ආගමන විගමන දෙපාර්තමේන්තුවේ “කොක් උගුලක්” ගැන හිටපු මහ දිසාපති වරයකු ගෙන් හෙළිදරව්වක්! – කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර

පසුගිය ඇසල පුන් පොහෝදා උදෙන්ම අසන්නට ලැබුණේ රජයේ සේවා සපයන ආයතනයක අසාධාරණ සැලකීමට භාජනය වූ පාසැල් සිසුවෙකුගේ හා මවකගේ කතා පුවතකි.කතාව මෙසේ ය. දැනට කලකට ඉහත දී ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු යුක්‍රේන ජාතික කාන්තාවක් හා විවාහ වී ඇත.මේ යුක්‍රේන ජාතික කාන්තාව එරෙටේ විවාහ වී සිට එකී විවාහය අවලංගු කරගෙන සිටි එක් පිරිමි දරුවෙකු සිටින කාන්තාවකි.මේ කාන්තාව ශ්‍රී ලාංකික පුරවැසියා හා විවාහවී සිය ප්‍රථම විවාහයේ දරුවා ද සමඟ මෙරටට පැමිණ දකුණු පලාතේ ප්‍රධාන නගරයක් ආසන්නයේ වාසය කරයි.ශ්‍රී ලාංකික සැමියාට දාව මේ වන විට තවත් දරුවන් දෙදෙනෙක් ඇයට සිටිති. ඇයගේ මුල් විවාහයේ දරුවා දකුණේ සුප්‍රකට ඉහල විදුහලක අධ්‍යාපනය ලබමින් සිටින අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂ දක්ෂතාවයක් දක්වන දරුවෙකි.විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු සිටියත් විදුහල නියෝජනය කරන ක්‍රීඩා තරඟව ලදී ක්‍රීඩා කිරීමට ඔහුට වරම් නැත.ඒ ඔහුට පුරවැසිභාවයක් නොමැති නිසා ය.මේ නිසා ම දරුවාගේ මව වන යුක්‍රේන ජාතික කාන්තාව ශ්‍රීලාංකීය පුරවැසියෙකුගේ කලත්‍රයාට පුරවැසි පණතේ 12 වන වගන්තියෙන් හා 14වන වගන්තියෙන් ලබා දී ඇති අයිතිය මත ඇයට හා බාල වයස්කාර ඇගේ දරුවාට මෙරට පුරවැසි භාවය අයදුම් කිරීමට ක්‍රියා කර ඇත.එම අයදුම්පතට ප්‍රකාරව පුරවැසි පණතේ බලධරයා වන අමාත්‍ය වරයා ඇයට හා ඇයගේ බාලවයස්කාර දරුවාට පුරවැසි භාවය ලබාදීම අනුමත කර ඒ පිළිබඳව සනාථ කෙරෙන පුරවැසි සහතිකයට ද අත්සන් කර ඇත. මින් මේ කාන්තාවගේත් ඇයගේ ස්වාමි පුරුෂයාගේත් ප්‍රධානම ගැටලුව වූ දක්ෂ ක්‍රීඩකයෙකු වන ඉහත කී දරුවාට තම පාසල නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට ඇති අවස්ථව උදා වන්නට ඇතැයි කාටත් සිතෙන්නට ඉඩ ඇත.එහෙත්, බරපතලම ප්‍රශ්නය මතුවූයේ ඉන් පසුව ය.

පුරවැසි පනත අනුව අමාත්‍යවරයා විසින් පුරවැසි භාවය ප්‍රදානය කරමින් අත්සන් කර ඇති පුරවැසි සහතිකය මේ අයට භාර නොදී ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ තබා ගැනීම මේ බරපතල අර්බුදයට හේතු වී ඇත.මේ දරුවාට ළඟදීම පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට නම් ශ්‍රී ලංකා හැදුනුම්පත බදාදා වන විට සකසා ගත යුතුව ඇත.හැදුනුම්පත ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වරයාට ලිපියක් නිකුත් කර ඇතත් එහි විස්තර සඳහන් වන්නේ යුක්‍රේන ජාතික කාන්තාවගේ ය. ඇයගේ දරුවාගේ නම හා ඒ නම පුරවැසි සහතිකයට ඇතුලත් කර ඇති බව හැර වෙනත් දරුවාගේ තොරතුරු කිසිවක් එම ලිපියේ සඳහන්ව නැත. හැදුනුම් පතක් සකස් කිරීමට දරුවාගේ උපන් දිනය පුරවැසි භාවය ලද දිනය වැනි තොරතුරු අවශ්‍ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා ඇත. අමාත්‍ය වරයා විසින් පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ සහතිකය අත්සන් තබා ඇති බවත් පුරවැසි සහතිකය ලබා ගැනීමට නම් යුක්‍රේනයේ පුරවැසි භාවයෙන් ඉවත් කිරීමේ සහතිකය ඉදිරිපත් කරන ලෙසටත් දන්වමින් මේ කාන්තාවට ලිඛිත දැන්වීමක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නියෝජ්‍ය පාලකවරයෙකුගේ අත්සනින් නිකුත් කර ඇත.දරුවා අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පති වරයා මේ දරුවාගේ දැන් පෙන්වන දක්ෂතාව මත අනාගතයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අති දක්ෂ ක්‍රීඩකයෙක් විය හැකි බව තහවුරු කරයි. මේ තරඟාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වුණෝත් මේ සියලු අවස්ථාවන් ඔහුට අහිමිවනු ඇත.ඉන් අනාගතයේ රට නියෝජනය කිරීමට ඉඩ ඇති ක්‍රීඩකයෙකු රටට ද නැතිවනු ඇත.අනෙක් අතට මේ දරුවාට දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන අපොස සා පෙළ විභාගයේදී විභාගයට පෙනී සිටීමට හැකිවන්නේ හැදුනුම් පතක් ඇත්නම් පමණි.නමුත් හැදුනුම්පත සැකසීමට පුරවැසි සහතිකය අවශ්‍ය ය.ආගමන විගමන දෙපාර්තමේන්තුව කියන හැටියට පුරවැසි සහතිකය ගැනීමට නම් යුක්‍රේනයට ගොස් එරටේ පුරවැසි භාවය අත් හැරීමේ සහතිකය ගෙනැවිත් අප රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.ආගමන විගමන බලධාරීන් ද දැන සිටිය යුතු අන්දමට මේ වන විට යුක්‍රේනයේ දරුණු යුධයකි.එහි යාමට හැකියාවක් නැත. ගැටලුව මෙයයි.

ඇසල පුන් පොහෝදා මේ ගැටලුව ගැන දැනගත් පසුව මූණවත් සේදීමට පෙරම මේ මානුෂීය ගැටළුව ගැන අධ්‍යනය කිරීම ඇරඹුවෙමි.මේ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති මගේ මිත්‍රයෙකුගෙන් විමසීමේදී දැනගන්නට ලැබුණු තොරතුරු වලට අනුව මෙය රාජ්‍ය සේවයේ දරුණු විකෘතිය විදහා දක්වන සිද්ධියකි.

ශ්‍රී ලංකාවේ පුරවැසි පණත ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ කලත්‍රයාට හා තමන්ගේ බාලවයස්කාර ළමුන්ට පුරවැසිභාවය ඉල්ලුම්කිරීමට හැකි ය.විෂය භාර අමාත්‍යවරයාට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හෝ පිළිගැනීමට බලය ඇත.වෙනත්‍ රටක පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ලියාපදිංචියෙන් පුරවැසි භාවය ප්‍රදානය කිරීමේ දී ඒ රටේ පුරවැසිභාවය අත හැරි බවට එරට නීතිය අනුව සහතිකයක් ලබාගෙන එය කිරීමට පුරවැසි පණතේ 15(2)වගන්තියේ විධිවිධාන පණවා ඇත.එමෙන්ම එය නොසලකා පුරවැසි කම ප්‍රදානය කිරීමට ද ඇමතිවරයාට 15(3) වගන්තියෙන් බලය දී ඇත.මේ කාන්තාවට හා දරුවාට පුරවැසිකම ප්‍රදානය කිරීමේදී පුරවැසි පණතේ 15(2)පරිදි කලින් පුරවැසි බව අත් හැරීමේ අවශ්‍යතාව නොසලකා ඇමතිවරයා විසින් පුරවැසිකම ලබා දී ඇති බව පුරවැසි සහතිකයට ඇමතිවරයා අත්සන් කිරීමෙන් පැහැදිලි වේ. මේ අවශ්‍යතාව නොසලකා පුරවැසි බව ලබන අය සිය කලින් පුරවැසි බව අත් හැරි බවට වූ සහතිකය ඇමතිවරයාට ලබාදිය යුත්තේ පුරවැසි සහතිකයේ දින සිට මාස තුනක් හෝ ඇමතිවරයා විසින් ලබාදෙනු ලබන වෙනත් කාල සීමාවක් අවසානයට පෙරාතුව බව පණතේ 21වගන්තියේ දැක්වේ.මේ කාලසීමාව කොතෙක්දැයි සීමාකර නැත.

අදේශිකයින් (රටක් නැති අය/කිසිමරටක පුරවැසිභාවයක් නැති අය ) පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජ්‍යාත්‍යන්තර ප්‍රඥප්තියක් සම්මත කර තිබේ.එකී ප්‍රඥප්තියට පිළිගත් රටවල පුරවැසි භාවය අත් හැරීම පිළිගන්නේ වෙනත් රටක පුරවැසිභාවය ඇති බව තහවුරු කළොත් පමණි. මේ ප්‍රඥප්තියට 2013 වර්ෂයේ සිට යුක්‍රේනය අත්සන් තබා ඇත. ඒ අනුව යුක්‍රේනයේ පුරවැසි භාවය අත හැරීමට නම් අදාල කාන්තාව ශ්‍රී ලංකාවේ තමාට පුරවැසි භාවය ඇති බව යුක්‍රේන බල ධාරීන්ට ඔප්පු කළ යුතු ය. ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා දුන් සහතිකය තමන් වෙත ලබා දී නැති නිසා යුද්ධය මැද්දේ යුක්‍රේනයට ගියත් තමන්ට මෙරට ඇති පුරවැසි භාවය තහවුරු කිරීමට මේ කාන්තාවට නොහැකි ය.එවිට එහි පුරවැසි භාවයෙන් ඉවත්වීමට ද නොහැකි වේ. එසේ වුවද මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව පුරවැසි සහතිකය දීමට නම් යුක්‍රේන පුරවැසි භවය අතහැරි බවට යුක්‍රේනයෙන් ලබාගත් සහතිකය ඉල්ලා සිටියි. 1948 සිට ක්‍රියාත්මක වන පුරවැසි පණත අනුව ලියාපදිංචියෙන් පුරවැසි භාවය ලබාදීමේ දී මේ අන්දමින් පුරවැසි සහතිකය ප්‍රාණ ඇපයට ගැනීම ආරම්භ කළේ පසුගිය වසර අග සිට බව ද දැන ගන්නට ඇත.මේ සියල්ලටත් වඩා අපූරු සටහනක් මේ කාන්තාවට යවා ඇති ලිපියේ තිබේ.ඒ පුරවැසි සහතිකයේ දින සිට මාස තුනක් ඉක්ම යාමට පෙර යුක්‍රේනයේ පුරවැසි භාවය අතහැරි බවට එරට නීතිය අනුව නිකුත් කරන සහතිකය ඉදිරිපත් කරන ලෙසත් එසේ නොහැකි නම් ඒ සඳහා හේතු ද සහිතව කාලය දීර්ඝ කිරීමක් ඉල්ලා තමා වෙත ලිඛිත ඉල්ලීමක් කරන ලෙසත් ය. ඒ ඉල්ලීම සමග පුරවැසි සහතිකය ද ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් ඒ ලිපියට නියෝජ්‍ය පාලක වරයෙක් අත්සන් කර ඇත.තමන් වෙත ලබා නොදුන් පුරවැසි සහතිකයත් අමුණා යුක්‍රේන සහතිකය දීමට ඇති කාලය දීර්ඝ කර ගැනීමේ ඉල්ලීම කරන්නේ කෙසේදැයි අසාගන්නට වෙන්නේ කාගෙන්දැයි කිව්වා නම් ඒ ලිපිය තවත් අපූරු ය. ඇතැම් විට හැඳුනුම්පතේ ගැටලුව නිසා අර දරුවාට විභාගය ලිවීමට නොහැකිවන්නට ද ඉඩ ඇත.

මේ අනුව මේ කාන්තාව, දරුවා, ඇගේ ස්වාමි පුරුෂයා, පාසලේ විදුහල්පති වරයා ඇතුලු සියලු දෙනා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ “කොක් උගුලක” සිරවී තිබේ.මේ අයුක්ති සහගත හා අසාධාරණ මෙන්ම අනීතික ද වන “කොක් උගුල” අටවා ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලොක්කන්‍ම ය.පුරවැසි පණතේ 13/එආ විධිවිධානයෙන් අවුරුදු පහක වීසා ලබාගෙන මෙරට ව්‍යාපෘතිවල ආයෝජන සිදුකරන ආයෝජක යින්ට මෙරට පුරවැසිභාවය ලියාපදිංචියෙන් ලබාදීමට විධිවිධාන සලසා ඇත්තේ ආර්ථික වර්ධනයට දායක වන ඔහවුන්ට සලසන විශේෂ පහසුකමක් ලෙසට ය.
ලියාපදිංචියෙන් පුරවැසිකම දීමේ දී ඇමතිවරයා පුරවැසි සහතිකය අත්සන් කළ පසු එය රඳවාගෙන මෙබඳු “කොක් උගුල්”වලට අයෝජකයින් ඇද දමීමේ ක්‍රමවේදය අඛණ්ඩව කළොත් ලංකාවේ ආයෝජනයට ගෙන්වා ගත හැක්කේ “කොණ්ඩෙ බැඳපු චීන්නු” පමණක් බව මේ ගොන් වැඩ වලට ඇහැ කන පියාගෙන හිතූ දේ කිරීමට ඉඩදී නිදි සුව වළඳන මහ ලොක්කන් ද තේරුම්ගත යුතු ය.

මේ පුරවැසි පණත හා ආගමන විගමන දෙපාර්තමේන්තුව අතර නෛතික බැඳීමක් ඇති බවක් නොපෙනේ. පුරවැසි පණතේ ජන්මය මත පුරවැසිභාවය ලැබෙන ඇතමෙකුට අදාල සහතිකයක් දීම හැර වෙනත් බලයක් පුරවැසි පණතින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබා දී නැත.පුරවැසි පණත ක්‍රියාත්මක වන්නේ අමාත්‍යවරයාගේ බලතල යටතේ ය. අමාත්‍යවරයාට පැවරී ඇති බලය ක්‍රියාත්මක කිරීමේ සහායක කාර්ය ඉටුවිය යුත්තේ අමාත්‍යංශයෙනි.ඒ අනුව අතීතයේ දී පුරවැසි පණතට කටයුතු ඒවිෂය අදාල අමාත්‍යංශයෙන් සිදුකෙරිණි.1994න් පසුව පුරවැසි අංශය යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලට ගෙන ආ පසුවත් පුරවැසි අංශයේ රාජකාරි කළේ අමාත්‍යංශය වෙනුවෙන් සහකාර ලේකම්වරුන් ය .ආගමන විගමන දෙපාර්තමේන්තුව ආගමන විගමන පණතට අදාල රාජකාරි කටයුතු කිරීමට පිහිට වූ ආයතනයකි.කලක් ගතවූ පසු අමාත්‍යංශයේ අංශයක් වූ පුරවැසි අංශය හෙමිහිට දෙපාර්තමේන්තුවේ අංශයක් බවට පත් විය. අදාල අමාත්‍යංශයත් ඒ ගැන නිහඬ වුණේ එවක ලේකම්වරයා මේ ගැන නොදැන ගත් තීරණය නිසාවෙනි.දැන් කෙලින්ම පුරවැසි පණතේ කටයුතු ආගමන විගමන පාලකගේ ග්‍රහණයේ පවතී. දෙපාර්තමේන්තුවක් විසින් අමාත්‍යංශයක කටයුතු ග්‍රහණය කළේ ඔය විදියට ය. නීත්‍යානුකූලව පුරවැසි පනත ප්‍රකාරව අමාත්‍යවරයා පුරවැසි සහතිකය අත්සන් කළ පසු එම සහතිකයේ නම් සඳහන් අයට ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට හිමි සියලු අයිතිවාසිකම් හිමි වේ.ඒ බව පුරවැසි පනතේ 18 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ “බක පණ්ඩිතයෙකු” විසින් මෑතක සිට පාර්ලිමේන්තුව විසින් නීති මගින් ලබා දී ඇති ඒ අයිතිවාසිකම අන්තනෝමතිකව අවහිර කරමින් ඇමතිවරයා නිකුත්කරන පුරවැසි සහතිකය රඳවාගෙන කලින් රටේ පුරවැසි බව ඉවත්කර ගත් ලේඛනය ගෙනෙන තුරු එය තමා භාරයේ අනීතිකව තබාගෙන සිටියි.මේ බාධක නැතිව මේ සහතිකය පමණක් නොව ඕනෑ නම් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් වුවත් මේ දෙපාර්තමේන්තුවෙන් විදේශිකයෙකුට ගැනීමට ක්‍රමවේද ඇති බව මේ කාන්තාව නොදන්නවා විය හැකිය. අදේශිකයින් හෙවත් කිසිදු රටක පුරවැසියන් නොවන්නවුන් නැති කිරීම පිළිබඳව වූ එක්සත් ජාතීන්ගේ ජ්‍යාත්‍යන්තර ප්‍රඥප්තිය විධිවිධාන පුරවැසි පණතේ විධිවිධාන පිළිබඳවත් සාධාරණය යුක්ති සහගත භාවය හෝ සදාචාරවත් බව පිළිබඳවත් කිසිදු තැකීමක් නැතිව මේ කරන කටයුතු සුළුපටු නොවන බව කිව යුතු ය.

මේවායින් පෙනෙන්නේ රාජ්‍ය සේවය යළි ගොඩ ගත නොහැකි නාරාවලක ගිලෙමින් ඇති බව නොවේද?ඉතින් අපි මේ රට කෑවේ දේශපාලකයින්‍ පමණක්යැයි කිය කියා පිරුවට ඇඳගෙන බණ කියමු. නැත්නම් කලින් කලට සුරංගනා කතා බොරු පොරොන්දු කයිවාරු වහසි බස් දොඩනා අනේකවිධ පක්ෂ කල්ලි කණ්ඩායම් වලින් එකකට බලය දී උන්‍ රට හදනකම් අපි බුදියාගමු.

– සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

 

24 sinhala news

එතෙර - මෙතෙර