කූරගන්දෙණියේ හුලවාලි ගුරුකම් හබක්;දැන් සමහරු පරණ යකඩ වලට අලුත් බේසම් දෙන්න හදනවලු

කොරේ පිටට මරේ කීවාක් මෙන් පසුගිය කාලයේ රට තුළ එකක් උඩ එකක් වශයෙන් පැන නැඟුණු ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය හමුවේ ව්‍යවහාරික ලෙසින්ම කිවහොත් බොහෝ දෙනකුට “වැලේ වැල් නැති වන” තත්වයක් උද්ගත වූ බව රහසක් නොවේ.සාමාන්‍යයෙන් එබඳු විපත් වලින් ගොඩ එනු පිණිස අප සමාජයේ බොහෝ දෙනෙක් විවිධ උපාය මාර්ග යොදති.ඒ අතුරින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යන ගුප්ත උපාය මාර්ග ද මුල් තැනක් ගනියි.වර්තමාන ගුප්ත ශාස්ත්‍ර රැල්ල අතුරින් මතු වී පෙනෙන එක්තරා ගුරුකම් විශේෂයක් තිබේ.එනම් හුලවාලී ගුරුකම් ය.පසුගිය කාලය පුරා දක්නට ලැබුණු පුවත් පත් සහ වෙබ් අඩවි ප්‍රචාරණයට අනුව එසේ හුලවාලි ගුරුකම් සම්බන්ධයෙන් සුවිසල් ප්‍රසිද්ධියක් ලැබූ ගම්වරයක් තිබේ.ඒ මහනුවර දිස්ත්‍රික්කයට අයත් මැණිහින්නේ පිහිටි කූරගන්දෙණිය පාරම්පරික රොඩී ගෝත්‍රික ගම්මානයයි.එහෙත් පසුගිය කාලයේ නොසිතූ ලෙස බිඳ වැටුණු තම ආර්ථිකය යළි ගොඩ නංවා ගැනීම පිණිස හුලවාලී ගුරුකම් වල පිහිට සෙවීමට යමකු ඉක්මන් විය යුතු නැත.ඒ කූරගන්දෙණිය පාරම්පරික රොඩී ගෝත්‍රික ගම්මානයේ හුලවාලී මන්තර ගුරුකම් කරුවන්ට ද දැන් “හතේ හත ” වැදී ඇති බැවිනි.පසුගිය කාලය තුළ හුලවාලී මන්ත්‍ර ගුරුකම් නමැති ප්‍රෝඩාඩාවෙන් මසකට රුපියල් මිලියන ගණන් ඉපැයූ කූරගන්දෙණියේ හුලවාලී මන්ත්‍ර කරුවෝ මේ වන විට මළ මිනියේ උණ බහින වේගයෙන් තම ජීවන වෘත්තිය පහළ වැටීම නිසා නන්නත්තාර වී හිඳිති.මේ ඒ සම්බන්ධයෙන් කෙරෙන විමසුමකි.

මේ වන විට ගුප්ත ශාස්ත්‍ර කරලියේ ජනකාන්ත නාමයක් වන හුලවාලී යන වදනෙහි අරුත රොඩී නම් වන කුලයට අයත් ජන කණ්ඩායමක නායකයා යන්න ය. මෙම රොඩී යන ජන වර්ගය ගාඩි යනුවෙන් ද හැඳින්වෙයි. එම ජන කණ්ඩායමට ආලෝකය ගෙන දෙමින් පන්දමක් හෙවත් හුලක් රැගෙන පෙරමුණේ යන්නා යන අදහසින් මෙම හුලවාලී යන වදන එක්වී ඇත’ එනිසාම ‘රොඩී’ හෙවත් ගාඩි යන වර්ගය හැඳින්වීමට ද පසුව මෙම හුලවාලී යන වදන භාවිත කර ඇත.රොඩී ජනතාව සතුව සෙසු කුලිකයන් සතුව නොමැති යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් ඇතැයි යන්න පොදු ජන විශ්වාසයයි. සමාජයේ අන් කිසිවකුට නොමැති ශාප කිරීමේ සහ පුද්ගලයින් වශී කර ගැනීමේ බලයක් ඔවුන් සතුව ඇතැයි විශ්වාසයක් තිබී ඇත’ මෙම වශීකාරක බලය රොඩී ගෝත්‍රික පිරිමින් සතුව තිබූ බවටත් එම බලය යොදාගෙන තමන් කැමැති ඕනෑම කුලවත් ස්ත්‍රියක තම කුප්පායමට රැගෙන යාමේ හැකියාව ගැන ප්‍රබලවිශ්වාසයක් මෑතක් වනතුරුම තිබී ඇත.
ලුවිස් එෆ් ලෙෂින් 1861 තැබූ A Brief Account of Ceylon-page 23-1861 නම් සටහනට අනුව බදුල්ලේ පැවැති ආගමික උත්සවවලට එක්වූ උඩරට කුලවත් කතුන් එහි රැස්වන ජනතාව අතරට ගොස් අත්තේ හතර පස් දෙනා බැගින් එකි`නෙකාගේ අත් අල්ලාගෙන ය. ඒ එම ජනතාව අතරට පිවිසෙන රොඩී මිනිසුන් ගුරුකම් බලයෙන් තමන් පැහැරගෙන යතැයි ඒ අය තුළ පැවැති බිය නිසා ය.

නමුදු පැරණි ජන සමාජයේ පැවැති මෙම විශ්වාසය නිසා මෙම ජන වර්ගයේ අයකු නිවසට පැමිණෙන විට එහි සිටි තරුණියන් ගෙයි මුලුවල සැඟවී තිබේ. චණ්ඩාල හෙවත් සැඩොල් කුලයේ පසුවන්නවුන් තුළ විශේෂ වශීකාරක බලයක් තිබූ බවට මතයක් පන්සිය පනස් ජාතක පොතෙහි එන මාතංග ජාතකයෙන් සහ මූලික බුදු දහම හා කිසිදු සබැඳියාවක් නැති ජලනන්දන පිරිත සම්බන්ධ නිදාන කතාවෙන් මෙන්ම දුටුගැමුණු කුමරුගේ පුත් සාලිය අශෝකමාලා විවාහයෙන් සාමාන්‍ය ජනතාව අතරට පිවිස ඇත. එහෙත්, බුදු රදුන්ගේ උස්ථායක අනඳ හිමියන් සැඩොල් මන්ත්‍රයකට නතු වී සැඩොලියකට වසඟ වූ පුවත බෞද්ධ සාහිත්‍යය පවා කිළිටි කරවන්නකි. තත්වය එසේ තිබියදී වර්තමානයේ වෙසෙන රොඩී ජනතාව ඉහත මූලාශ්‍රවල එන චණ්ඩාල හෙවත් සැඩොල් කුලිකයන් සමඟ කිසිදු සබැඳියාවක් නොමැති බව මේ වන විට මනාව තහවුරු වී තිබේ.

එම චණ්ඩාල ගෝත්‍රිකයන් අතීත ජන සමාජයන්හි කසළ ශෝධකයන් ලෙස කටයුතු කොට ඇති අතර වැඩවසම් ක්‍රමය තුළ රොඩී ජනතාවගේ ප්‍රවේණිගත උරුමය වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ‘යාචක’ වෘත්තීයයි. ඊට අමතරව හවරි කොසු ඉදල් තැනීම ආදී ඔවුන් විසින් සිදු කරන ලද සාම්ප්‍රදායික වෘත්තීන් කිහිපයක්ද මේ වන විට මානව විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. බුද්ධ කාලීන භාරතයේ සහ අනුරාධපුර යුගයේ සිට මෙරට සිටි බව පැවසෙන චණ්ඩාල ගෝත්‍රය වර්තමාන රොඩී කුලය හා සම්බන්ධ කළ හැකි කිසිදු මානව විද්‍යාත්මක පුරුකක් නැතැයි පවසන මානව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම ‘රොඩී’ යන නාමය මුල් වරට සඳහන් සාහිත්‍ය මූලාශ්‍රය දාහත් වන සියවසේ ලියැවුණු ‘රාජාවලිය’ බව ය.

එමෙන්ම දාහත්වන සියවසේ මෙරට එළිමහන් සිරකරුවකුව සිටි රොබට් නොක්ස්ගේ ඓතිහාසික සටහනේ සඳහන් වන එක් යාචක ගෝත්‍රයක් රොඩී වශයෙන් හඳුනාගත හැකි මුත් මෙරට මිනිස් ගෝත්‍ර සේම ගහ, කොළ මල් පල ආදී සියල්ල එවක ව්‍යවහාර කළ නම්වලින්ම හැඳින්වූ නොක්ස් පවා එම යාචක ගෝත්‍රය හැඳින්වීමට මෙම ‘රොඩී’යන නම නොයෙදීම තරමක ගැටලුවකි.

ඒ කෙසේ හෝ ඉංග්‍රීසි යටත් විජිත සමයේ ෆර්ගියුසන්, එමර්සන් ටෙනන්ට්, හියුනෙවිල්, ඩොයිලි, ගයිගර් වැනි ඉංග්‍රීසි ජාතික විද්වතුන් සේම සයිමන් කාසිචෙට්ටි දොස්තර ස්පිටල්, ආචාර්ය නන්දදේව විජේසේකර ආදී දේශීය වියතුන් ද රොඩී නම් වන මෙම ජන කොටස පිළිබඳ විශිෂ්ට සමාජ සහ මානව විද්‍යාත්මක විමර්ශන සිදු කොට තිබේ. ඒ හැරුණු
කොට අප රටේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මානව විද්‍යාඥයකු ලෙස සේවය කළ ඉන්දීය ජාතික එම්. ඩී.රාඝවන් සූරීන් ද මෙම රොඩී ගෝත්‍රිකයන් සමඟ වරින් වර එක්ව දිවි ගෙවමින් ගොනු කළ මානව විද්‍යාත්මක කරුණු සහිතව 1956 වසරේ එළිදක්වා ඇති Handsome Beggars:The Story of the Ceylon Rodiya කෘතිය එතෙක් යම් තරමකට අඳුරේ වැසී තිබූ මෙම ජනතාවගේ සමාජ ආර්ථික සංස්කෘතික පරාසය තුළට එල්ල කළ දීප්තිමත් ආලෝක කදම්භකි. එමෙන්ම මෙම ජන කොටස සතුව ඇතැයි පවත්නා ගුප්ත ශාස්ත්‍ර හැකියාව පිළිබඳව සඳහන් කරන ඉහත සඳහන් සෑම විද්වතකුම අනාවරණය කරන පොදු සත්‍යයක් ඇත. එනම් රොඩී ජනතාව අතර ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධයෙන් එවන් පාරම්පරික හිමිකමක් ඇති බවට සනාථ කෙරෙන කිසිදු මූලාශ්‍රයක් හමුවී නොමැති බව ය.එමෙන්ම මෙය හුදෙක් ඔවුන්ගේ යම් වෘත්තීය උපාය මාර්ගයක් මත මෙරට සාමාන්‍ය ජනතාව තුළ පවතින අන්ධ විශ්වාසයක් පමණක් බව ය.

එමෙන්ම තම කෘතිය එළිදක්වන සමය වන විට මෙරට රොඩී ජනයා තුළින් ද එම ගුප්ත ශාස්ත්‍ර විශ්වාසය ගිලිහී ඇති බවත් ඒ වන විට ඔවුන් යාචක වෘත්තියට අමතරව හස්ත කර්මාන්ත සහ සත්ව පාලනය ආදී වෘත්තීන්හි නියැළෙන බවත් රාඝවන් සූරීහු පවසති. එවන් තත්වයක් යටතේ ගත වූ කාලය පුරා අතිප්‍රබල හුලවාලී ගුරුකම්, නීචකුල බන්ධන ආදී පුවත්පත්, අන්තර්ජාල සහ රූපවාහිනී දැන්වීම් වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ පනහක් වැය කරන තරමට එම කූරගන්දෙණියේ වැසියන් ලක්ෂපතියන් කෝටිපතියන් වූයේ කෙසේද?

මේ සම්බන්ධ එක්තරා අප්‍රකට නිදාන කතාවක් තිබේ.

1988-99 භීෂණ සමයේ ජාඇල ප්‍රදේශයේ තරුණයකුට එවකට සමාජයේ සැරිසැරූ ‘නාඳුනන තුවක්කුකරුවා’ගෙන් බේරී සිටීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු තෝරාගෙන තිබුණේ මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ තම ඥාති නිවසකි. ‘නාඳුනන තුවක්කුකරුවා’ ට ඇති බිය නිසා තමන් කරමින් සිටි රැකියාව ද අතහැර මැණික්හින්නට පලා ආ ඔහුට නිසි ආදායම් මාර්ගයක්ද නොවිණි. තමන් ජීවත් වන ගම ආසන්නයේ කූරගන්දෙණිය නම් පාරම්පරික රොඩී ගම්මානයක් ඇති බව දැන ගත් ඔහුට එක්වරම සිහිපත් වූයේ තමන් කුඩා කල වැඩිහිටියන්ගෙන් අසා තිබූ ‘හුලවාලී ගුරුකම්’ පිළිබඳව ය. ජීවත්වීම පිණිස ආදායම් මාර්ගයක් නොමැති තමන්ට එම හුලවාලී ගුරුකම් ඉගෙන හෝ ආදායමක් උපයාගත හැකි දැයි විමසනු පිණිස ඔහු රහසින් කුරහන්දෙණියට පිවිස තිබේ. ඒ එහි ඇති පාරම්පරික ගුරුකම් පිළිබඳව සොයා බැලීමට ය. එහෙත්, ඒ වන විට එම ගම්මානයේ ගුප්ත ශාස්ත්‍ර කටයුතුවල යෙදී සිට ඇත්තේ එම ජනවර්ගයට අයත් ගූණපාල නම් මහතකු පමණි. ඔහු ද සිය පියාගෙන් පැවැත එන මන්ත්‍ර ශාස්ත්‍ර අනුව සාමාන්‍ය සිංහල බෞද්ධ ගමක ජනතාවට සෙත් ශාන්තිකරන්නකුගේ පරාසයේ සිටි අයකු මස විශේෂිත හුලවාලී ගුරුකම් සම්ප්‍රදායක් පිළිබඳව දැන සිටි අයෙක් නොවීය. ඒ කෙසේ හෝ ඒ වන විට කූරගන්දෙණියේ එවැනි පැරණි මන්ත්‍ර ශාස්ත්‍රයක බින්දු මාත්‍රයක්වත් නොමැති බව දැන ගත් ඔහු ‘අති ප්‍රබල හුලවාලී ගුරුකම්’ වශයෙන් අමුතුම මවාපෑමක් කිරීමට තීරණය කළේය. පසුව එම ජාඇලින් පැමිණි මිනිසා කළ ඒ ධනෝපායන ප්‍රෝඩාව අනුකරණය කළ කූරගන්දෙණියේ වැසියෝ ද වල්ලියා විල්ලි යන තම පෙළපත් නම් යොදා ගනිමින් මන්ත්‍ර කරුවන් මෙන් සමාජය හමුවේ බොරු රඟපෑම් කිරීමට පටන් ගත්හ.

කෙසේ හෝ පසුගිය කාලය තුළ කූරගන්දෙණියේ ව්‍යාජ මන්ත්‍ර ගුරුකම්කරුවන් අතර පවතින යුද්ධය කෙතෙක් බිහිසුණු වී තිබේද යත්, පුවත්පත් දැන්වීම් මඟින් එක් ගුරුකම්කරුවකු වෙත යොමු වී මැණික්හින්නට පැමිණෙන අසරණයින් ඩැහැගැනීම පිණිස සෙසු මන්ත්‍රකරුවන් යොදා තිබූ විවිධ උප්පරවැට්ටිවලින් පෙනේ. වෙනත් මන්ත්‍රකරුවන් වෙත පැමිණෙන අසරණයන්ට එම මන්ත්‍රකරුවන් බොරුකාරයන් බව පවසා තමන් වෙත රැගෙන එන ත්‍රිරෝද රථ රියැදුරුටත් රුපියල් පන්සීයේ දහසේ සන්තෝෂම් ප්‍රදානය කළ ඇදුරන් සහ මෑණිවරුද එහි හිඟ නොවූහ. ඔවුනට එසේ කිරීමට හැකිව ඇත්තේ තමන් හමුවට පැමිණෙන අසරණයන්ගෙන් රුපියල් පන්දහසේ පමණ සිට අතැම් විට රුපියල් ලක්ෂ දෙක තුන දක්වා කඩා වඩා ගැනීමට මෙම මන්ත්‍ර ජාවාරකම්කරුවන් සමත් වූ බැවිනි. නමුදු මේ වන විට අප රටේ බොහෝ දෙනකු තුළ කූරගන්දෙණියේ යන්තර මන්තර ප්‍රෝඩාවන් පිළිබඳ දැනුම් අවබෝධයන් වර්ධනය වී තිබීම ඔවුන් මසකට රුපියල් ලක්ෂ පනහ ඉක්මවා දැන්වීම් පළ කළ පුවත් පත් වල අලෙවිය ශීඝ්‍රයෙන් පහත වැටීම ආදී හේතු මත අද වන විට කූරගන්දෙණිය පාරම්පරික රොඩී ගෝත්‍රික ගම්මානයෙන් මතු වූ හතු පිපීම් මාදිලියේ මන්තර කලාවට කණ කොකා හඬන්නට පටන් ගෙන තිබේ.ඒ අනුව ඔවුන්ගෙන් සමහරකු දැන් කොසු ඉදල් කර්මාන්තය, පරණ යකඩ ගෙන අලුත් බේසම් දීමේ ව්‍යාපාර ආදියට සිත් යොමා හිඳින බව එම ගම තුළින්ම මතු වන ආරංචි මාර්ග වලින් පැවසෙයි.ඒ අනුව ඔවුනට හැකි නම් තම බිඳ වැටුණු මන්තර ගුරුකම් ජාවාරම මන්තර බලයෙන්ම ගොඩ ගන්නා ලෙස කීමට මට නොපුළුවන. ඒ අප රටේ අති විශාල පිරිසක් තමන් ගේ දහසකිත් එකක් ප්‍රාර්ථනා අභිලාෂ නම් ගමනාන්තයට යාමට නැඟී සිටි කූරගන්දෙණියේ මන්තර ගුරුකම් නම් රථයේ බොනට්ටුව තුළ එන්ජිමක් ගියර් පෙට්ටියක් නොමැති බව හොඳහැටි දැක බලා ගත් මාධ්‍යවේදියකු ලෙසිනි.

තිලක් සේනාසිංහ

 

gossiplankanews

එතෙර - මෙතෙර