ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ගැන ආන්දෝලනාත්මක සිනමාපටයක්

ඉන්දියාවේ ප්‍රකට අගමැතිවරියක වූ ඉන්දිරා ගාන්ධි හා සම්බන්ධ සිනමාපටයක් ළඟදී තිරගත වීමට නියමිතව තිබේ. එහි නම Emergency ය. මෙම සිනමාපටයේ අධ්‍යක්‍ෂවරිය මෙන්ම ප්‍රධාන නිළිය ද වන්නේ ඉන්දියානු සිනමාවේ දක්‍ෂ සහ ආන්දෝලනාත්මක චරිතයක් වන කන්ගනා රනෝත් ය. කන්ගනා මෙහි ඉන්දිරා ගාන්ධිගේ චරිතය නිරූපනය කරයි. Emergency ඇය තනිව අධ්‍යක්‍ෂණය කරන පළමු සිනමාපටය යි. මෙයට පෙර කන්ගනා Manikarnika-The Queen of Jhansi නැමැති චිත්‍රපටයේ අධ්‍යක්‍ෂණයටද සම්බන්ධ වූ නමුත් ඇය එය අධ්‍යක්‍ෂණය කළේ තනිවම නොව ක්‍රිෂ් ජගර්ලාමුදි නැමැති තවත් අධ්‍යක්‍ෂවරයකු සමග එක්ව ය.

Emergency සිනමාපටයට පසුබිම් වන්නේ ඉන්දිරා ගාන්ධි අගමැති ධුරය දැරූ එක් කාලයක සිදු වූ දේශපාලන සිදුවීම් පෙලකි. ඉන්දිරා අගමැති ධුරය දරමින් සිටිය දී 1975-1977 අතර කාලයේ මාස 21 කට ආසන්න කාලයක් ඇය රට පාලනය කළේ හදිසි නීතිය යටතේ යි. මෙම කාලය ඇයගේ කීර්තියට දැඩි කළු පැල්ලමක් එක් කළ කාලයක් හැටියට සැලකේ. මාධ්‍ය මර්ධනය, දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් ගැන එකල බොහෝ චෝදනා ඇය වෙත එල්ල විය.

ඉන්දිරා ඉහත කී ලෙස හදිසි නීතිය ක්‍රියාත්මක කළේ එරට අලහබාද් මහාධිකරණය ඇයට එරෙහිව බරපතල තීන්දුවක් දී තිබූ අවස්ථාවකයි. ඇය තම මැතිවරණ ජයග්‍රහණය සඳහා රාජ්‍ය යන්ත්‍රය අවභාවිත කර ඇති බවක් අලහබාද් මහාධිකරණය තීන්දු කර තිබිණි. වසර හයක කාලයක් ඉන්දිරා මැතිවරණ සඳහා තරග කිරීම තහනම් කිරීමට පවා එම අධිකරණය කටයුතු කළේය. කෙසේ හෝ වේවා, මෙම තීන්දුවට එරෙහිව ඉන්දිරා ගාන්ධි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියාය. මේ අතර ඇයට එරෙහිව ඇයගේ විරුද්ධවාදීන් රට පුරා විරෝධතා සංවිධානය කළ අතර අගමැතිනිය හදිසි නීතිය ක්‍රියාත්මක කළේ එම පසුබිම තුළ ය.

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවෙමින් තිබූ කාලයේ ඉන්දියාවේ කොංග්‍රස් පක්‍ෂයෙන් ඊට විරෝධතා එල්ල විය. කොංග්‍රස් පක්‍ෂය යනු ඉන්දිරා ගාන්ධි නායකත්වය දැරූ පක්‍ෂය යි. මෙම පක්‍ෂයේ ඇතැමුන් චෝදනා කර තිබුණේ කන්ගනා මෙම චිත්‍රපටය තුළින් ඉන්දිරා ගාන්ධිගේ ප්‍රතිරූපයට හානි කිරීමට උත්සාහ කරන බවටයි. කන්ගනා එසේ කරන්නේ මේ වනවිට බලයේ සිටින සහ කොංග්‍රස් පක්‍ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන භාරතීය ජනතා පක්‍ෂයේ වුවමනාව මත බවට ද මෙම පාර්ශ්ව චෝදනා කරති. ඇතැමුන් කන්ගනා හඳුන්වන්නේ භාරතීය ජනතා පක්‍ෂයේ ඒජන්තයකු ලෙසිනි. මෙම පසුබිම තුළ ඇය පළ කරන බොහෝ දේශපාලන අදහස් නිතර දැඩි ආන්දෝලනයන්ට ලක් වන ආකාරය ද දැකිය හැකි වේ. කෙසේ හෝ වේවා, Emergency චිත්‍රපටයේ කන්ගනාගේ රඟපෑම් දැක තිබු බොහෝ දෙනා එම රඟපෑම් ඉහළින් අගය කරනු තිබෙනු දැකිය හැකි විය.

අනූපම් කෙයර්, මහිමා චෞද්රි වැනි ජනප්‍රිය නළු නිළියෝ ද Emergency හි චරිත නිරූපනය කරති.

කන්ගනා ඉන්දියාවේ ප්‍රකට දේශපාලන නායිකාවන්ගේ චරිත නිරූපනය කිරීමට විශාල කැමැත්තක් දක්වන බව පෙනේ. කලින් සඳහන් කළ Manikarnika චිත්‍රපටයට පසුබිම් වන්නේ ද අතීතයේ ඉන්දියාවේ ජීවත් වූ එවැනි චරිතයකි. ඒ ඉන්දියානු ඉතිහාසයේ සිටි සටන්කාමී කාන්තාවක වූ රාණි ලක්‍ෂ්මිබායිගේ චරිතය යි. ඇය ඉන්දියාව පාලනය කළ බි්‍රතාන්‍යයන්ට එරෙහිව සටන් කළ එඩිතර නායිකාවක වූවාය.
මෙම සිනමාපටය තිරගත වූයේ 2019 වසරේ යි. මෙහි කන්ගනාගේ රංගනය වෙනුවෙන් ඇයට එම වසරේ ජාතික සිනමා සම්මානය ද හිමි විය.

එයින් පසු ඇය දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නායිකාවක වූ ජයලලිතාගේ චරිතය ද නිරූපනය කළාය. ඒ 2021 වසරේ තිරගත වූ ‘තලයිවි’ සිනමාපටයේ යි.

කන්ගනා දේශපාලනයට පිවිසීමට අදහස් කරගෙන සිටින බවට ද කලක් විවිධ ආරංචි පැතිරිණි. තමා දේශපාලන ක්‍ෂේත්‍රයට එක් විය යුතු යයි එම ක්‍ෂේත්‍රයේ තීරණ ගන්නා අය සහ ජනතාව තීරණය කළහොත් ඒ ගැන සලකා බැලීමට සූදානම් බවක් ද ඇය වරක් පවසා තිබිණි. නමුත් දැනට තමාට ඉතා සුන්දර රැකියාවක් ඇති බව ද, දේශපාලනය යනු කටුක ක්‍ෂේත්‍රයක් බව ද කන්ගනා පවසා තිබුණාය.

ඇයගේ අලුත්ම සිනමාපටය වන Emergency ගැන පළවෙන තොරතුරුවලින් පැවසෙන්නේ එය ලබන නොවැම්බරයේ තිරගත වීමට නියමිත බවයි. එය ප්‍රදර්ශණය ආරම්භ වූ විට ඒ ගැන බොහෝ වාද විවාද ඇති වීමට ලොකු ඉඩක් තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර