සීගිරි පිවිසුම් ගාස්තුව විදෙස් සංචාරකයන් ගසා කෑමක් ද?

sigiriya-tickert

විදේශීය කාන්තාවක් සීගිරියට ප්‍රවේශ වීම සඳහා මිල දී ගත් ප්‍රවේශ පතක් සහ දේශීය වැඩිහිටියකු සඳහා නිකුත් කරන ප්‍රවේශ පතක් සහිත ව සමාජ මාධ්‍යවල පළ කළ අදහස් පසුගිය සතිවල මහත් ආන්දෝලනයකට ලක් වූ සිදුවීමක් බවට පත් ව තිබිණි. ඇය පවසා සිටියේ විදේශීය වැඩිහිටියකු වෙනුවෙන් සීගිරියට ඇතුළු වීම සඳහා ඇමරිකානු ඩොලර් 30 ක් ද දේශීය වැඩිහිටියකුට සීගිරියට ඇතුළු වීම සඳහා රුපියල් 100 ක් ද වශයෙන් ඉතා විශාල වෙනසක් සහිත මුදල් අය කිරීමක් සිදු වන බවය. ඩොලර් 30 ක් යනු මේ ලිපිය ලියන මොහොත වන විිට පවතින ඩොලර් අනුපාතයට අනුව රුපියල් 9688.71 කි. බැලූ බැල්මට මෙහි යම්කිසි අසාධාරණයක් පවතින බව යම් කෙනෙකුට සිතෙන්නට පුළුවන. මේ සම්බන්ධයෙන් කොටස් දෙකකට බෙදී සමාජ ජාලවල අදහස් දක්වනු දක්නට ලැබිණි. එක් පිරිසක් පැවසුවේ මෙය ඉතා අසාධාරණ බවත්, මේවා සංචාරක වෙබ් අඩවිවල පළ වීමෙන් පසු ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම කෙරෙහි එය බලපාන්නට හැකි බවත්, මේ සා විශාල මුදලක් අය නො කොට වඩාත් සාධාරණ මුදලක් අය කිරීම සුදුසු බවත් වැනි අදහස් ය. තවත් පිරිසක් පැවසුවේ මෙහි කිසිදු අසාධාරණයක් නොමැති බවත්, සෑහෙන කලක පටන් මේ ආකාරයට ඩොලර් 30 ක් අය කිරීම සිදු වන බවත්, ශ්‍රී ලංකාවට පැමිණ සංචාරය කරන්නට හැකියාව ඇති විදේශිකයන්ට මේ මුදල එතරම් තැකිය යුතු දෙයක් නොවන බවත් වැනි අදහස් ය.

සීගිරියට ඇතුළ වීමේ දී අය කරන ගාස්තු නිල වශයෙන් පහත පරිදි වර්ග කොට දක්වා තිබේ.

සාක් රටක නොවන විදේශ වැඩිහිටි – ඩොලර් 30

සාක් නොවන රටක විදේශ ළමා – ඩොලර් 15

සාක් රටක වැඩිහිටි – ඩොලර් 15

සාක් රටක ළමා – ඩොලර් 15

දේශීය වැඩිහිටි – රුපියල් 100

දේශීය ළමා – රුපියල් 50

බිලිඳුන් සහ ළදරුවන් – නොමිලේ

මේ අය කිරීම බොහෝ කාලයක සිට සිදු කෙරෙමින් පවතින්නක් වන අතර මෙතෙක් කිසිවෙකු ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කොට නැත. මෙය ප්‍රවේශ පත්‍ර කවුළුව අසල ද ප්‍රදර්ශනයට තබා ඇති අතර එය දේශීය විදේශීය සියලු දෙනා බොහෝ වාරයක් දැක තිබුණ ද කිසිවකුට ඒ ගැන අදහස් දක්වන්නට අවශ්‍යතාවක් ඇති වී තිබුණේ ද නැත. කෙසේ නමුත් පෙර කී විදේශීය කාන්තාවගේ සිදුවීමෙන් පසුව බොහෝ දෙනෙක් ඒ සම්බන්ධව අදහස් දක්වන්නට පටන් ගත්හ.

සැබවින්ම මේ අය කිරීම සාධාරණ ද? අසාධාරණ ද?

ශ්‍රී ලංකාව ගතහොත් අපට විදේශ විනිමය ලැබෙන එක් ප්‍රධාන මාර්ගයක් බවට පත් ව ඇත්තේ සංචාරක ව්‍යාපාරය ය. එය සැබවින්ම අප රටට පමණක් සීමා වූ දෙයක් නොවේ. ලෝකයේ සෑම රටක් ම සංචාරක කර්මාන්තයෙන් බොහෝ ආදායම් උපයයි. අපට වඩා කුඩා රටක් වුව ද මාලදිවයින සංචාරක ව්‍යාපාරය අතින් අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. එබැවින් එය ලාබ දායක ලෙස පවත්වා ගෙන යා නො හැක. සංචාරක ආකර්ෂණ ස්ථාන නඩත්තු කිරීම සඳහා බොහෝ පිරිවැයක් දැරිය යුතු වේ. දේශීය සංචාරකයන්ගෙන් අය කෙරෙන ගාස්තු ම විදේශිකයන්ගෙන් ද අය කරන්නට තීරණය කළ හොත් අප රටට ලක්ෂ ගණනින් සංචාරකයන් පැමිණිය ද සැලකිය යුතු ආදායමක් උපයා ගන්නට හැකි වන්නේ නැත. අනෙක දේශීය සංචාරකයන්ගේ සුළු මුදලක් අය කළ ද ඔවුහු ඍජු හා වක්‍ර ලෙස රජයට බදු ගෙවති. මේ ස්ථාන නඩත්තු කිරීම සඳහා යොදා ගන්නේ එම ආදායම් ය. සංචාරකයන් එවැනි බදු ගෙවීම්වලට දායක වන්නේ නැත.

මේ පිළිබඳ සමාජ ජාලවල තර්ක කරන්නන් මොහොතකට හෝ මේ අය කිරීම් ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ සොයා බලා නැති බව ද පෙනෙන්නට තිබේ. එවැනි තොරතුරු සොයා බැලුවේ නම් බොහෝ විට එවැනි අදහස් පළ නො කරන්නට වුව ඉඩ තිබිණි. සංචාරක ස්ථාන නැරඹීම සඳහා විදේශිකයන්ගේ විශාල මුදලක් අය කිරීම අප රටේ පමණක් සිදුවන්නක් නොවේ. එය ලෝකයේ ඕනෑම රටක අනුගමනය කෙරෙන සිරිතකි. තායිලන්තයේ ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම සඳහා විදේශිකයකු බාත් 400 ක් (රු. 3832) ක් ගෙවිය යුතු අතර දේශීය සංචාරකයකු ඒ සඳහා ගෙවිය යුතු වන්නේ බාත් 20ක් (රු.181) ක් පමණි. තස්මේනියාවේ නව සහ පැරණි කලා කෞතුකාගාරය වූ මෝනා නැරඹීම සඳහා විදේශිකයකු ඩොලර් 30 ක් ගෙවිය යුතු ය. ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයට ඇතුළු වීම සඳහා යුරෝපීය ආර්ථික කලාපයේ වැසියන් කිසිදු මුදලක් ගෙවිය යුතු නැති නමුත් අන් සියලු විදේශිකයන් මේ සඳහා යුරෝ 15ක් (රු. 5276) ගෙවිය යුතු ය. කාම්බෝජයේ ඇන්කෝර් වැට් විහාර භූමියට ඇතුළු වීම සඳහා දේශීය සංචාරකයන් කිසිදු මුදලක් ගෙවිය යුතු නැති නමුත් විදේශිකයන්ගෙන් මේ සඳහා ඩොලර් 55ක් (රු.17,762) ක් අය කෙරේ. ඉන්දියාවේ ටජ් මහල නැරඹීම සඳහා ඉන්දීය ජාතිකයකු ඉන්දීය රුපියල් 40ක් (රු.155) ක් ගෙවද්දී විදේශිකයකු ඉන්දීය රුපියල් 1000 ක් (රු. 3,883) ගෙවිය යුතු ය. මේ ආකාරයට ලෝකයේ කුමන රටක් සම්බන්ධයෙන් සලකා බැලුව ද ඒ සෑම තැනක ම දේශීය සංචාරකයන්ට වඩා වැඩි මුදලක් විදේශිකයන් ගෙවිය යුතු ය. එබැවින් එය ශ්‍රී ලංකාවේ පමණක් ක්‍රියාත්මක වන ‘හූරා කෑමක්’ බඳූ දෙයක් නොවන බව සැලකිය යුතු ය.

කෙසේ නමුත් රටකින් තවත් රටකට ගමන් කරන සියලු දෙනා ධනවතුන් නොවන්නේය යන සත්‍යයකුත් පවතී. උදාහරණයක් ලෙස ජීවිත කාලයක් තිස්සේ මුදල් එකතු කර දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකිකයකුට විශාල වශයෙන් මුදල් වියදම් කළ නො හැකි විය හැකිය. එවැන්නෙක් බොහෝ විට රුපියල් 3,883ක් වියදම් කොට ටජ් මහල නරඹන්නට ඉදිරිපත් නොවිය හැකිය. සුදු හම ඇති විදේශිකයන් සියලු දෙනා ‘සුද්දන්’ ලෙස හඳුන්වනු ලැබුව ද ඒ සියලු දෙනාටම ‘සුද්දන් සේ’ මුදල් වියදම් කිරීමේ හැකියාවක් නැත. උදාහරණයක් ලෙස නැගෙනහිර යුරෝපයේ රටක විදේශිකයන් පිළිබඳ සලකා බැලුව හොත් ඔවුන්ට සෙසු යුරෝපීය රටවල ජනතාවට තරම් විශාල ආදායම් මාර්ග නැත. ඔවුන්ගේ බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ගය වී ඇත්තේ ධනවත් යුරෝපීය රටවල බැල මෙහෙවර කිරීමය. ශ්‍රී ලාංකික අපට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම් තත්ත්වය යහපත් විය හැකි නමුත්, ධනවත් යුරෝපීය ජාතිකයන් තරමට මුදල් විසි කරන්නට ඔවුනට හැකියාව නැත. ඔවුන් ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා හැරුණු විට සෙසු වියදම් හැකි තාක් අරපිරිමැස්මෙන් කරන්නට කටයුතු කරන බව පෙනේ. ගමන් බිමන් පවා යන්නේ පොදු ප්‍රවාහනවල ය. නවාතැන් ගන්නේ අගනුවරින් දුරින් පිහිටි මිල අඩු ස්ථානවල ය.

සංචාරකයන්ගෙන් වැඩි මුදලක් අය කිරීම සම්බන්ධව සංචාරක වෙබ් අඩවිවල ද මේ හා සමාන අදහස් සංවාදයට බඳූන්වනු දැකිය හැකි ය. ඒවායේ අදහස් දක්වන සංචාරකයන් පවසන්නේ මේ සා වෙනසක් සහිත ව අය කිරීම අසාධාරණයක් බව ය. කැනඩා ජාතිකයකු සඳහන් කොට තිබුණේ නයගරා ඇල්ල නැරඹීම සඳහා වැඩිහිටියන් සහ ළමුන් හැර, දේශීය විදේශීය බව නො සලකා අන් සියලු දෙනා එකම මුදලක් ගෙවිය යුතු බවය. නමුත් සත්‍යය නම් ලෝකයේ වටිනාකමින් වැඩි මුදල් ඒකක සහිත ධනවත් රටවල් හැරුණු විට ශ්‍රී ලංකාව, මාලදිවයින වැනි දිළිඳු රටවලට එවැනි ප්‍රතිපත්තියක් සහිත ව සංචාරක ව්‍යාපාරයක් ඉදිරියට පවත්වා ගෙන යා නො හැකි බව ය. කෙසේ වෙතත් සංචාරකයන් සියලු දෙනා ‘සුද්දන්’ සේ නො සලකා ඔවුන් පැමිණෙන රටේ ආර්ථික ස්වභාවය මත අය කිරීමේ වෙනසක් අවශ්‍ය නම් සිදු කළ හැකි වුව ද, එය ප්‍රායෝගික වශයෙන් කෙතරම් සාර්ථක වනු ඇත් ද යන්න කිව නො හැකි ය. අනෙක ඒවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටම්වලින් තීරණ ගත යුතු කාරණා ය. කෙසේ නමුත් විදෙස් සිසුන්, ආබාධිත විදේශික වැඩිහිටියන්, විදේශීය විද්වතුන් සහ තහවුරු කර ගත හැකි විශේෂිත පුද්ගලයන් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සංචාරක ව්‍යාපාරයේ දී විශේෂිත සහනදායී අය කිරීම් ක්‍රියාත්මක වනු ද දැකිය හැකිය.

සංචාරක ව්‍යාපාරය අප රටට විදේශ විනිමය ගලා එන ප්‍රධාන මාර්ගයක් නිසාත්, මෙතෙක් කල් විදේශිකයන්ගෙන් මෙවැනි චෝදනාවක් එල්ල වී නොමැති නිසාත්, සීගිරියේ ප්‍රවේශ පත්‍ර සිද්ධිය වැනි හුදෙකලා කරුණු මත සංචාරක ව්‍යාපාරය කෙරෙහි අනිසි බලපෑම් සිදු කළ යුතු නැත. එය මත ඍජු හා වක්‍ර වශයෙන් බොහෝ දෙනෙකුගේ ජීවිකාවන් රැඳී පවතී. කෙසේ නමුත් සංචාරකයන් වෙනුවෙන් දැනට පවතින ප්‍රමාණයන්ට වඩා ඉතා ඉහළ පහසුකම් සැලසීම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, සෑම සංචාරක ස්ථානයක් ම නිරතුරු රජයේ නිරීක්ෂණයට ලක් කොට සංචාරකයන්ට සිදු වන බාධක අවම කිරීම, ඔවුන් අප රටේ ගත කරන කාලය සැනසිලි දායක කිරීම වැනි ක්‍රියාමාර්ග තුළින් ඔවුන්ගෙන් අය කරන ඉහළ මිලට යම් සාධාරණයක් එක් කළ හැකිය. එවිට ඔවුන් ඒවා ද සංචාරක වෙබ් අඩවිවල සඳහන් කරනු ඇත. එසේ ගොඩ නගා ගන්නා කීර්තිනාමය තුළින් අපට සංචාරක ව්‍යාපාරය තවත් ඉහළට ඔසවා තැබිය හැකිය. එවිට මේ වෙනස් මුදල් අය කිරීම තවදුරටත් සැලකිල්ලකට ගත යුතු කාරණයක් බවට පත් නොවනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර