පසුගිය දිනයෙක තමන් මුහුණ දී ඇති බරපතල ගැටලුවක් නිරාකරණය කර ගනු පිණිස වියපත් යුවලක් මා වෙත පැමිණියහ. ඔවුන්ගේ එම ගැටලුව නිර්මාණය වී තිබුණේ මෑතක දී විවාහ පත් තම දියණිය සම්බන්ධයෙනි. දැන් සති කිහිපයක සිට එම දියණිය තම සැමියා ද සමඟ නොයෙකුත් වාද විවාද වල පටලැවී බහින් බස් වීම් ඇති කර ගන්නා බැව් එම වියපත් යුවල මා හමුවේ කියා සිටියහ.ඔවුන් මා හා පවසා සිටි අන්දමට ඒ දියණියගේ විවාහය සිදු වී ඇත්තේ මංගල යෝජනාවක ප්‍රතිඵලයක් ලෙසිනි. පසුව ඔවුන්ගේ පොරොන්දම් පරීක්ෂාව සහ විවාහ මංගල්‍ය නැකැත් සම්පාදනය කරවාගෙන ඇත්තේ ද මා වෙතිනි. නමුත් මොන යම් හෝ හේතුවක් මත එම විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර කටයුතු සිදු කිරීමට මට අවකාශ නොලැබුණි.
ඒ දෙන්නාගේ පොරොන්දම් ගැලපීම හොඳටම හොඳයි කියලා මහත්තයා කිව්වනේ.ඒත්, එහෙම තියෙද්දීත් මොකද මේ දෙන්නා අතරේ මේ වගේ ප්‍රශ්න මතු වෙන්නේ? පළමුව මා වෙතින් එසේ විමසා සිටියේ එම කාන්තාව ය. “පොරොන්දම් ගළපලා සිද්ධ කරන කසාදෙක දෙන්නා දෙමහල්ලෝ අතරේ ගැටලු ප්‍රශ්න අර්බුද ඇති වෙන්නේ නෑ කියලා මම නම් උපන් හදවියකට අහලා නෑ. මොකද පොරොන්දම් කියන්නේ විවාහයක් සම්බන්ධයෙන් විමසා බැලෙන එක යෝග්‍යතාවක් විතරයි. ඒක හරියට පොලීසියට හමුදාවට බඳවා ගැනීමේ දී උස පරීක්ෂා කිරීමක් වගේ. ඒ කියන්නේ යමෙකුගේ උස සම්පූර්ණයයි කියලා ඒක ඒ තැනැත්තා පොලීසියට හමුදාවට බැඳෙන්න තියෙන එකම සුදුසුකම වෙන්නේ නැහැනේ. අනික විශේෂයෙන් ඔය වගේ යෝජිත විවාහයක දී දෙන්නා අතරේ මුල දී ගැටලු අර්බුද, මතවාද ඇති වෙන එක බොහොම ස්වභාවිකයි. ඒ ඔස්සේ තමයි දෙන්නා අතරේ තියෙන නොගැළපීම් ටික ටික ඉවත් වෙන්නේ. ඒ හින්ද ඒ දෙන්නා මගේ ළඟට ආවොත් මං ඒකට පුංචි උපදේශනයක් දෙන්නම්” මම ඔවුනට පැහැදිලි කළෙමි.
අතීතයට සාපේක්ෂව අද වන විට යුග දිවියට පත්වන තරුණියන්ට ද යම් උගත්කමක් සහ සමාජ තත්වයක් හිමිව තිබේ. අතීතයේ ගේ මුල්ලටම කොටු වී සිටි තරුණියන් මෙන් නොව අද තරුණියෝ විවිධාකාර ලෙසින් සමාජය ඇසුරු කරති. එනිසා ඔවුහු තම සැමියන් ඉදිරියේ වුව තම අදහස් සෘජුව පැවැසීමට පසුබට නොවෙති. මෙය මා වෘත්තීය කටයුතුවලදී පවා නිතර අත්දැක ඇති තත්ත්වයකි.
“නමුත් එදා අපේ දුවගේ කසාදේ පෝරුවේ චාරිත්‍රවල දී මෙහෙම දේකුත් වුණා. එදා ජෝඩුව පෝරුවෙන් බහින දවසේ පොල් ගෙඩිය බිඳින්න තිබුණේ මෙයාගෙ මල්ලිට. ඊට කලින් අපි ඒ පෝරුවේ චාරිත්‍ර කරන කෙනා හම්බවෙන්න ගියාම ජෝඩුව පෝරුවෙන් බහින වෙලාවේ පොල් ගෙඩිය බිඳින්නේ කොහොම කෙනෙක්ද? කියලත් අපෙන් ඇහුවා.
එතකොට අපි ඒ මෙහෙම කෙනෙක් කියලා කියනකොට තමයි එයා කිව්වේ හරි විදියට නම් ඒ වෙලාවට පොල් ගෙඩිය බිඳින එක මනමාලිගේ මාමා කෙනෙක් කළ යුතු වුණාට ඒ මනුස්සයා පස් පව් දස අකුසල් කරන පව්කාර ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඒ වගේ දේකට ගැළපෙන්නේ නෑ කියලා. සමහරු උදේ පාන්දර අරක්කු කසිප්පු බීගෙනත් ඔය වැඩේට එනවා හරියට මිනී වළවල් කපන කොට වගේ. ඒ හින්දා ඔය කියන ඥාතියා ඒ වගේ මත්පැන්වලට ඇබ්බැහි වුණු කෙනෙක් නම් අඩුම ගානේ ඊට කලින් දවස් පහක්වත් ඒ පුරුද්ද අත්හරින්න කියන්න කියලත් ඒ පෝරුවේ චාරිත්‍ර කරපු මනුස්සයා කිව්වා” ඉන්පසු මා වෙත ඒ තොරතුරු අනාවරණය කොට සිටියේ එම වියපත් පිරිමියා විසිනි.
ඔහු වැඩිදුරටත් පවසා සිටි අන්දමට එදින එම මනාල යුවළගේ පෝරුවේ චාරිත්‍ර වලින් අනතුරුව මංගල යුවළ පෝරු මස්තකයෙන් බිමට බසින විට මනාලියගේ මාමණ්ඩිය තම අතේ වූ කැත්තෙන් පොල් ගෙඩියට පහර දී තිබේ. එහෙත් එය පළමු වර,දෙවැනි වර සේම තුන්වැනි වර ද දෙපළු වී හෝ බිඳී ගොස් නැත. එය බිඳී ඇත්තේ සිව් වැනි අවස්ථාවේ ය. මෙම සිදුවීමෙන් පසුව එම අවස්ථාවට එක් වූ සියලු ඥාති මිත්රාදීහු ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලාගත් බව ඒ යුවළ මා හා කීහ. ඒ අනුව ඔවුන් මේ වන විට නිගමනය කොට ඇත්තේ එම මනාල යුවළගේ පෝරුවේ චාරිත්‍රාවලියේ ද දක්නට ලැබුණු අසුබ පෙරනිමිත්තේ සහ වර්තමානයේ එම යුවළ අතර පවතින බහින්බස්වීම් අතර කිනම් හෝ ගුප්ත සබැඳියාවක් පවතින බවකි. කාටත් වැටහෙන බසින් කිවහොත් කිසිවකු එසේ කියන්නේ නම් එය අමු ම අමු බොරුවකි. බේගලයකි. කෙබරයකි. මක්නිසාද යත් මනාල යුවළක් පෝරුවෙන් බිමට බසින විට මනාලියගේ මාමණ්ඩිය විසින් සිදු කරනු ලබන පොල් ගෙඩිය බිඳීම පෝරුවේ චාරිත්රාවලියට කෙසේවත් අයත් නොවන බැවිනි.
“ඔය මනාල ජෝඩුව පෝරුවෙන් බහින කොට පෙල් ගෙඩිය බිඳින එක උතුරු ඉන්දියාවෙන් අපිට ලැබුණු මහා සම්ප්රදායේ චාරිත්රාවලියට අයිති දෙයක් කියලා සමහරු කියනවා. ඒත් ඒක පට්ටපල් බොරුවක්. මොකද දකුණු ඉන්දියාවේ කේරලය වගේ ප්‍රදේශවල හැරුණු කොට උතුරු ඉන්දියාවේ කිසිම තැනක පොල් සම්බන්ධ චාරිත්‍ර නැහැ” මම කීවෙමි. මංගල පෝරුවේ චාරිත්‍ර අවසානයේ මනාල යුගල හා සම්බන්ධ සියළු වස් දොස් නිමා වූ බව සංකේතනය කෙරෙමින් මනමාලිය ගේ මාමා කෙනෙකු විසින් පෝරුව පාමුල සිට කැත්තකින් දෙපළු කළ යුතු පොල් ගෙඩිය හරි හැටි නොබිඳීමට හේතු කිහිපයකි.ඉන් පළමු හේතුව වනුයේ සමහර පොල් ගෙඩි වල කටුව ස්වභාවයෙන්ම ඝන කම් වීම ය.ඊට සාපේක්ෂව ඒවායේ මදය අඩු ය.මතු පිටින් බලා, අතට ගෙන, බර බලා සහ සොළවා බලා එවැනි පොල් හඳුනා ගැනීමට පොල් කර්මාන්තයට සම්බන්ධ ප්‍රවීණයන්ට පුළුවන.එබැවින් මෙබඳු කටයුත්තක් සඳහා කටුව තුනී පොල් ගෙඩියක් යොදා ගැනීමෙන් මෙම අවදානම පිටු දැකිය හැක.
එමෙන්ම පෝරුවේ චාරිත්‍ර හා කිසිදු ඒකාබද්ධතාවක් නොමැති පොල් බිඳීම කෙරෙහි එම මනාල යුවළ සේම සිව් වනක් ඥාති පිරිස් ද විශේෂ අවධානයක් යොමු කරති .පෝරුවේ චාරිත්‍ර මුල සිට අග දක්වාම මනාල යුවළ වෙත යොමු වී තිබූ අවධානය ඒ චාරිත්‍ර නිම වීමත් සමග පොල් ගෙඩිය බිඳින මනාලියගේ මාමා වෙත යොමු වීම බොහෝ විට සිදු වෙයි. එවිට ඔහු යම් මානසික තිගැස්මක් මත ඒ කාරියේ යෙදීම මත පොල් ගෙඩිය කිහිප වරක්ම කැති පහරින් නොබිඳී ලිස්සා යාමේ පහසු ඉඩක් පවතී . එසේම මෙම මෙම පොල් බිඳීමේ චාරිත්‍රය සඳහා යොදා ගන්නා ඥාතියා නිතිපතා මත්පැන් පානය කරන්නකු නම් පෝරු චාරිත්‍ර මෙහෙයවන්නා ගේ උපදෙස් මත එදිනට මත් පැන් පානයෙන් වැලකී සිටීම මත වෙනදා ශරීරයට ලැබෙන ඇල්කොහොල් ප්‍රමාණය නොලැබීමෙන් ඒ තැනැත්තා ගේ ස්නායු අඩපණ වී ඇඟිලි අත් වෙව්ලීමේ පැහැදිලි අවකාශයක් තිබේ.එවිට ඒ නිසා ද එවැන්නවුන් බිඳින පොල් එක් වරම නොබිඳෙන්නට පුළුවන.එනිසා ඥාතීත්වය මුල් කොට එවැන්නවුන් මෙම කාරියට යෙදවීමට වඩා එවැනි කායික මානසික දුබල කම් නොමැති ඥාතීන් නොවන කෙනකු හෝ මේ සඳහා යොදා ගැනීමේ කිසිදු දොසක් නැත.
හේම ශ්‍රී අමරසිංහ