සෞභාග්‍යය කියන්නෙ නොසිතන වෙලාවක ඇදහැලෙන වර්ෂාවක් – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

warusawa

රන්වන් පාටින් කරල් පැහුණු වෙල්යායක් මැද්දෙන් යද්දි හිතට දැනෙන සතුට සුවය කොච්චරද.. කොහෙන්ද මේ රත්තරන් අස්වැන්න ලැබුණේ? පුංචි වී අකුරකින්.
ඔව්. පුංචි වී අහුරක් පොළොවට පරිත්‍යාග කළා ම ස්වභාව ධර්මයට පුළුවන් ඒක බුසල් ගණන් වැඩි කරලා අපිට ආපහු දෙන්න.
එක අඹ ඇටයක් පැල කලාම අඹ ගෙඩි සිය ගණනක් ලැබෙනවා. වට්ටක්කාල පිපිඤ්ඤා ඇට ටිකක් නිකං සරු පසට විසි කළත් කිලෝ ගණන් ලොකු වට්ටක්කා, පිපිඤ්ඤා ගෙඩි අපිට ලැබෙනවා. ඕනෑම එළවළුවක් පළතුරක් එහෙමයි.
ස්වභාව ධර්මයේ බලගතු නීතිවලින් එක ප්‍රධානම නීතියක් තමයි ඒක. දෙන දේ ආපහු ලැබෙනවා. නිකන් නෙමෙයි. කිහිප ගුණයකින් නැත්නම් බොහෝ සෙයින් වැඩි වෙලා තමයි ආපසු ලැබෙන්නේ.

හොඳ දේ වගේම නරක දේත් එහෙමයි. කඳුරු ගහක් පැළ කරලා අඹ ගෙඩි ගන්න බැහැ වගේම අඹ ගහක් පැල කළාම කදුරු එන්නෙත් නෑ.
ගහකොළ වලට විතරක් නෙවෙයි. ස්වභාව ධර්මයේ මේ ප්‍රබල නීතිය අපි කරන කියන දේටත් බලපාන්නේ මේ විදිහටම තමයි. මේක සනාථ කරන සිදුවීම් අනන්තවත් අපිට අහන්න දකින්න ලැබෙනවා.
මෑතකදී සිදුවුණු එක ඇත්ත සිදුවීම්ක් නිදසුනක් වශයෙන් සඳහන් කරන්නම්.
ටෙක්සාස් වල ලූබිස් කියලා ජනප්‍රිය ආපන ශාලාවක් තිබුණා. ආහාර වගේම කාරුණික සේවාව ගැන නම් දරාපු තැනක්. ආපනශාලාවට නිතරම කෑම කන්න ආවා වෝල්ටර් බක් කියලා වයසක පුද්ගලයෙක්. ඔහු නිතරම කේන්ති යන, පොඩි දෙයක් වත් රුස්සන්නෙ නැති, ලේසියෙන් සතුටු ගකන්න බැරි කෙනෙක්. ආපනශාලාවේ වේටර්ලා ඔහු එනවා දකිනකොට හැංගෙනවා. ඔහුට සේවය කරන්න කැමැති නැහැ. කොච්චර හොඳ කෑම දුන්නත් කොච්ච්ර හොඳට සැලකුවත් හැමදාම මොකක් හරි වරදක් දකින කෙනෙක්.

මේකේ හිටිය මෙලීනා කියලා වේටර්වරවරියක්. ස්වභාවයෙන්ම ඇය කාරුණික කෙනෙක්. ඇය හැමදාම කැමැත්තෙන්ම අර වයසක පුද්ගලයාට සේවය කළා. සමහර විට ඔහු අකාරුණික විදිහට අසාධාරණ විදිහට දොස් කියපු බැණවැදුණු අවස්ථාවන් තිබුණා. නමුත් ඒ කිසිවක් ඍණාත්මකව ගන්නේ නැතිව පියෙකුට වගේ ඉතාම ගෞරවයෙන් දිගින් දිගටම ඒ කාන්තාව ඒ වයසක පුද්ගලයාට සැලකුවා .
මේ විදිහට අවුරුදු හතක් තිස්සේ හැමදාම ඒ පුද්ගලයා මේ ආපනශාලාවට ආවා. ඒ බොහෝ අවස්ථාවල තරහවෙන් කතාකළා මිසක් අගය කිරීමක්වත් හොඳක් කිව්වේවත් නෑ. ඒත් අර කාන්තාව කිසි වෙනස්කමක් නොකර වෙනදා වගේම හොඳින් කාරුණිකව ඔහුට සැලකුවේ කිසිම පෞද්ගලික වාසියක් බලාපොරොත්තු වෙලා නෙමෙයි. ඔහු කාගේ කවුද ඉන්නේ කොහෙද කිසි දෙයක් අය දැන්ගෙන හිටියේ නෑ. ඇහුවෙත් නෑ. ඔහු කිව්වෙත් නෑ.
එක දවසක් ඔහු දවල් කෑමට ආවේ නැහැ. හැමදාම එන නිසා මෙලීනා ටිකක් කල්පනා කළා ඇයි ආවෙ නැත්තෙ කියලා. ඊට පහුවදා ආවෙත් නෑ.මෙලීනා හිතුවා සමහර විට ඔහු අසනීප වෙලා ඇති කියලා.
දින කිහිපයකින් පසු මෙලීනා පුවත්පත්ක මරණ දැන්වීම් තීරයක අහම්බෙන් දැක්කා වෝල්ටර් මියගොස් ඇති බව. ඇයට දැනුණේ තදබල දුකක්.

වෝල්ටර් බක් මෙලීනාට ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු කියලා තිබුණේ නැහැ. කවදාවත් ඇය කළ සේවාව අගය කරලා තිබුණේ නැහැ. ඒත් මෙලීනාට ආපනශාලාවේ ඔහු නොමැති මේසය දකිද්දී දැනුණේ එක්තරා හිස් බවක්. දුකක්.
දින කිහිපයකින් පසු මෙලීනාට ආපනශාලාවට දුරකථන ඇමතුමක් ආවා නොදන්නා අංකයකින්. ඇය කුතුහලයෙන් යුතුවයි පිළිතුරු දුන්නේ කවුද මේ කතා කරන්නේ කියලා හිත හිත.
ඒ කතා කරලා තිබුණේ වෝල්ටර් කියන ඒ මියගිය මහලු පුද්ගලයාගේ නීතිඥයෙක්.
මෙලීනාට තෑග්ගක් ලබා දෙන ලෙස වෝල්ටර් අන්තිම කැමැති පත්‍රයේ ලියා තිබුණු බව නීතිඥයා කිව්වා. මෙලීනා එහෙම කිසිවක් ලබාගන්න බලාපොරොත්තු වුණේ නැහැ. එහෙත් නීතිඥයා කිව්වේ ඔහුට ගෞරවයක් ලෙස ඒ තෑග්ග බාර ගන්න කියලා .
පසුව මෙලිනා නීතිඥයා හමුවෙන්න ගියා.

ඇත්තෙන්ම ඒ මියගිය පුද්ගලයා දෙවැනි ලෝක යුද්ධයේ දී විශාල සේවයක් ඉටුකළ උසස් හමුදා නිලධාරියෙක්.
දන්නවද ඔහු ඇය වෙනුවෙන් දීලා තිබුණු තෑග්ග මොකක්ද කියලා?
ඔහු පාවිච්චි කළ වටිනා කාර්ක සහ ඩොලර්50,000 ක් . ඇය මුලින්ම ඒක ගන්න කැමති වුණේ නැහැ. ඒත් නීතිඥයාගේ ඉල්ලීම අනුව ඇයට එය ගන්න සිදු වුණා.
මේක ඇත්ත කතාවක්.
මේ පුංචි ඇත්ත කතාවෙන් අපට ගොඩක් දේවල් අවබෝධ කරගන්න පුළුවන්.
මේ කතාවෙ එන වෝල්ටර් කියන්නේ ලේසියෙන් තෘප්තිමත් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. සමහරවිට අනිත් අයට හරි කරදරයක්. එහෙත් අර කාන්තාව ඔහු ගැන ක්‍රියා කළේ පුදුමාකාර ඉවසීමෙන් සහ අවබෝධයෙන්. හැබැයි කිසි දෙයක් ආපහු ගන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි.

ඇගේ පුදුමාකාර ආදරණීය පරිත්යාගශීලී බවට ස්වභාවධර්මය හිතන්න බැරි විදිහට ඇයට විශාල ධනයක් ලබා දුන්න හැටි බලන්න.
අපේ ජීවිතයටත් මේක අදාලයි. පොඩි දෙයක් පැළකරපුවම විශාල අස්වැන්නක් ලැබෙන බොහෝ දේවල් අපිටත් කරන්න පුළුවන් .
අපි බොහෝ දෙනෙක් හිතන්නේ අපිට තියෙන්න එපායෑ අනිත් අයට දෙන්න කියලා. එහෙත් ස්වභාව ධර්මයේ රීතිය ඒක නෙවෙයි. මුලින් දුන්නම දෙවනුව අපිට ලැබෙනවා. දෙන තරමට ලැබෙනවා. වැඩි වැඩියෙන් ලැබෙනවා. ඒක මිනිස්සු හදපු නීතියක් නෙමේ, සොභාව ධර්මයේ නීතිය.
සමහරු පිට මිනිස්සුන්ට තියා තමන්ගේ මව් මවුපියන්ටවත් හරියට සල්කන්නෙ නැහැ. විශේෂයෙන් මහලු දෙමව්පියෝ තමන්ගෙ දරුවො සලකන්නේ නැති නිසා හිතෙන් හරියට දුක් විදිනවා .
සමහරු හරි ලෝබයි . සත පහක් හොල්ලන්නෙ නෑ. අනිත් මිනිස්සු ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ යහපත, ඒ මිනිසුන්ගේ අයිතීන්, ඒ මිනිස්සුන්ගෙ නිදහස සතුට ගැන කිසිම හැඟීමක් නැතිව තමන්ගේ ආත්මාර්ථකාමී චේතනාවන් ඉටුකරගන්න අනිත් මිනිස්සුන්ව භාවිතා කරනවා.

මේක ස්වභාව ස්වභාවධර්මයට සම්පූර්ණ විරුද්ධ ක්‍රියාවලියක් විතරක් නෙමෙයි මේවා එක්තරා විදිහක අපරාධ. ඒ වගේම තමන්ගේ විනාශය ළඟා කරගන්න දේවල්.
සමහරු අනිත් අයට උදව් කරනවා . හැබැයි ඒ කරන්නේ ඊට වැඩි යමක් ඔවුන්ගෙන් බලාපොරොත්තුවෙන්. ඒක මනුස්සකම නෙවෙයි. කපටිකම . ආත්මාර්ථකාමීකම.
ඒ වගේ අයට වැඩි වැඩියෙන් ලැබෙන්නේ සෞභාග්‍යය නෙවෙයි ගින්දර . තමන්ම දවන ගින්දර.
අනුන්ට හොඳ හිතෙන් කරන උදව් බොහෝ සේ වැඩි වෙලා සෞභාග්‍යය ලෙස තමන්ට හැරී එනවා වගේ ම අනුන්ට දෙන ගින්දර බොහෝ සේ වැඩි වෙලා ඇවිත් තමන්වම දවාලන බවත් සමහර මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ . අවංක හිතෙන් අනිත් අයට ආදරය කරන , උදව් කරන, මිනිස්සු අපි අතර අනන්තවත් ඉන්න බව ඇත්ත. ඒත් තවත් සමහරු හිතන්නේ පුළුවන් තරම් අනුන්ගෙන් කඩා වඩා ගන්න.
සමහරවිට බස් කොන්දොස්තරගෙන් ඉතුරු සල්ලි හම්බ වෙන්නේ නෑ. පෙට්රල් ගහන්න ගියත් ගානක් කඩා ගන්නවා. සමහර ආණ්ඩුවේ කන්තෝරු වලින් වලින් වැඩක් කරගන්න ගියාම කීයක් හරි අත මිටමොලවන්නේ නැත්නම් වැඩේ කෙරෙන්නෙ නැහැ . ඉතුරු සල්ලි වෙනුවට ටොපියක් දෙනවා. ඒත් අපිට ටොපි දීලා බඩු ගන්න නම් බෑ.

මහාපරිමාණ හොරකම් අනන්තයි .මේ මෝඩ මිනිස්සු වගාකරන්නේ සෞභාග්‍යය ද ? නැහැ, ඇත්තෙන්ම නැහැ. ඒ අය වගා කරන්නේ තමන්ගෙම විනාශය . වතුර උතුරන තුරු හැලියේ රවුම් ගහන කකුළුවෝ වගේ කවදහරි ස්වභාව දහමින් හොඳ පාඩම් ඉගෙන ගන්න බව මේ අඥාන මිනිසුන්ට නොතේරෙන එක හරිම අවාසනාවක්.

ඔබට සෞභාග්‍යයය අවශ්‍යනම් වැඩි වැඩියෙන් දෙන්න. පරිත්යාගශීලී වෙන්න. මිල මුදල්ම නෙවෙයි. සමහරවිට කාරුණික වචනයක් දෙකක් කෙනෙකුට විශාල අස්වැසිල්ලක් වෙන්න පුළුවන්. වතුර වීදුරුවක් හරි කමක් නෑ පරිත්‍යාගශීලී අවංක හිතෙන් දෙන්න.
මේ ලෝකයේ වස්තු රැස්කරන තමන්ගේ වාසිය බලන මෝඩ රැලට ඔබ එකතු වෙන්න එපා. හැකි තරම් ඔබේ ආදරය, ඔබේ උදව් පදව්, ඔබේ මිල මුදල් අනිත් අය වෙනුවෙන් කැප කරන්න. ඔබට සෞභාග්‍යයය වර්ෂාවක් වගේ ලැබෙන්නේ ඔබ හිතන්නැති වෙලාවට පුදුමාකාර විදිහට බව මතක තියා තියාගන්න.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

 

sinhala news

ඉරා අදුරුපට