තවමත් අපේ බොහෝ දෙනකු නොදත් අගෝස්තු 12ට යෙදෙන ලෝක අලි දිනය

elephantday2

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව අලි ඇතුන් සම්බන්ධව මහත් ජනාදරයක් දිනාගෙන සිටි රටක් වශයෙන් හැඳින්විය හැකි ය. ආසියානු අලින් අතර ශ්‍රී ලාංකික අලියා තමාට ම ආවේණික වූ අනන්‍යතාවක් සහිත සත්ත්වයකු ලෙස ද ප්‍රකට ය. මේ සියලු කීර්ති නාමයක් පැවතුණ ද කුමන හෝ අවාසනාවකට අප රටෙන් නිති පතා දැනගන්නට ලැබෙන්නේ මේ දැවැන්තයාට සිදු වන කෙනෙහිලි කම් ය. අලි මිනිස් ගැටුම, ඇත් දළ සඳහා ඇතුන් මරා දැමීම සහ මිනිසුන් භාරයේ සිටින හීලෑ ඇතුන්ට සිදු වන අමානුෂික අඩන්තේට්ටම් මේ අතර විශේෂයෙන් සඳහන් කළ හැකි ය. දළ පූට්ටුවාගේ සහ සියඹලන්ගමුවේ ඇතා ගේ මරණය මෑත කාලයේ අපට අසන්නට ලැබුණු ඛේදනීය ම සිදුවීම් අතර කැපී පෙනේ. මෙයට මෑතකදීම එක්වුණු සංවේදීතම සිදුවීම වන්නේ අලුත්ගම කන්දේ විහාරය භාරයේ සිටි ‘මුතු රාජා’ගේ ඛේදවාචකයයි. අප රටෙන් කරන ලද ඉල්ලීමකට අනුව තායිලන්ත රජ පවුල විසින් එම රටේ දී ‘සක් සූරින්’ නමින් හඳුන්වනු ලැබූ මේ ඇතා 2002 වසරේ දී ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර එතැන් පටන් ඇති දැඩි වූයේ යට කී කන්දේ විහාරයේ ය.

dalapuuttuwa

ඉතා දිගු ඇත් දළ යුගලයකට හිමිකම් කීම, තායි රජ පවුලේ පරිත්‍යාගයක් ලෙස ලැබීම, බෞද්ධ විහාරස්ථානයක ඇති දැඩි වීම වැනි සුවිශේෂී කාරණා තිබුණ ද මුතු රාජාට අත්විඳින්නට සිදු වූයේ පුදුමාකාර දුක්ගැහැට කන්දරාවකි. මෙතරම් වටිනා අලියකු බෞද්ධ විහාරස්ථානයට භාරයේ සිටිය දී සිදු වූයේ පෙරහරේ යනවාට වඩා කොට අදින්නට ය. ගුටිකමින් පීඩා විඳින්නට ය. මෙය අවසන් වූයේ මේ පිළිබඳ කළ පැමිණිලිවලින් පසුව තායිලන්ත දූත පිරිසක් මෙහි පැමිණ මේ පිළිබඳ පරීක්ෂා කොට බැලීමෙන් පසු මේ සියලු කාරණා නිවැරදි බව සාක්ෂාත් කර ගැනීම ය. අවසානයේ තායිලන්ත රජය මහත් ධනස්කන්ධයක් වැය කරමින් මේ මුතු රාජා නැවත සිය උපන් රටට රැගෙන යාම සිදු විය. අප රටේ බොහෝ මාධ්‍ය මෙය වාර්තා කොට තිබුණේ මුතු රාජාගේ අසනීප තත්ත්වය නිසා තායිලන්තයට රැගෙන ගොස් නැවත අප රටට ලබා දෙන ආකාරයෙන් වුවත්, ලොව පිළිගත් අල්ජසීරා, බීබීසී වැනි ජාත්‍යන්තර මාධ්‍ය මෙය වාර්තා කොට තිබුණේ ‘බෞද්ධ විහාරස්ථානයක දුක් පීඩා විඳීමින් සිටි ඇතකු ගලවා ගැනීමක්’ ලෙසිනි. මුතු රාජා නැවත අප රටට කිසිසේත්ම නැවත ලබා නොදෙන බව තායිලන්ත බලධාරීහු සහතික කළ හ. එයින් අප රටට අත් වූයේ ඉමහත් අපකීර්තියකි. නමුත් අප රට කරවන්නවුන්ට මේ පිළිබඳ වගක් නැත.

මේ කෙටි විස්තරය සඳහන් කළේ අගෝස්තු 12 වැනිදාට යෙදෙන ‘ලෝක අලි දිනය’ පිළිබඳ කතාව ආරම්භ කිරීමේ පූර්විකාවක් ලෙසිනි. අපට ලෝක අලි දිනය පිළිබඳ කතා කරන්නට සිදුව ඇත්තේ අලි ඇතුන් සම්බන්ධ එවැනි ඛේදනීය පසුබිමක සිට ය.

ලෝක අලි දිනයේ ආරම්භය සිදුව ඇත්තේ 2011 වසරේ දී ය. මේ සඳහා මුල් වූයේ කැනේඩියානු චිත්‍රපට නිර්මාණකාරියක වන පැට්‍රීෂියා සිම්ස්, වන සතුන් සුරැකීම සම්බන්ධ කැනේඩියානු ආයතනයක් වන කෑන්ස්වෙස්ට් හි මයිකල් ක්ලාර්ක් සහ තායිලන්තයේ අලි ඇතුන් නැවත වනගත කිරීම සම්බන්ධව ක්‍රියාකාරී සංවිධානයක් වන Elephant Reintroduction Foundation හි මහලේකම් සිවපෝර්න් දර්දනානන්ද යන තිදෙනා ය. මෙය ආරම්භ කොට මේ වන විිට වසර 12ක් වන අතර දැනට ලෝකයේ වන සතුන් සම්බන්ධ ක්‍රියාකාරී සංවිධාන සියයකටත් වඩා මේ දිනය සමරයි. වසර දොළහක ඉතිහාසයක් ඇති මේ දිනය තවමත් අපේ රටේ සමරන බවක් පෙනෙන්නේ නැත. එවැනි දෙයක් සිදු වනවා නම් මිනිසුන් භාරයේ සිටින අලි ඇතුන්ට සිදු වන දුක් පීඩා මෙවැනි ක්‍රියාකාරකම් හමුවේ ජාත්‍යන්තරයට වඩාත් පුළුල් ලෙස විවර කිරීමේ හැකියාව පවතී. අගෝස්තු 12 හැරුණු විට අලි ඇතුන් වෙනුවෙන් වෙන් වූ තවත් දින දෙකක් තිබෙන බව ද මෙහි දී සඳහන් කිරීම සුදුසු ය. ඒවා වන්නේ අප්‍රේල් 16 වැනිදාට යෙදෙන ‘අලි සුරැකීමේ දිනය’ (Save the Elephants Day) සහ සැප්තැම්බර් 22 වැනිදාට යෙදෙන ‘අලි ඇගයීමේ දිනය’ (Elephant Appreciation Day) යන ඒවා ය. අලි ඇතුන් ඇතුළු සියලු සතුන් කෙරෙහි දයා සිතක් ඇති සියලු දෙනාට මේ දිනයන් ද වැදගත් වනු ඇත.

ලෝක අලි දිනය ආරම්භ කිරීමේ අරමුණ වන්නේ අප්‍රිකානු සහ ආසියානු අලින්ගේ ඉරණම පිළිබඳ මිනිසුන් තුළ වහා වහා දැනුම්වත් කිරීම සහ වනගත සහ මිනිසුන් විසින් අල්ලා ගෙන සිටින හීලෑ අලි ඇතුන්ගේ සුබසාධනය පිළිබඳ ධනාත්මක මැදිහත් වීම් සිදු කිරීම ය. ලෝක රතු දත්ත ලැයිස්තුව තුළ අප්‍රිකානු අලියා ‘අනතුරට ලක් වීමේ ඉඩකඩ ඇති’ ලෙස ද, ආසියානු අලියා ‘වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති’ යනුවෙනුත් සඳහන් කොට තිබේ. අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ කාර්යයේ නියැලී සිටින එක් පුද්ගලයකු සඳහන් කොට තිබුණේ තව වසර 12 ක් තුළ අලි ඇතුන් සියල්ල මෙලොවෙන් තුරන් ව යාමේ අවදානමක් පවතින බව ය. දැනට ගණන් බලා ඇති පරිදි අප්‍රිකානු අලි ඇතුන් ගහනය 400,000 ක් පමණ වන අතර ආසියානු ගහනය 40,000 ක් පමණ වේ. කෙසේ නමුත් මේ සංඛ්‍යාලේඛන මෙයට වඩා වෙනස් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

චීනය තුළ ඇත් දළ සඳහා ඉමහත් ඉල්ලුමක් පවතින බැවින් අප්‍රිකානු සහ ආසියානු අලි මහත් අවදානමකට ලක් ව සිටිති. 2014 වසරේ දී ඇත් දළ නිසා මරා දැමුණු ලෝකයේ විශාලතම අලියකු වූ කෙන්යාවේ සාටෝගේ සිදුවීම ලෝකයේ වන සතුන්ට ආදරය කරන මිනිසුන්ගේ හද කම්පා කරවන සිදුවීමක් විය. පොළොවේ ස්පර්ශ වන තරම් දිගකින් යුත් සාටෝ ගේ ඇත් දළ ලබාගැනීම පිණිස විෂ පෙවූ ඊතලයක් විද මරා දමා තිබුණි. ඇත් දළ අලින්ගේ මස්, සම සහ අනෙකුත් ශරීර කොටස් සඳහා ද ඇත්තේ දැඩි ඉල්ලුමකි. මේ නිසා අලි ඇත්තු මහත් ජීවිත අවදානමකට මුහුණ දී සිටිති. ඔවුන් මහ වනයේ හෝ මිනිස් ඇසුරේ හෝ ආරක්ෂාවක් නොමැති තැනකට පත් ව තිබේ. වනයේ සිට අල්ලා ගත් අලි ඇතුන් කම්කරු සේවය, සංචාරක සේවය, සර්කස් කටයුතු සහ ආගමික සේවා සඳහා යොදා ගැනෙන අතර ඒ අතරතුරේ ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වන දුක්ගැහැට බොහෝ ය. බෞද්ධ විහාරස්ථානයක සිටිය ද මුතු රාජාට අත් වූ ඉරණම මෙයට ඇති හොඳම සහ මෑතම උදාහරණය යි.

විවිධ කාරණා නිසා වනාන්තර එලි වීම, ඒ නිසාම අලි ඇතුන්ගේ වාසභූමි අහිමි වීම, සදාතනික අලි මිනිස් ගැටුම, මිනිසුන් අතරේ දී වධහිංසාවලට ලක් වීම අලි ඇතුනට ඇති ප්‍රධාන පෙළේ ගැටලු වේ. දැනට ගණනය කර ඇති පරිදි දිනකට මරා දැමෙන අප්‍රිකානු අලි ඇතුන්ගේ සංඛ්‍යාව සියයක් පමණ වේ.

අලි ඇතුන්ට සැලකීම සම්බන්ධව නරක කීර්තිනාමයක් ඇති අප රටේ ලෝක අලි දිනය පිළිබඳ දැනුම්වත් ව සිටීම සහ මේ දිනය අලළා පාසල් මට්ටමේ සිට වැඩසටහන් දියත් කිරීම නො පමාව කළ යුතු කාලය එලැඹ තිබේ. මේ වන විට අප රටේ විවිධ පරිසර සංවිධාන ලෝක අලි දිනය සැමරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් පවතින බව පෙනෙන්නට තිබේ. එය සැබවින්ම ප්‍රගතිශීලි පියවරක් ලෙස සඳහන් කළ හැකි ය. ඉදිරි පරම්පරාව හෝ අලි ඇතුන් සම්බන්ධව අප තුළ මුල් බැස ගෙන ඇති සාම්ප්‍රදායික සහ වැරදි මතවලින් ගලවා ගත හැකි වන්නේ එවිට ය. අලි ඇතුන්ගේ ජීවිත වඩාත් යහපත් වන්නට අඩිතාලම සැකසෙන්නේ එවැනි වාතාවරණයක් ඇති වූවහොත් පමණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර