ලංගම බසයට මඟ මරුවකු සේ හංවඩු වැදීමට පෙර:

වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ දී අද(02) සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන් ගත් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා තිබේ.පොලීසිය සඳහන් කළේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ සිමෙන්ති පටවා ගත් ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බව ය.අනතුරින් තුවාල ලැබූ පිරිස වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ.අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර පසුගිය කාලය තුළ ලංගම බස් රථ කිහිපයක් වරින් වර අනතුරු වලට ලක් වීම මත පැතිර ගිය කට කතාවක් ගැන ද අසන්නට ලැබිණ.ඒ අමතර කොටස් හිඟය ආදී හේතූන් මත ලංගම බස් රථ නිසි නඩත්තුවකින් තොරව ධාවනය වීම මෙම අනතුරු වලට හේතු වී ඇති බව ය.උතුරු මැද හා වයඹ පළාත් වල බස් මඟීන් අතරේ සංවිධානාත්මක ලෙස වැරදි ප්‍රචාර ගෙන යන කණ්ඩායම් කිහිපයක් සම්බන්ධ තොරතුරු ලැබී ඇත.ඔවුන් වයඹ සහ උතුරු මැද පළාත් වල ප්‍රධාන බස් නැවතුම් පළවල් ආශ්‍රිතව විවිධ පුද්ගලයන් බස් මගීන් දුර ගමන් සේවා සඳහා ලංගම බස් රථ යොදා ගැනීම වළක්වන ආකාරයේ ප්‍රචාර සිදු කරන බව වාර්තා වෙයි.

ලංගම බස් රථ වල පවත්නා අනේක විධ දෝෂ තත්වයන් මත රියැදුරන් ඒවා පැදවීම ප්‍රතික්ෂේප කොට තිබිය දී ලංගම ඩිපෝ ප්‍රධානීන් ගේ බල කිරීම මත ඒවා පැදවීම මත අනතුරු ගණනාවක් සිදු ව ඇති බවට බස් පොළවල හිඳින යම් යම් කණ්ඩායම් බස් මඟීන් හමුවේ පවසා හිඳින බව ද අනාවරණය වී තිබේ.ඒ අනුව දුර බැහැර ගමන් සඳහා ඇතැමුන් ලංගම බස් රථ මඟ හැර පෞද්ගලික බස් රථ වෙත යොමූ අවස්ථාවන් ගැන ද අසන්නට ලැබේ. මෙලෙස කටින් කට පැතිර යන ප්‍රචාර ලංගමයට බරපතල අවාසි සහගත් බව කිව යුතු නොවේ. රිය අනතුරු යනු බහු විධ ස්වරූපයේ ඒවා ය.ඒ සඳහා එක් හේතුවක් හෝ හේතු කිහිපයක් බලපාන බව අනාවරණය වී තිබේ.නොසැලකිලිමත් රිය ධාවනය ඉන් ප්‍රධාන හේතුවකි. නමුත් පසුගිය කාලයේ නොසැලකිලිමත් රිය ධාවන සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියැදුරන් තුළ පැවති නැඹුරුව මේ වන විට ලංගම රියැදුරන් කෙරෙන් දක්නට ලැබීම එතරම් සාධනීය දෙයක් නොවේ.එය ද ලංගමය බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වනු ඇත.

මේ අතර ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ලංගම තීරණය කර තිබේ.ඒ, අනතුරු වළක්වා ආරක්ෂිත රිය ධාවනයකට පෙළඹවීම සඳහා ය.මේ යටතේ ලංගම රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වා දීමට නියමිත ය.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා සඳහන් කළේ, මෑත කාලයේ ලංගම බස් අනතුරට ලක්වීම් ඉහළ නැංවීම සළකා බලා මේ තීරණයට එළඹි බවකි.වසරේ ගත වූ කාලය තුළ ලංගම බස් රථ සම්බන්ධ අනතුරු 218ක් සිදු වී ඇත.ඉන් මාරක බස් රථ අනතුරු සංඛ්‍යාව 20කි. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 20කි. රාජ්‍ය මාර්ගස්ථ මගී ප්‍රවාහන ව්‍යුහය වන ලංගම තුළින් මෙවන් අවාසනාවන්ත තත්වයක් උද්ගත වීම කෙසේ වත් දරා සිටිය හැකි දෙයක් නොවේ.එනිසා ලංගම බස් රථ අනතුරු අවම ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යය බවට පත් කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කළ යුතු ය.

ලංගම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එක්ව පසුගිය කාලයේ ඒ සඳහා යම් උත්සාහයක් ගෙන තිබෙනු දක්නා ලදී.පවතින ආර්ථික අර්බුදයත් සමග ඇති වී තිබෙන නඩත්තු කටයුතුවල දුෂ්කරතා වැනි තත්ත්වයන් හමුවේ මාර්ගස්ථ මගී ප්‍රවාහනය යම් ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දී ඇති පසුබිමක දියත් වූ මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වූයේ මගීන්ට හා මාර්ගයේ ගමන් ගන්නා පදිකයින්ටත් ඔවුන්ගේ දේපල වලටත් උපරිම ආරක්ෂාවක් සැලසීම ය.ලංගම හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාර්ග අනතුරු වැළැක්වීමේ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් අතර පැවැත් වූ සාකච්ඡාවෙන් පසුව යහපත් රියදුරන් සඳහා ත්‍යාග සහ ඇගයීමේ ක්‍රමයක් හඳුන්වා දීමටත්, ප්‍රදේශීය ඩිපෝ කළමනාකරුවන් වෙනුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත් තීරණය විය.

නමුත් එවන් පසුබිමක් යටතේ පවා තව දුරටත් එම කටයුතු වල ගුණාත්මක වර්ධනයක් දක්නට නොමැති නම් එය පුස්ස බින්ඳාක් මෙන් වනු ඇත.කෙසේ නමුත් අදටත් ලංගමයට ආදරය කරන පිරිසක් අප අතරද හිඳිති.ඒ අතර ලංගම බස් ධාවනය සඳහා එල්ල වන අභියෝග වලට හොඳින් හෝ නරකින් මුහුණ දීමට සැදී පැහැදී සිටින යකාට වත් බය නැති කාර්ය මණ්ඩලයකින් ද ලංගමය පොහොසත් බව අපි හොඳාකාරව දනිමු.එහෙත්, අප රටේ “ජාතික අනන්‍යතාවක්” වන වංචාව දූෂණය සහ නාස්තිය යන දරුණු නාය යාම් වලට ද ලංගමය නිරතුරු ලක් වන බව ප්‍රසිද්ධ රහසකි.මේ සියළු තත්වයන් යටතේ ලංගම බසය මඟ මරුවකු සේ හංවඩු ගැසීමට බාහිර පාර්ශවයන් දරන උත්සාහය මුලිනුපුටා දැමීමට සමස්ත ලංගමයම සාමූහිකව නැඟී සිටිනු ඇතැයි අපි සිතමු.

හේමන්ත රණ්බණ්ඩාර

එතෙර - මෙතෙර