ඉදිරියේ දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් එනවා

ඉදිරියේ එළඹෙන දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුළු ලෝකයම අනතුරු අඟවා ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දමා ඇති නිසා අපේ රටට සහල් අවශ්‍ය වුවහොත් පෙර පරිදි ඉන්දියාවෙන් සහල් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත් එවන් හැකියාව තිබුණත් සහල් ආනයනය සඳහා මුදල් අප සතුව නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ පසුගියදා (29) පැවැති අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩසටහන තුළ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩසටහනක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා මෙසේ ද කීය.”ඒ වගේම අපේ රටේ ආහාර සංචිතයක් නැහැ. වී අලෙවි මණ්ඩලය වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොගත් ද අප සතුව නැහැ. ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සු ආහාර හිඟයට කොහොම මුහුණ දෙයිදැයි හිතාගන්නවත් බැහැ.නමුත් තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටළුවක් නැහැ. ඒ නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.මෙම තිරසර කෘෂිකාර්මික සංවර්ධන වැඩ සටහන ඉතාමත් සාර්ථකයි. මෙවැනි වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. ඒ සදහා අවශ්‍ය තාක්ෂණය, දැනුම, ඥාණය, පහසුකම් සියල්ල තිබෙනවා. නමුත් මෙවැනි වැඩ සටහනක් ආරම්භ කරන්නට තවමත් ඒ අයට හැකි වී නැහැ.මම මේ ගැන ඒ අයත් එක්ක සාකච්ඡා කරනවා”

කාලීන පුවත්