීව කාන්තාවන් අතරට පිවිසෙන මොව්හු මෙම ක්‍රියාවල යෙදෙති. මින් පළමු වැන්න වනුයේ එම කාන්තාවන් ගේ සිරුරේ පිටුපස පෙදෙසට තම ප්රජනේන්ද්රිය මගින් යම් තෙරපීමක් ඇති කිරීමය.
මීට අමතරව එසේ තෙරපෙන අතරේ ඉතා රහසිගත ලෙසින් එම කාන්තාවන් ගේ ශරීරයේ විවිධ ස්ථාන අතින් ස්පර්ශ කිරීම මිරිකීම, ආදිය කරන්නෝ ද සිටිති.
මින් සමහරකු මින් එක් කාරියක යෙදෙන අතර මේ කටයුතු දෙකටම ඇබ්බැහි වූවෝ ද වෙති. නමුදු තමන් තුළ පවත්නා ස්වභාවික ලිංගික ආවේග මෙලෙස නීති සහ සදාචාර විරෝධී ලෙසින් අවභාවිතා කරන මෙම ක්‍රියාවන් දෙකම මානසික ආබාධ ගණයට අයත් වන බව ඔබ දන්නවද?
මිනිසුන් අතර පවත්නා අසාමාන්‍ය ලිංගික ලෝලීත්වයන් විද්‍යාත්මකව හැඳින්වෙනුයේ අපරිලෝලිත්වයන් (Paraphilia ) නමිනි. සෑම විටෙකම පාහේ පුරුෂ පක්ෂය වෙතින් දක්නට ලැබෙන මෙම අපරිලෝලීත්වයන් අතරේ මෙලෙස කාන්තාවන් ගේ ශරීර වලට ප්‍රජනනේන්ද්‍රිය තෙරපීම මගින් ලිංගික සතුටක් ලබා ගැනීම හෙවත් මාර්ජකත්වය ( Frotteurism ) සේම කාන්තාවන්ගේ පියයුරු, නිතඹ, ලිංගික ප්‍රදේශ කලවා ආදිය අතින් ඇල්ලීම, මිරිකීම ආදිය මගින් සතුටක් ලබා ගැනීම හෙවත් ස්පර්ශකත්වය (Toucherism ) ද ඇතුලත් වෙයි.
පුරුෂ පක්ෂයේ සාමාන්‍ය ලිංගික චර්යා අතුරින් මේවා වෙනත් මංපෙතකට හැරී යාම මත මේවා මානසික රෝග වශයෙන් හැඳින්වීමට හේතු කිහිපයක් තිබේ. මෙම අපරිලෝලිත්ව ක්‍රියාවන් මගින් කාන්තාවන් සතුටු කිරීම වෙනුවට ඔවුන් යම් බියවැද්දීමකට තැතිගැනීමකට අපහසුවකට පත් කිරීමට මේවායේ යෙදෙන්නෝ පෙළඹෙති.
ඒ අනුව මොව්හු කවර ගණයක වත් ‘ආදරවන්තයෝ’ නොවෙති. මොවුන් මෙම අපරිලෝලිත්ව ක්‍රියාවන්ට යොමු වනුයේ ඒ සම්බන්ධයෙන් ඊට නතු වන කාන්තාවන් තුළ පවත්නා අකමැත්ත, පිළිකුල පදනම් කර ගනිමිනි. ඉහත කතා ප්‍රවෘත්තියට අනුව කාන්තාවන් කෙරෙහි ඇල්මක් ප්‍රියතාවයක් නොදක්වන පෙරේරා මහතා මෙම මාර්ජකත්වයට යොමු වීමට හේතුව ඔබට වටහා ගත හැක.
මේ සම්බන්ධ දෙවන කාරණය වනුයේ යමකු මෙවන් මාර්ජකත්වයට හෝ ස්පර්ශකත්වයට යොමු වීමට සාපේක්ෂව සාමාන්‍ය ලිංගික ක්‍රියාවන් සම්බන්ධ රුචිය ඔවුන් කෙරෙන් දුරස් වීම ය.
ජනතාව තදබද ස්ථානයක දී නාඳුනන කාන්තාවක ඇසුරින් ඔවුන් අපේක්ෂා කරන මෙම අපරිලෝලිත්ව ලිංගික සතුට විඳීමට ඔව්හු කිසි විටෙකත් තම බිරිඳ හෝ පෙම්වතිය යොදා නොගනිති. ඒ එමඟින් ඔවුනට මෙම ලිංගික ආශ්වාදය නොලැබෙන බැවිනි.
මෙවන් තත්වයක් යටතේ වුවද කාන්තාවන්ට ලිංගික බලහත්කාරයක් සිදුකිරීම සාපරාධී චෝදනා යටතේ නඩු පැවරිය හැකි බරපතල වරදකි. නමුදු මෙම මාර්ජකත්වය ස්පර්ශකත්වය යන පාරලෝලිත්ව මානසික ආබාධ දෙකෙන් පෙළෙන්නවුන් මනෝ වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර පතන අවස්ථා අතිශයින් විරල ය.
ඊට හේතුව මෙය ඉතා සූක්ෂම ලෙස සිදුකොට ලිංගික සතුටක් විඳිය හැකි බව ඔවුන් විශ්වාස කිරීම ය. එහෙත් ඔවුන් ප්‍රසිද්ධ ස්ථානයක දී එවැනි කාරියක යෙදෙන අතරේ ඒ ඒ පුද්ගලයාගේ හැඟීම් ආවේග උච්ච තත්වයට පත්වීමට සාපේක්ෂව ඔහු තුළ විළි බිය පහවී සදාචාරාත්මක බව පිළිබඳ වැටහීම අවප්‍රමාණ වෙයි.
මෙම කතා ප්‍රවෘත්තියට අදාල පෙරේරා මහතා සමාජයීය වශයෙන් වැදගතකු වුවද ප්‍රසිද්ධ ස්ථානයකදී කාන්තාවන් පිරිසක ගේ ගුටි බැට ප්‍රහාරයකට ලක්වීමට සිදු වූයේ එබැවිනි.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්