සුන්දර මනිපූරි සාරි නිපදවන මනිපූරියෙන්ම මතු වූ කතුන්ට එරෙහිව තිරිසන් ක්‍රියාවක්

ඉන්දියාව යනු සිනමාවෙන් සුන්දර දේශයක් ලෙස නිරූපණය වුවත්, සැබවින්ම එසේ නොවේ. මනිපූර් ප්‍රාන්තයේ වූ සිදුවීම එයට ඇති ආසන්නතම උදාහරණය වේ. සමූහ දූෂණයකට ලක් කිරීම සඳහා වෙල් යායක් මැදින් කාන්තාවන් දෙදෙනෙකුට වද දෙමින් රැගෙන යන ඛේදනීය වීඩියෝ පටයක් මේ ආන්දෝලනාත්මක සිදුවීමට හේතු වී තිබිණි. එය පසුගිය මැයි 4 වැනිදා සිදුවූවක් වුව ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නට පටන් ගැනුණේ මෑත දින කිහිපය මුළුල්ලේ ය. මේ සිදුවීම මනිපූර් ප්‍රාන්තයේ පමණක් නොව මුළු ලොවම කළඹවාලන සිදුවීමක් බවට පත් විය.

මනිපූර් යනු ලෝකයට මනිපූරි සාරි නිපදවන ප්‍රාන්තය වුව ද, එහි වටපිටාව සාරියක රටා සේ වර්ණවත් හෝ සුන්දර නැත. අනාදිමත් කාලයක සිට මේ ප්‍රාන්තය පුරා දකින්නට ඇත්තේ වාර්ගික ගැටුම් ය. මෙහි බහුතර වාර්ගිකයන් වන මෙයිටෙයි සහ සුළුතර වාර්ගික කණ්ඩායමක් වන කුකි අතර කාලයක් තිස්සේ වාර්ගික ගැටුම් පැවති අතර මෙය එහි උච්චතම අවස්ථාව විය. මෙයිටෙයි ගෝත්‍රිකයන් මේ ප්‍රාන්තයේ බහුතරය වුව ද, කුකි වාර්ගිකයන් බහුතර වරප්‍රසාද භුක්ති විඳිති. මෙයිටෙයි ග්‍රෝත්‍රිකයන්ට ද කුකි ගෝත්‍රිකයන් හා සමානව රජයේ රැකියා සහ අධ්‍යාපන වරප්‍රසාද ඉල්ලමින් පවත්වන ලද උද්ඝෝෂණය මේ දෙපිරිස අතර ගැටීම ඇති වන්නට හේතු වී තිබිණි. ඉහත සඳහන් කළ කාන්තාවන් දෙදෙනා නිරුවත් කොට මහ මග රැගෙන යාමෙන් අනතුරුව සමූහ දූෂණයකට ලක් කොට මරා දමන තත්ත්වයට පත් කරන්නට හේතු වුයේ මේ ගැටීම ය. එයට පෙර මෙයිටි ජාතිකයන් විසින් කුකි කාන්තාවන්ගේ නිවාස රැසක් ම ගිනි තබා විනාශ කරනු ලැබිණි. මේ ගැටුම නිසා මේ වන විට 130 දෙනෙකු මරණයට පත් වී ඇති අතර අවතැන් වී ඇති ප්‍රමාණය පනස් දහසක් පමණ වෙයි.

මෙය සිදු වූ අවස්ථාවේ දී මනිපූර් ප්‍රාන්ත පොලිසිය මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවූ අතර වීඩියෝව සමාජ ජාලා අතර සංසරණය වී මෙය ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වූ පසු වරදකරුවන් අත්අඩංගුවට නොගෙන සිටීමට ඔවුන්ට නොහැකි විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි ද මේ සම්බන්ධව මාස දෙකක් තිස්සේ අදහස් නො දක්වා සිටිය ද විවිධ දේශපාලන පක්ෂවල බලපෑම් මත දැඩි ස්වරයකින් ඇමතූ ඔහු පවසා සිටියේ මෙහි වරදකරුවන්ට දිය හැකි උපරිම දඬුවම ලබා දෙන බව ය. කාන්තාවන්ට මේ අපරාධ සිදුවන මනිපූර් ප්‍රාන්තයේ දේශපාලන බලය ඇත්තේ අග්‍රාමාත්‍ය මෝදිගේ පක්ෂයට වීම නිසා විපක්ෂය මෝදිට එරෙහිව දැඩිව අදහස් දක්වන්නට පටන් ගෙන තිබේ. විපක්ෂය, මානව හිමිකම් සහ කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධානවල බලපෑම් නිසාම මේ වන විට මේ සිදුවීම සම්බන්ධ සැකකරුවන් සය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අපරාධයෙන් දින දෙකට පසුව මනිපූර් අගනුවර වන ඉම්ෆාල් හි දී 45 හැවිරිදි තවත් කාන්තාවක ද මේ අයුරින් ම නිරුවත් කොට ගිනි තබා ඝාතනය කරන ලද වාර්තා විය. දැවී අඟුරු වී තිබුණු මේ කාන්තා සිරුරේ ඡායාරූප ද සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබුණු අතර ජාත්‍යන්තරයට මේවා ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා මේ ප්‍රාන්තය මුළුල්ලේ ම අන්තර්ජාල පහසුකම් ද අත්හිටුවා තිබුණු නමුත් මේවා කෙසේ හෝ සමාජ මාධ්‍ය තුළට පැමිණ තිබිණි.

කෙසේ නමුත් මේ අපරාධයට සම්බන්ධ වූ පුද්ගලයන් කවුරුන් ද යන්න සාක්ෂි සහිතව සොයා ගන්නට පොලිසියට ද හැකියාව ලැබී ඇත්තේ මේ වීඩියෝ පටයට පින් සිදු වන්නටය. මේ අනුව මෙයට මූලිකත්වය දුන් 32 හැවිරිදි මෙයිටි වාර්ගිකයකු වන ඛුයිරෙම් හෙරෝදාස් 5 අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ සමගම කුකි කාන්තාවෝ ඔහුගේ ගෙය ගිනි තබා විනාශ කළ හ.

අධ්‍යාපනය, තාක්ෂණය, දැනුම ආදී කාරණා සමගින් මානය සමාජය දිනෙන් දින ඉදිරියට ගමන් කරන බව අප නිතර කතා බහ කළ ද කලින් කට සිදු වන මෙවැනි සාතිශය අපරාධවලින් පෙනෙන්නේ සමස්ත මිනිස් සංහතියටම විඳ ගත හැකි ශිෂ්ට සම්පන්න සමාජයක බිහි වීම තවත් දුර බව ය. අධ්‍යාපනය සහ සදාචාර සම්පන්න ඉගැන්වීම් මගින් මිනිස් සිත් තුළට මනුෂ්‍යත්වය රෝපණය කරන්නට කෙතරම් උත්සාහ කළ ද, වසර දහස් ගණනකට පෙර පැවති නො දියුණු, ප්‍රාථමික සිතිවිලි මරා දමන්නට තවමත් හැකියාවක් ලැබී නැත. මේ තත්ත්වය ඉන්දියාව තුළ පමණක් නොව අප්‍රිකානු රටවල ද බහුල වශයෙන් දකින්නට ලැබේ. මේ සඳහා හොඳම උදාහරණය සපයන්නේ සුඩානය ය. එරටේ ද මේ ආකාරයට ම වාර්ගික ගැටුම් නිසා සිදු වූ දූෂණය කොට ඝාතනය කිරීමේ බොහොමයක් වාර්තා වී තිබේ. මේ තත්ත්වය තුළය අනීතික බව එක් වූ කල එහි ඇති බරපතල බව වැඩි වෙයි. ඉන්දියාව සමස්තයක් ලෙස ගතහොත් පොලිසියේ ක්‍රියාකලාපයන් පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි ය. ඒ බව ඉන්දියාව සිනමාව තුළින් ද නිතර නිරූපණය කෙරේ. මනිපූර් හි ද පොලිසියේ මැදිහත්වීම සැලකිය යුතු මට්ටමකින් සිදුවූයේ නම්, බොහෝ විට මෙවැනි සිදුවීමක් නොවන්නට තිබිණි. පොලිසිය නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නො කිරීම නිසා අපරාධ සිදු වන්නට ඉඩහැරීමේ ප්‍රවණතාව ලෝකයේ තවත් රටවලින් වාර්තා වී තිබේ. අවාසනාවකට අප රටේ ද පොලිසියට මේ ඉරණම අත් වෙමින් තිබේ. මනිපූර් තරම් තිරශ්චීන මිනිසුන් අප රටේ නැතැයි අප මොහොතකට විශ්වාස කළ ද, දිනෙන් දින අනීතික සමාජයක් කරා ගමන් කරමින් පවතින ශ්‍රී ලාංකීය සමාජය ද ඉදිරියේ දී මෙවැනි දුර්භාග්‍ය තත්ත්වයකට පත් නොවෙතැයි සිතන්නට සාධාරණ හේතු නැත. එබැවින් මනිපූර් සිදුවීම අප තේරුම් ගත යුත්තේ අපට ලැබෙන පාඩමක් ලෙසිනි. අපගේ සමාජය මෙවැනි දුර්භාග්‍යයකට පත්වීම වළක්වා ගැනීමට ලැබුණු පූර්වාදර්ශයක් ලෙසිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර