උමාරා ගේ “ශ්‍රී ලංකා මහතා”ට යටපත් වූ වලවේ ජල ගැටළුවෙන් මතු වන ජාතික ඛේදවාචකය හඳුනා ගනිමු

 

උමාරා සිංහවංශ නම් ගායිකාව අපේ ජාතික ගීය ඔපෙරා ශෛලියට අනුව ගැයීම සහ ඒ ගීතයේ එන ශ්‍රී ලංකා මාතා යන්න ඇය ශ්‍රී ලංකා මහතා ලෙසින් උච්ඡාරණය කිරීම( හෝ නොදැනුවත් කමින් එලෙස උච්ඡාරණය වීම) මේ දිනවල බොහෝ දෙනකුගේ හදවත් පෑරීමටත් තවත් පිරිසක් කුපිත කරවීමටත් සමත්ව තිබේ. නමුත් වසර විස්සකට පසුව ඇති වූ දරුණුතම වියළි කාලගුණික තත්ත්වය නිසා වලව කලාපයේ පීදීමට ආසන්න කුඹුරු අක්කර 65000ක් පාළු වීමේ අවදානමකට ලක් වීම පිළිබඳව ළය මඬල පිළිස්සී යන වේදනාව මේ වන විටත් හරිහැටි දැනී ඇත්තේ එහි ගොවි පවුල් වන සාමාජිකයන්ට පමණි.නමුත් එහි බිහිසුණුම තත්වය වනුයේ තවමත් බොහෝ දෙනකුගේ අවධානයට ලක් ව නොමැත. ඊට හේතුව එම වගා හානිය ඉදිරි කාලය තුළ ජාතියේ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ද බලපෑම් එල්ල කිරීම ය.නො එසේ නම් රට වැසියන්ගෙන් තවත් කොටසක් දුෂ්පෝෂණයට; හාමතට ලක් වීම ය. මේ අතර ඉදිරි දින කිහිපය තුළ උඩවලවේ ජල පෝෂක ප්‍රදේශ වලට වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්වයක් ඇති වන බව උඩවලව,උමා ඔය ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු,නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සුජීව ගුණසේකර ඊයේ (3) සවස පැවසීය.

මේ වන විට උඩ වලවේ ජල මට්ටම සියයට එකයි දශම අටක් 1.8% තෙක් පහත බැස ඇති බවත් එය එහි ජල පීඩනය සම්පූර්ණයෙන් අඩුවන මට්ටමට ආසන්න තත්වයක් බවත් එහි පරිමාව තව දින දෙකකින් ජල මට්ටම අවම මට්ටමකට පැමිණීම මත ජලාශයේ ජලය නිකුත් කිරීම සඳහා අවශ්‍ය අවම පීඩන මට්ටම පවා අහිමි වන බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වරයා වැඩි දුරටත් සඳහන් කළේය.ඒ සඳහා වන එකම විකල්පය ඉදිරියේ දී උඩවලවේ ජල පෝෂක ප්‍රදේශ වලට වැසි නොවැටීම මත ජලාශය වෙත කොහෙන් හෝ අතිරේක දියවරක් සපයා ගැනීම ය. එහි දී අද වන විට බොහෝ දෙනකුගේ අවධානය යොමු වූ ඇත්තේ උඩ වලවේ ජලාශයට ඉහළින් පිහිටි සමනලවැව ජලාශය කෙරෙහි ය.ශ්‍රී ලංකාවේ ජලවිදුලි බල නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන වේල්ලක් ලෙස 1986 ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද මෙය 1992 වර්ෂයේදී විවෘත කරන ලදී. ජපානය හා එක්සත් රාජධානිය වෙතින් ලද මූල්‍ය ආධාර මගින් ඉදි කොට ඇති මෙය උසින් මීටර් 110 හා දිගින් මීටර් 530 වේ. වලවේ ගඟ හරස් කර නිර්මාණය කර ඇති මේ සඳහා බෙලිහුල්ඔය හිරිකටු ඔය යන ජල මූලාශ්‍ර වලින් ද දියවර සැපයෙයි.ලංකා විදුලි බල මණ්ඩලය මඟින් පාලනය වන සමනල වැව ජලාශයෙන් උඩවලවේ ජලාශයට ජලය ඝන මීටර් මිලියන 27ක් ජල වාරික දෙකක් සදහා දින 10ක් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය උත්සාහ දැරූව ද එම කටයුතු ද අසාර්ථක වී තිබේ. එයට හේතුව ඒ සඳහා වන ජලමය පොහොසත් කමක් මේ වන විට සමනල වැව සතුව නොමැති වීමයි. සමනලවැවේ ජලමට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 130ක තත්වයක දැන් පවතින බවත් එය මීටර් 124 දක්වා පහත වැටුණහොත් සමනලවැවේ ජල විදුලිය නිපදවීම ද සම්පූර්ණයෙන් නතර වන බවත් ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.රටෙහි මුල් පෙළේ ජල විදුලි ව්‍යාපෘතියක් වන අතර, වසරකට ශක්තිය ගිහාවොට් 405 ක් නිෂ්පාදනය කරන බවක් පැවසෙයි.

මේ අතර වලවේ ගොවීන්ගේ ගොයම සම්පූර්ණයෙන් වියලෙමින් පවතින බවත් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අධිකරණයට ලබන සඳුදා වන විට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කියයි.ඔහු වැඩිදුරටත් පවසනුයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට විරුද්ධවත් ගොවීන් වෙනුවෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවකි.වලවේ ගොවීන්ගේ වී වගා සඳහා අඩුම තරමින් ඉදිරි දින 10ක් වත් ජලය ලබාදිය යුතු බැවින් මේ සඳහා සමනල ජලාශයෙන් දියවර නිකුත් කරන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් ඇඹිලිපිටිය බස් නැවතුම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර සති දෙකකටත් ළංව ඇත. මේ අතර වලව කලාපයේ පීදීමට ආසන්න කුඹුරු අක්කර 65000ට වන හානිය හමුවේ ආණ්ඩුව ඇස් කන් පියාගෙන හිඳීම බරපතල ජාතික අපරාධයක් බව විපක්ෂ දේශපාලනඥයන් ගේ පොදු අදහස වී තිබේ.මේ අතර සමහර දේශපාලන පක්ෂ මෙය මුල් කොට ගොවි සටන් නියාමනය කරනු ද දක්නා ලැබේ.මෙම ප්‍රදේශ වල කෘෂිකාර්මික කටයුතු සඳහා ලැබෙන දියවර නිසි කලමණාකරණයකට ලක් නොවීම ගොවීන් ගේ ” ලේ කෝප කරවන ” වැඩකි.එනිසාම ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් හට ගන්නා ආරවුල් සහ මිනී මැරුම් ඇතුළු සාපරාධී ක්‍රියා වලින් ද මෙම ප්‍රදේශ නිදහස් කළ නොහැක.නමුත් මෙම ගැටලුවට එවන් ඒක පාර්ශවීය නිගමනයක් දිය නොහැක.

samanala-wewa

මේ වන විට කාසල්රී,මාඋස්සාකැලේ,කොත්මලේ,වික්ටෝරියා,රන්දෙණිගල ආදී අප රටේ ප්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත බසිමින් තිබේ.එසේ වීම මත රට තුළ ජල විදුලි උත්පාදනය අඩාල වීමේ පැහැදිලි අවදානමක් පැන නැඟී ඇත.එසේ වුවහොත් විකල්ප විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය බල ශක්ති ප්‍රභවයන් වෙනුවෙන් ගෙවීමට තරම් විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ නැත.එවිට සිදුවන ජාතික ව්‍යාසනයේ ස්වභාවය දැන්ම ගණනය කිරීමට පවා අපහසු මට්ටමක පවතී.හුදෙක් වලවේ කලාපයේ ගොවි දුක දේශපාලන කෝණයෙන් පමණක් බලා ගොවීන්ගේ ලේ රත් කරන දේශපාලනඥයන් එම තත්වය නොතකා සමනලවැවේ දියවර උඩ වලවේ ජලාශයට මුදා හරින ලෙස ඉල්ලීම් කරනුයේ මෙම යථාර්ථය නොදැන හෝ එය දැනගෙන රට යළි බරපතල ව්‍යයසනයකට ඇද දැමීමේ අරමුණින් විය යුතු ය.

එමෙන්ම ඔවුන්ගේ ඒ ප්‍රකාශ හුදෙක් පුද්ගල මති මතාන්දර මිස කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ඒවා බව අතිශයින් පැහැදිලිය.එය හරියට හිටපු ජනපති ගෝඨාභය ක්‍රියාත්මක කළ “කාබනික ගොවිතැන් “විගඩම මෙනි.ඒ අතර පසුගිය දිනයෙක ඔහුගේ ඥාති පුත්‍ර නාමල් රාජපක්ෂ ඒ කාබනික වගා ලනුව ගෝඨාට දුන්නේ අරගලයේ මහ මොළ කරුවන් බවක් පවසමින් ඒ විහිළුවට නවතම අර්ථ පූර්ණ යාවත් කාලීන කිරීමක් ද එක් කරන ලදී. ඒ සම්බන්ධයෙන් විකට රසකාමීන් ඔහුට තුති පුද කළ යුතු ය. මෙම තත්වය යටතේ පසුගිය 29 වන දා ඇඹිලිපිටිය තුංකම ඓතිහාසික තෙරුන්නාන්සේගම ගොවි පිරිසක් වැසි පතා වැසි පිරිස් සජ්ජායනාවක් සහ දේව කන්නලව්වක් ද සිදු කළහ.එහි බලය ශක්තිය කෙසේ වෙතත් එමඟින් ඒ ගොවීන් තම සිරුරු වල “රත් වූ ලේ” නම් නිවා ගන්නට ඇත.එය ද විපක්ෂ දේශපාලන කණ්ඩායම් වල බරපතල විවේචනයට ලක් ව තිබේ.

මේ අතර ජල හිඟය නිසා විනාශ වෙමින් පවතින උඩවලව ජලාශය යටතේ වගා කළ කුඹුරු වලින් යම් තරමකට හෝ ජල ප්‍රමාණයක් ලබා දීමට මොණරාගල ගොවි ජනතාව එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ පවසයි.මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ වෙතින් කරන ලද ඉල්ලීමක් පරිදි මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 11ක ඇති ජලයෙන් කොටසක් වේලි ඔය අමුණ ඔස්සේ උඩ වලවේ ජලාශයට ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශ ලේකම් වරයා කියයි.ඒ අනුව දිනකට අක්කර අඩි 1200ක ජල ප්‍රමාණයක් උඩවලවේ ජලාශයට ලබා ගැනීම ආරම්භ කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි. මෙය ඉතා සුළු ජල ප්‍රමාණයක් වුවද දැනට ජල හිඟය නිසා විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇති කුඹුරු වලින් යම් කොටසක් හෝ බේරා ගැනීමට හේතු වනු ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.කෙසේ වුව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනුයේ උඩවළවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරුවලට ජලය නොලැබුණහොත් වී වගාවෙන් රුපියල් බිලියන 17ක සහ විදුලි උත්පාදනයෙන් රුපියල් බිලියන 1.6ක පාඩුවකුත් සිදුවෙතැයි මේ වනවිට ගණන් බලා ඇති බවකි. කෙසෙල් ඇතුළු අනෙකුත් ‌බෝග හානිය නිසාත් සිදුවිය හැකි සමස්ත මුල්‍යමය අලාභය රුපියල් මිලියන 30,000ක් ඉක්මවනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියි.

දැන් මේ රටේ පොදු ජනතාව වන අප විසින් කළ යුත්තේ ගෝලීය උණුසුම ඉහළ නැංවීම එල්නිනෝ සංසිද්ධිය වැනි දේශගුණික තත්වයන් හමුවේ ඉදිරියේ එළඹෙන අයහපත් කාලගුණික අභියෝගයන් පිළිබඳ දැනුවත් වීම හා ඒවා සම්බන්ධයෙන් ගත යුතු හා ගත හැකි ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජාතික එකඟතාවකට පත් වීම ය.එසේ නොමැතිව මෙම දරුණු ඛේදවාචකය හමුවේ ආණ්ඩු හා විපක්ෂ දේශපාලනඥයන් දෙන “ගොන් ආතල්”දෙස බලා රසවත් වීම නොවේ.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර