හදවත් රෝගීන්ට නිවසේ මාළු ටැංකියක් තිබීම වඩාත් සුවදායී ප්‍රතිඵල අත්කර දෙන බව ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන. මෙය බොහෝ අවස්ථාවල දී හදවත රෝගීන්ට වෛද්‍යවරු පවා නිර්දේශ කරන්නකි. මත්ස්‍යයින් නිසා හෘද රෝග සුවවන බවක් මෙයින් කියවෙන්නේ නැත. නමුත් රෝගීන්ට යම් සහනයක් මේ තුළින් ලැබෙන බව කවුරුත් දන්නා දෙයකි. මෙය කෙසේ නමුත් සතුන් ඇසුරු කරගනිමින් මේ ආකාරයට රෝග සුව කිරීමේ විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් පවතින බව ඔබ ඇතැම්විට නොදන්නවා වන්නට පුළුවන. මෙය හඳූන්වනු ලබන්නේ ‘සත්ත්ව උපකාරක චිකිත්සාව’ (Animal-assisted therapy – AAT) නමිනි.
මේ චිකිත්සා ක්‍රමය සඳහා සතුන් සම්බන්ධ කරගනු ලබන අතර රෝගීන්ගේ සමාජයීය, චිත්තවේගීය සහ සංජානනීය ක්‍රියාකාරීත්වයන් වර්ධනය කිරීම මෙහි අරමුණ වේ. මෙහි ධනාත්මක ප්‍රතිඵලයන් ඇති බව පර්යේෂණ මගින් ඔප්පු වී ඇති අතර රුධිර පීඩනය සහ හෝමෝන මට්ටම් පාලනය කිරීම සඳහා ද මෙයින් පිටිවහලක් ලැබේ. මේ සඳහා තෝරා ගන්නේ කුමන සතුන් ද, ඉලක්කගත ජනගහනය සහ මේ ප්‍රතිකාර සැලැස්ම තුළට සතුන් සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න මෙහි දී සලකා බලනු ලැබේ. මේ සඳහා බොහෝ සතුන් සම්බන්ධ කරගනිමින් පර්යේෂණ පවත්වා ඇති අතර වඩාත් ඵලදායී චිකිත්සාවන් සිදු කළ හැක්කේ සුනඛයන් සහ අශ්වයන් උපයෝගී කරගනිමින් බව හෙළි වී තිබේ. ඊට අමතරව ඩොල්ෆින් සහ ඌරන් ද මේ සඳහා යොදා ගන්නා අවස්ථාවන් තිබේ.
පශ්චාත් ව්‍යවසන ක්ලමථ ආබාධ (post traumatic stress disorder-PTSD) හෙවත් යම්කිසි ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීමෙන් පසු මානසික වශයෙන් ඇති වන ආතතිමය තත්ත්වය, විෂාදය, කාංසාව, ලිංගික අපයෝජනයට ගොදුරු වූවන්ගේ මානසික තත්ත්වයන්, ඩිමෙන්ෂියාව, ඔටිසම් රෝගය වැනි බොහෝ රෝග තත්ත්වයන් සඳහා මේ චිකිත්සා ක්‍රමය ඵලදායක බැව් තහවුරු වී තිබේ. මෙවැනි මානසික රෝග තත්ත්වයන්ට ගොදුරු වූවන් ‘සත්ත්ව උපකාරක චිකිත්සාව’ ට යොමු කිරීමෙන් පසු මානසික මට්ටමේ සැලකිය යුතු වර්ධනයක් සිදුවන බව සොයා ගෙන තිබේ.
සතුන්ට මිනිසාගේ නීරෝගී බව කෙරෙහි සමස්ත වශයෙන් ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි අතර මනෝභාවය සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙවැනි ධනාත්මක බලපෑමක් ඇති කළ හැක්කේ ‘මානව-සත්ත්ව බැඳීම’, එසේත් නැත්නම් ‘මානව-සත්ත්ව ගිවිසුම’ (human-animal bond) නිසාය. මිනිසා දැන් දියුණු සත්ත්වයකු බවට පත්ව සිටියත් වසර දහස් ගණනකට පෙර මිනිසා සහ සතුන් අතර වැඩි වෙනසක් තිබුණේ නැත. සියලු දෙනා එක්ව සම මට්ටමින් ජීවත් වූහ. මෙයින් ඉස්මතු වන විශේෂ කරුණ නම්, ඒ ඇති වූ බන්ධනය හෙවත් ගිවිසුම අදටත් කෙතරම් බලසම්පන්න බවකින් යුක්ත ද යන්න ය.
සත්ත්ව උපකාරක චිකිත්සාවේ ඉතිහාසය 17-18 වැනි සියවස් දක්වා අතීතයකට ගමන් කරයි. 18 වැනි සියවසේ එංගලන්තයේ පිහිටි යෝර්ක් රිට්‍රීට් නම් මානසික රෝහල මේ ක්‍රමය අත්හදා බැලූ පැරණිතම ස්ථානයක් ලෙස වාර්තා ගතවී තිබේ. එකල සිටි මානව හිතවාදියකු වූ විලියම් ටියුක් මේක්‍රමය අත්හදා බැලීමේ පුරෝගාමියා වූ අතර ඔහු ගෘහාශ්‍රිත සතුන් කුඩා කණ්ඩායමකට මේ මානසික රෝහල් භූමියේ සැරිසැරීමට ඉඩ හැරියේය. එගින් එහි රෝගීන්ගේ මානසික මට්ටම්වල යම් දියුණුවක් දැක ගත හැකි විය. 1860 දී පමණ එංගලනත්යේ බෙතම් රෝහල ද මේ ක්‍රමයම අත්හදා බැලුවේය. ඔවුන් මේ ක්‍රමය තවත් පුළුල් කරමින් වාට්ටු තුළට ද සතුන්ට පැමිණෙන්නට ඉඩ හරිනු ලැබිණි. වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගේ තත්ත්වය පුදුමාකාර ලෙස වර්ධනය කරවන්නට මේ ක්‍රමය ඉවහල් විය. එමෙන්ම ෆ්ලොරන්ස් නයිටින්ගේල් ද, රෝගීන් සමග සුරතල් සතුන් ගැවසෙන්නට ඉඩ හැරීම ඔවුන්ගේ රෝගී තත්ත්වයන් සුව කරන්නට හේතුවන බවට දැක්වූ අදහස් වාර්තා ගත වී තිබේ.
මේ චිකිත්සක ක්‍රමය මගින් සොයා ගෙන ඇති තවත් දෙයක් වන්නේ ‘බයෝෆිලියා කල්පිතයයි’ (biophilia hypothesis). එමගින් කියවෙන්නේ මේ ආකාරයට රෝගීන් සමග සතුන්ට සිටින්නට ඉඩ හැරීමේ දී සතුන්ගෙන් පෙන්නුම් කරන චර්යාවන් තුළින් ද රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අදහසක් ගත හැකි බව ය. යම්කිසි සතකු සන්සුන්ව, විවේකීව සිටිනවා නම් එයින් පෙන්නුම් කරන්නේ රෝගියාගේ තත්ත්වය යහපත් බව ය.
විශේෂයෙන් සුනඛයන් සමග රෝගීන් තැබීමෙන්, රෝගීන්ගේ මනෝභවය සම්බන්ධ ස්නායු සම්ප්‍රේෂක නිකුත් කිරීම වැඩි වශයෙන් සිදුවන බව ද සොයා ගෙන තිබේ.
රෝහල් තුළ පමණක් නොව, සිරගෙවල්, හෙද නිවාස, මානසික රෝහල් සහ නිවස ඇතුළු ඕනෑම තැනක සතුන් සමග රෝගීන් තැබීමෙන් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගත හැකි ය. විශේෂයෙන් දෑස් නොපෙනෙන පුද්ගලයන්ට මග පෙන්වීම සඳහා සුනඛයන් යොදා ගැනීම අයත් වන්නේ ද මේ ප්‍රතිකාර ක්‍රමයේම කොටසක් වශයෙනි.
යම්කිසි පුද්ගලයන් කෙරෙන්, විශේෂයෙන් දරුවන් සම්බන්ධව, ඍණාත්මක් මනෝභවයන් ඈත් කරන්නට සුනඛයන්ගේ ඇසුර ඉතා ඵලදායී ලෙස යොදා ගත හැකි බව සොයාගෙන තිබේ.
මේ ප්‍රතිකාර ක්‍රමය සඳහා බොහෝ සතුන් අළලා කරන ලද පර්යේෂණවලින් පසුව වඩාත් සුදුසු වන්නේ සුනඛයන් සහ අශ්වයන් බව අපි ආරම්භයේ දී ම කතා කළ ද, ඒ අතරින් ද වැඩි ඵලදායී බවක් අත්පත් කරගත හැක්කේ සුනඛයන් සමග රෝගීන් තැබීමෙන් බව සොයා ගෙන තිබේ.
මේ ක්‍රමය තවමත් විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පවතින්නේ, මේ සම්බන්ධව නිසි සම්මතයන් හරිහැටි ගොඩනගාගෙන නොමැති නිසා ය. එනම් විවිධ රටවල් විවිධ පුද්ගලයන් මේ සම්බන්ධව අනුගමනය කරන්නේ එකිනෙකට වෙනස් ක්‍රමයන් ය. මේ සඳහා සියලු දෙනාටම පිළිගත හැකි සම්මත ක්‍රමවේදයක් තවමත් සකස් කර නොගැනීම මෙයින් ගත හැකි ප්‍රතිලාභයන් මිනිසුන්ගේ දුරස් ව තිබේ. අනෙක මිනිසුන් සියලු දෙනා එක හා සමාන ලෙස සතුන්ට ආදරය කරන්නේ නැත. සතුන්ගේ ඇසුරින් ප්‍රතිකාර ලබන්නට මෙය ද එක් බාධාවකි. කෙසේ වුව ද, මෙය තවදුරටත් විකල්ප ප්‍රතිකර ක්‍රමයක් ලෙස පවතින්නට ඉඩ නොහැර ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරගත හැකි නම් මිනිස් සංහතියට මෙයින් ගත හැකි ප්‍රතිලාභ බොහෝ වන අතර අනෙක් අතට සතුන් පිළිබඳ මිනිසුන්ගේ ආකල්ප ද වෙනස් වී සතුන්ගේ ලෝකය ද වඩාත් සුවදායී තැනක් වනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක