වසර 47 කට පසු රුසියාව සඳ වෙත යානයක් යවයි

russiyamoon

රුසියාව යනු කලෙකට පෙර අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටි රටකි. මුලින්ම චන්ද්‍රිකාවක් (ස්පුට්නික්-1) අභ්‍යවකාශගත කිරීමේ ගෞරවය මෙන්ම පළමු වරට මිනිසෙකු (යූරි ගගාරින්) අභ්‍යවකාශයට යැවීමේ ගෞරවය ද, එමෙන්ම පළමු වරට යානයක් (ලූනා-2) සඳ මත ගොඩ බැස්සවීමේ ගෞරවය ද හිමි කරගෙන සිටින්නේ රුසියාව යි. ඒ නවසිය පනහ හැට දශකවල ය. ඒ වනවිට රුසියාව අයත්ව සිටියේ සෝවියට් සංගමයට යි. අතීතයේ එසේ වුව ද මෑත කාලයේ රුසියාව අභ්‍යවකාශ තරගය තුළ යම් පසුබෑමකට ලක්ව සිටි අතර ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි රටවල් රුසියාව පසුකර යමින් මේ වනවිට එම ක්‍ෂේත්‍රයේ වේගවත් ඉදිරි ගමනක නිරතව සිටියි.

කෙසේ හෝ වේවා, මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම නිසාදෝ රුසියාව දැන් නැවතත් අලුත් වටයකින් සිය අභ්‍යවකාශ ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට සැරසෙන ආකාරයක් දැකිය හැකි වේ. මෙහි මුල් පියවරක් ලෙස ඔවුන් පසුගිය 11 වැනි දා යානයක් අභ්‍යවකාශගත කළ අතර එය තව දින කිහිපයකින් සඳ මත ගොඩ බැසීමට නියමිත ය. මෙම යානය නම් කර ඇත්තේ ලූනා-25 (Luna-25) යනුවෙනි.

රුසියාව මේ ආකාරයෙන් යානයක් සඳ වෙත යවන්නේ වසර 47 කට පසුව වීම විශේෂත්වයකි. ඔවුන් අවසන් වරට යානයක් සඳ මත ගොඩ බැස්සවූයේ 1976 වසරේ අගෝස්තු මාසයේ යි. ඒ ලූනා-24 නැමැති යානය යි. සඳෙහි ‘මෙයාර් ක්‍රිසියම්’ නැමැති ප්‍රදේශය මත ගොඩබට ලූනා 24 යානය එහි පස් සාම්පල රැගෙන නැවත පෘථිවියට පැමිණයේය. දැන් ලූනා 25 සඳ වෙත යන්නේ එයින් දශක පහකට ආසන්න කාලයකට පසුව ය.

මේ වනවිට ඉන්දියානු අභ්‍යවකාශ යානයක් ද සඳ මත ගොඩ බැසීම සඳහා යමින් සිටියි. චන්‍ද්‍රයාන්-3 නැමැති මෙම යානය ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකොතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූයේ පසුගිය ජුලි 14 වැනි දින යි. එය අගෝස්තු 23 වැනි දින සඳ මත ගොඩ බැසීමට නියමිත අතර රුසියාවේ ලූනා-25 ගොඩ බැසීමට නියමිතව ඇත්තේ ද එදිනම ය. මෙම යානා දෙකම ගොඩ බසින්නේ සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපයට යි. මෙතෙක් කිසිදු රටක් මෙම කලාපය මත යානයක් ගොඩ බස්සවා නොතිබීම විශේෂත්වයකි. ඒ නිසා දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්ස වූ පළමු රට බවට පත් වීමට ඉන්දියාව සහ රුසියාව අතර තරගයක් ඇති වී තිබේ. සඳෙහි සමකය ආසන්න කලාපයේ යානා රැසක් ගොඩ බස්සවා ඇතත් ධ්‍රැව ආසන්න කලාපවල මෙතෙක් යානා ගොඩ බස්සවා නැත්තේ එය තරමක් අසීරු සහ අභියෝගාත්මක කටයුත්තක් ලෙස සැලකෙන නිසා ය.

කෙසේ නමුත් මෙම දක්‍ෂිණ ධ්‍රැව කලාපය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ රටවල විද්‍යාඥයෝ විශාල අවධානයක් යොමු කරමින් සිටිති. එයට හේතුව මෙම කලාපයේ කිසි දා හිරු එළිය නොවැටෙන ස්ථානවල ජලය පැවතිය හැකි බවට වන විශ්වාසය යි. සඳ මත ජලය සොයා ගැනීමට හැකි වුවහොත් එය සඳ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජලය යනු ජීවයෙහි පැවැත්මටත් අවශ්‍යම වන සාධකයකි. සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයෙහි ජලය පවතින්නේ නම් එහි ක්‍ෂුද්‍ර ජීවීන් පවා සිටින්නට ඉඩ ඇති බව විද්‍යාඥයන්ගේ අදහස යි.

සඳ මත ජලය ඇත්නම් එම ජලය යොදාගනිමින් ඉන්ධන නිපදවීමට ද විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. අනාගතයේ සිදු කිරීමට නියමිත අඟහරු චාරිකා වැනි කටයුතුවල දී එම ඉන්ධන යොදා ගැනීමට අපේක්‍ෂා කෙරේ. සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවය ඉලක්ක කර ගවේෂණ කටයුතු සිදු කිරීම වැදගත් වන්නේ එබැවිනි.

චන්‍ද්‍රයාන්- 3 යානය අභ්‍යවකාශගත කළ අවස්ථාවේ ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ ආයතනයේ ප්‍රධානියා වන ශ්‍රීධර පනිකර් සෝමනාත් මෙවැන්නක් පවසා තිබිණි. ‘සදෙහි සමකය ආසන්න කලාපය ගැන මේ වනවිට බොහෝ අධ්‍යයනයන් සිදු කර තිබෙනවා. ඒ නිසා අලුත් යමක් සොයා ගන්නට නම් අප අලුත් කලාප ගවේෂණය කළ යුතුයි. දක්‍ෂිණ ධ්‍රැව කලාපය එවැනි කලාපයක්’.

රුසියාවේ අභ්‍යවකාශ ගවේෂණ කටයුතු භාරව සිටින රොස්කොස්මොස් ආයතනයේ විද්‍යාඥයන් පවසන ආකාරයට ලූනා 25 වසරක කාලයක් සඳ මත ක්‍රියාත්මකව පවතිනු ඇත. මෙම දක්‍ෂිණ ධ්‍රැව කලාපයෙහි පස් පිලිබඳව මෙන්ම වායුගෝලය පිලිබඳව ද එය අධ්‍යයනය කරනු ඇති බව සඳහන් වේ.

මෙවැනි විද්‍යාත්මක අරමුණුවලට වඩා වෙනස් අරමුණු ද රුසියාවෙහි මෙම ලූනා 25 ව්‍යාපෘතිය හා බැඳී ඇති බව පෙනේ. සඳ වෙත යානයක් යැවීම වැනි කටයුතු තවමත් තමුන්ට කළ හැකි බව ලෝකයට මෙන්ම තම තරගකරුවන්ට ද පෙන්වීම එවැනි එක් අරමුණකි. පසුගිය කාලයේ ඇමරිකාව වැනි රටවල් රුසියාවට එරෙහිව ක්‍රියාත්මක කළ විවිධ සම්බාධක නිසා ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතුවලට ද බොහෝ බලපෑම් ඇති විය. නමුත් එවැනි ගැටලු මධ්‍යයේ වුවද තමුන්ට ඉදිරියට යාමට හැකි බව රුසියාව මේ තුළින් පෙන්වා දීමට උත්සාහ කරයි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර