රාජ්‍ය සේවා කොමිසමට ප්‍රශ්න පත්‍රයක්;මාධ්‍ය නිවේදනයකින් පිළිතුරු දෙන්න – කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර කියයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාවේ තනතුරු සඳහා පත්වීම් දීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබ තිබේ.මේ පත්වීම් ලබා දෙන ක්‍රියා පටිපාටි ඇතුලත් රීතිමාලාව හදුන්වන්නේ කාර්ය පටිපාටික රීති යනුවෙනි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මුලින්ම මේ රීති පැනෙව්වේ 2009 වර්ෂයේ ය.ඉන් අනතුරුව මෑත භාගයේ නව කාර්ය පටිපාටික රීතිමාලාවක් ද සකස් කර ප්‍රකාශයට පත්කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත ඉහත සඳහන් රීති ප්‍රකාරව රාජ්‍ය සේවාවේ සෑම තනතුරක් සඳහාම බඳවා ගැනීමේ පටිපාටියක් තිබිය යුතු ය. එමෙන්ම සෑම සේවාවක් සඳහාම සේවා ව්‍යවස්ථාවක් ද තිබිය යුතු වේ. මේ කාර්ය පටිපාටික රීති අනුගමනය කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථය යටතට ගැනෙන සියලු රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් වලදී අදාල වන අතර ඒ රීතිමාලාව අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වෙයි.

රාජ්‍ය සේවා කොමිසමේ බලාධිකාරය යටතේ ඇති රාජ්‍ය සේවයේ සෑම තනතුරකටම පත්වීම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු පොදු ක්‍රියා මාර්ග කාර්‍ය පටිපාටික රීති වලින් පැහැදිලිව නියම කර තිබේ.ඒ පොදු ක්‍රියා පටිපාටි මෙසේය. සෑම පත්වීමක් සඳහා තෝරා ගැනීමට සේවා ව්‍යස්ථාව හෝ බඳවා ගැනීම් පටිපාටියට අනුව පත්වීම් බලධරයා විසින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතු ය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අවම වශයෙන් සාමාජිකයින් තිදෙනෙකුගෙන් වත් සමන්විත විය යුතු ය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ එක් සාමාජිකයෙකු වත් පුරප්පාඩු පවතින ආයතනයේ නොවන රාජ්‍ය නිලධාරියෙකු විය යුතු අතර එක් කාන්තා සාමාජිකයෙකුවත් ඇතුලත් විය යුතු ය. සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු ලබාදෙන්නේ නම් ලකුණු ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව අයදුම්පත් කැඳවීමේ නිවේදනයේම ප්‍රසිද්ධ කළ යුතු ය.ලිඛිත විභාගයක් නොමැතිව සම්මුඛ පරීක්ෂණයක් මගින් පමණක් බඳවා ගැනීම් සිදු කරන්නේ නම් සම්මුඛ පරීක්ෂණය ව්‍යුහගත එකක් විය යුතු අතර ලකුණු දීමේ ක්‍රමවේදය අයදුම්පත් කැඳවීමේ දැන්වීමේ ම ප්‍රසිද්ධ කළ යුතුය.සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පරීක්ෂණය අවසානයේ දී අයදුම් කරුවන් ලබාගත් ලකුණු අනුව ලේඛනයක් පිළියෙල කර එහි සෑම පිටුවකම මණ්ඩල සාමාජිකයින් අත්සන් කළ යුතු ය. තවත් බොහෝ දේ ඇතත් මම අද ලියන්න අදහස් කරන දේට මේ ටික ප්‍රමාණවත් වෙයි.

මට මේ පටිපාටි සේරම මතක් වුණේ රාජ්‍ය සේවා කොමිසම විසින්ම කර ඇති පත්වීමක් පිළිබඳව දැනගත් පසුව ය. රාජ්‍ය සේවා කොමිසම කර ඇති පත්වීම එහි ලේකම් ධුරයට කෙනෙක් පත්කිරීම ය.ඔය ලේකම්ධුරයට කෙනෙක් පත්කිරීමේ අයදුම්පත් කැඳවීමක් මීට පෙර කර තිබූ වෙලාවක ඒ අයදුම්පත් කැඳවීමේ තිබූ විසුළු සහගත බව හා එහි දී සුදුසුකම් නියම කර තිබූ අන්දම ගැන ද විවේචනාත්මක ලිපියක් මා විසින්ම එදා ලියා පළ කරන ලදී. ඊටපසු ඒ කොමිෂන් සභාව කම් වූ පරිද්දෙන් පරිච්ඡින්නවී නව ස්වාධීන සාමාජිකයින් පිරිසක් පත්වීම් ලබන තුරුම ලේකම් ධුරයට කෙනෙක් බඳවා ගැනීම නැවතුණි. දැන් හදිසියේම ලේකම් කෙනෙක් වැඩ භාරගෙන ඇත.ඒ අතර රාජ්‍ය සේවා කොම්සමේ මෙතෙක් සේවය කල ජ්‍යෙෂ්ටතම නිලධාරීන් කොමිෂන් සේවයෙන් ඉවත්වීමත් ආරම්භ වී ඇති බවත් දැන ගන්නට ඇත. මේ පසුබිම යටතේ රාජ්‍ය සේවා කොමිසමෙන් විමසා දැන ගැනීමට කරුණු කීපයක් සාමාන්‍ය මහජනතාව නියෝජනය කරන්නෙකු හැටියට මට ද තිබේ.රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීන සභාපති ඇතුළු සාමාජිකත්වයෙන් විමසන මේ ප්‍රශ්න මාලාව සමාජගත කරන අතර පිළිතුරක් දෙන්නේ නම් එය ද මාධ්‍ය මඟින් සමාජ ගත කිරීම මගින් කොමිසමටත් සාධාරණය ඉටු වනු ඇත.ඒ ප්‍රශ්න ටික මෙසේය.

1.) රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ධුරය නම් වූ රාජ්‍ය සේවා තනතුර සඳහා බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කර ප්‍රසිද්ධ කර තිබේද?

2.)එසේ බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කර නැතිනම් කොමිසම විසින්ම අනුමත කර ප්‍රසිධ කර ඇති කාර්ය පටිපාටික රීතිමාලාව කොමිසම විසින්ම උල්ලංඝණය කර ඇති බව පිළිගන්නවාද?

3.)රාජ්‍යසේවා කොමිසමේ ලේකම් ධුරයට පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීමක් සිදුකළේද?එසේනම් එය ප්‍රසිද්ධ කළේ කවර ආකාරයකින්ද?

4.)එම අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ බඳවා ගැනීම සඳහා සුදුසු අයැදුම් කරුවෙකු තෝරාගන්නා අන්දම එනම් ලිඛිත විභාගයකින් ද සම්මුඛ පරීක්ෂණයක් මගින් ද නැතිනම් සම්මුඛ පරීක්ෂණයක් හා වෘත්තිය පරීක්ෂණයකින් ද යන වග යන වග ප්‍රසිද්ධ කරනු ලැබුවේද?

5.)සුදුස්සෙකු තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම මගින් පමණක් සිදුකරන්නේ නම් අනුමත ලකුණු දීමේ ක්‍රමය අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ ඇතුලත් කරනු ලැබුවේද?

6.)සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා පත් කළ සාමාජිකයින් ගෙන් පිටස්තර ආයතනයක් නියෝජනය කිරීම සඳහා පත් කළ සාමාජිකයා කවුරුන්ද?(ඔහු හෝ ඇය වෙනත් ස්වාධීන කොමිසමක සාමාජිකයෙක් වන්නට ඇතැයි ද සිතමි)

7.)මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අයදුම්කරුවන් සඳහා ලකුණු දීමක් සිදු කළේද?ඒ ලකුණු දීමේ ක්‍රමය ප්‍රසිද්ධ කර තිබුණේද?ඒ ලකුණු සටහන් කළේ පෑනකින්ද? (පෑනකින්ම විය යුතු බව රීතිවල සඳහන් ය)

8.)එක් එක් අයදුම්කරුවා ලබාගත් ලකුණු අනුපිළිවෙලට ලේඛනයක් පිළියෙල කර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සෑම පිටුවකම අත්සන් කර කොමිසමට ලබාදුන්නේද?

9.)මේ ලකුණු ලේඛනය කොමිෂන් සභාවේ පූර්ණ රැස්වීමකට ඉදිරිපත් කර ලේකම් ධුරයට සුදුසු අයදුම්කරුවා කවරෙක්ද? යන්න පිළිබඳව සාමාජිකයින් අතර අදහස් විමසීමක් සිදුවිණිද?

10.)දැනට තෝරාගෙන පත්කර ඇති නිලධාරිනියට වැඩියෙන් ජ්‍යෙෂ්ට හා පලපුරුදු නිලධාරීන් නිලධාරිනියන් කීප දෙනෙක්ම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ බව ඇත්තද?ඒ අය අතර කොමිසමේ සේවය කරන නිලධාරීනුත් සිටියේද.?එසේ නම් ඒඅය මේ තනතුරට අදාලව සම්මුඛ පරීක්ෂණයේ දී ලබාගත් ලකුණු වලට වැඩියෙන් ලකුණු කොමිසම තෝරාගත් නිලධාරිනියට ලැබී තිබුණාද?එසේ නම් ඒ නිලධාරිනියට එපරිද්දෙන් ලකුණු ලැබීමට පදනම්වූ ලකුණු ක්‍රමය ප්‍රසිද්ධ කළ හැකිද?

11.)කොමිෂන් සභාවේ ලේකම් ධුරය සඳහා මේ පත්කර ඇති නිලධාරිනිය පත්කරන ලෙසට කොමිසමේ සභාපති වරයාට කිසියම් බලවන්ත නිලධාරියෙකුගේ බලපෑමක් සිදුකෙරෙමින් පවතින බවට දැනට සති කීපයකට පෙර ප්‍රසිද්ධ වෙබ් අඩවියක ලිපියක් පළවී තිබුණු බව දන්නේද?

12.)එම වෙබ් ලිපිය අනුව සභාපතිවරයාට විදේශ තානාපති ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වී මේ නිලධාරිනියව කොමිසමේ ලේකම් ධුරයට පත්කරන ලෙසට බලපෑමක් සිදුවෙමින් පවතිනවා යැයි ප්‍රසිද්ධ කර තිබූ බව දන්නේද?

13.ඒ අන්දමින් ස්වාධීන කොමිසමක ට එල්ල වන බලපෑමක් ගැන ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළවී තිබියදී මේ පත්වීම ගැන තීරණ ගැනීමේ දී කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ තෝරා ගැනීමට සම්බන්ධ නොවී අනිකුත් සාමාජිකයින්ට තීරණයක් ගැනීමට ඉඩ දීම සදාචාර සම්පන්න බව සභාපතිවරයාට නොසිතුණේද?

14.රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධුරයේ පත්වීම් බලධාරිත්වය කොමිෂන් සභාවට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබුණත් ඕනෑම අයෙක් පත්කිරීමේ බලයක් කොමිසමට ලබා දී නැති බවත් කාර්ය පටිපාටික රීතිවලින් බැහැරව පත්වීම් දීමේ බලය කොමිසමේ රඳවාගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට යටත්ව බවත් කොමිසම දන්නේද?දන්නවා නම් මේ පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1)ට අනුකූලයයි සහතික විය හැකිද?

15.)මහජනතාව හැටියට අප අපේක්ෂා කළ ස්වාධීනත්වය රාජ්‍ය සේවා කොමිසම විසින් අඛණ්ඩව දිගටම පවත්වාගෙන ආ බව තහවුරු කිරීමට මේ විමසා ඇති ප්‍රශ්න අරබයා මාධ්‍ය නිවේදනයකින් වත් කරුණ පැහැදිලි කරන්නේද?

16.)මේ පත්වීම දීමට කොම්සම ගත් තීරණය අසාධාරණයැයි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ අපේක්ෂකයෙක් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියට පැමිනිලි කළොත් එය කොමිසමේ අභිමානයට බලවත් පහරක් වනු ඇතැයි සිතෙන්නේ නැතිද.?

ප්‍රශ්න ඔපමණ ය.මේවා උත්තර ලැබුනොත් අතුරු ප්‍රශ්න කීපයක් අසන්නට බලාපොරොත්තු වෙමි කොමිෂන් සභාවේ ඉන්නා මා දන්නා ගරු කටයුතු මහත්වරු හා නෝනාවරු කීප දෙනාම මගේ මේ හිතුවක්කාර වැඩ ගැන දන්නා අය නිසා මා සමග උරණ නොවනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර