රෝහිත රාජපක්ෂලා සුප්‍රිම් සැට් 1 කියා ඇත්තේ චීනය යැවූ චයිනා සැට් 12 චන්ද්‍රිකාවටමයි

අගෝස්තු 25 වැනිදා ඉන්දියාව විසින් සිය ‘චන්ද්‍රයාන් 3’ යානය සඳ මතට ඉතා සාර්ථක ලෙස යැවීම සඳහා වැය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක් වැනි මුදලක් බවත්, දැනට ආගිය අතක් සොයා ගන්නට නොමැති, ශ්‍රී ලංකාව විසින් කක්ෂ ගත කළේ යැයි පැවසෙන ‘සුප්‍රීම් සැට් 1’ චන්ද්‍රිකාව සඳහා වූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 320 ක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පවසනු මාධ්‍යවල පළ වී තිබිණි. අප රට මගින් යවන ලදැයි සැලකෙන චන්ද්‍රිකාවට සිදු වී ඇත්තේ කුමක් ද යන්න විමසන ලද අවස්ථාවේ දී සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් ඊට ලබා දුන්නේ අපූරු පිළිතුරකි. එය අභ්‍යවකාශ ගත කළේ යැයි පැවසෙන 2012 වසරේ දී තමා විද්‍යා හා තාක්ෂණික ඇමතිවරයා ලෙස වැඩකටයුතු කළ බවත්, එවන් ව්‍යාපෘතියක් පිළිබඳ තමා කිසිවක් නො දන්නා බවත්, එය හුදෙක් ප්‍රබන්ධයක් බවත් ඔහු පවසා සිටියේ ය. කෙසේ වෙතත් එවකට ජනපතිව සිටි මහින්ද රාජපක්ෂගේ බාල පුතු වූ රෝහිත රාජපක්ෂගේ නායකත්වයෙන් දියත් වූ මේ ව්‍යාපෘතිය මගින් සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව චීනයේ දී සුරක්ෂිත ව කක්ෂ ගත කළ බව සුප්‍රීම් සැට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් බීබීසී පුවත් සේවය හමුවේ පවසා තිබිණි. මේ නිසා සුප්‍රීම් සැට් 1 නමින් සැබවින්ම දැනටත් කක්ෂ ගත වී ඇති චන්ද්‍රිකාවක් තිබෙනවා ද, එවැන්නක් නොමැති ද, එය හුදෙක් ප්‍රබන්ධයක් පමණක් ද, එසේ නම් සිදු වූයේ කුමක් ද වැනි ගැටලු රාශියක් අප හමුවේ ඉතිරි වේ. මේ සඳහා වැය කොට ඇත්තේ අපගේ ජාතික ධනය බැවින් ඒවා පිළිබඳ සොයා බැලීම, ප්‍රශ්න කිරීම පුරවැසියන් වන අපගේ අයිතියක් හා වගකීමක් ද වන්නේ ය.

සුප්‍රීම් සැට් පිළිබඳ සොයා යාමේ දී ඒ පිළිබඳ විකිපීඩියාවේ යම් තොරතුරක් දක්නට ලැබේ. ‘සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම’ (SupremeSAT (Pvt) Ltd) නමින් ආයතනයක් එහි සඳහන් වන අතර ඒ පිළිබඳ සඳහන් කොට ඇත්තේ එය චන්ද්‍රිකා මෙහෙයුම් කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය බව ය. සුප්‍රීම් සැට් ආයතනයේ වෙබ් අඩවියට පිවිසි විට එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාව මූලික කරගත් පුද්ගලික සමාගමක් වන ‘සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස්’ ( Supreme Global Holdings) සමාගමට මෙය අයත් බව ය. පල්ලේකැලේ ප්‍රදේශයේ මෙහි මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටා ඇති බවත්, අධිවේගී දත්ත උඩුගත කිරීම සහ බාගත කිරීම සඳහා සේවය සැපයීම එහි කාර්යභාරය බවත් එහි සඳහන් ය. මේ ආයතනයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා සහාය වීම බවත් වැඩිදුරටත් සඳහන් ය.

මේ සමාගමේ හිමිකාරිත්වය පසුපස සිටින චරිතය වන්නේ කවුරුත් දන්නා පරිදි හිටපු ජනපතිවරයකුගේ පුත්‍රයකු වන රෝහිත රාජපක්ෂ ය. ඔහු කලෙක පටන් පවසා සිටියේ තමා අභ්‍යවකාශ විද්‍යාවට කැමැත්තෙන් සිටින බවත්, යම් දිනෙක ශ්‍රී ලංකාවේ ප්‍රථම අභ්‍යවකාශගාමියා තමා වන බවත් ය. විකිපීඩියාවේ සඳහන් වන තොරතුරුවලට අනුව, ඔහු අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකි. පසුව ඔහු එංගලන්තයේ සදැම්පටන් විශ්වවිද්‍යාලයෙන් අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියක් ලබාගෙන තිබේ. ඉන් පසුව ‘ අභ්‍යවකාශ සුන්බුන් අවම කිරීම සහ උපාය මාර්ග විශ්ලේෂණය පිළිබඳ ගණිතමය ප්‍රශස්තකරණය’ (Mathematical Optimization of Space Debris Mitigation and Strategy Analysis) පිළිබඳ දර්ශනශූරී උපාධියක් කොළඹ විශ්වවිද්‍යාලය මගින් පිරිනමා තිබේ. මේ අනුව රෝහිත රාජපක්ෂ යනු අභ්‍යවකාශ පිළිබඳ ඉමහත් දැනුම් සම්භාරයක් දරා සිටින, ශ්‍රී ලංකාව වැනි රටක සිටින බුද්ධිමතුන් අතර විශේෂ තැනක ලා සැලකිය හැකි පුද්ගලයකු බව පැහැදිලි ය. අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ සමාගමක් නිර්මාණය කරමින්, අප රටේ අභ්‍යවකාශ විද්‍යාවේ පෙර ගමන් කරුවකු බවටත් පත් වන්නට ඔහු තරම් අන් කිසිවකු නොමැති බව පැහැදිලි ය. නමුදු විකිපීඩියා වෙබ් අඩවියේ පදනම් විරහිත මූලාශ්‍ර මත ඇතුළු කෙරුණු සාවද්‍ය තොරතුරු ද කොතෙකුත් දැකිය හැක.

රෝහිත රාජපක්ෂගේ හිමිකාරිත්වය දරන සුප්‍රීම් සැට් ආයතනයේ වෙබ් අඩවිය වෙතට ආපසු හැරී බලද්දී එහි සඳහන්ව ඇත්තේ, ඇමරිකානු ඩොලර් මිලියන 320 ක ආයෝජනයකින් සුප්‍රීම් සැට් 1 නමින් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරන ලද බවත්, එය පෘථිවි කක්ෂයේ අංශක 87.5 ස්ථානයේ පවතින බවත් ය. ඉදිරියේ දී සුප්‍රීම් සැට් 2 සහ 3 වශයෙන් තවත් චන්ද්‍රිකා දෙකක් කක්ෂ ගත කිරීමේ සැලසුමක් පවතින බව ද එහි සඳහන්ව තිබේ. එයට චීනයේ ‘චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ටි්‍ර කෝපරේෂන්’ (China Great Wall Industry Corporation – CGWIC) නම් චන්ද්‍රිකා නිෂ්පාදනය කිරීමේ සමාගම හවුල්කාරීත්වයක් දරන බවත් සඳහන්ව තිබේ.

 

සුප්‍රීම් සැට් 1 සමාගම විසින් 2012 නොවැම්බර් 27 වැනිදා කක්ෂ ගත කරන ලද චන්ද්‍රිකාව සුප්‍රීම් සැට් 1 වුව ද එය පිළිබඳ සඳහන්ව ඇති තොරතුරු හොඳින් සොයා බැලීමේ දී පෙනී යන්නේ එහි සැබෑ නම ‘චයිනා සැට් 12’ බව ය. එය මුළුමනින් ම ‘චයිනා සැට් කොම්’ නමින් ප්‍රකට, ‘චයිනා සැටලයිට් කොමියුනිකේෂන්’ නම් සමාගමට අයත් එකක් බවත්, එහි සන්නිවේදන පහසුකම්වලින් කොටසක් ශ්‍රී ලංකාවේ සුප්‍රීම් සැට් නම් සමාගම විසින් කුලියට ගෙන ඇති බවත්, එබැවින් සුප්‍රීම් සැට් නමින් අලෙවිකරණ කටයුතු සිදු වන බවත් සඳහන්ව තිබේ. කෙසේ නමුත් මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කොට ඇත්තේ සුප්‍රීම් සැට් සමාගම සමග හවුල්කාරීත්වය දරන, චන්ද්‍රිකා නිෂ්පාදනය කරන චීන සමාගම වන ‘චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන්’ මගින් නොව, චීනයට කිසිම අයිතියක් නොමැති ප්‍රංශ චන්ද්‍රිකා සමාගමක් වන ‘තේල්ස් අලෙනියා ස්පේස්’ (Thales Alenia Space) සමාගම මගිනි. ‘චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන්’ සමාගම ද ස්වාධීන සමාගමක් නොව චීනයේ අභ්‍යවකාශ කටයුතු සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතනය වන චීන රජයට අයත් ‘චයිනා එරොස්පේස් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කෝපරේෂන්’ (China Aerospace Science and Technology Corporation – CASC) හි උප සමාගමකි.

මේ තොරතුරු එකින් එක ලෙහා බැලීමේ දී පෙනී යන්නේ මූලික වශයෙන් චයිනා සැට් 12 නම් වන චන්ද්‍රිකාවක් දැනට පෘථිවි කක්ෂයේ අංශක 87.5 ස්ථානයේ කක්ෂ ගත ව ඇති බවත්, එහි සන්නිවේදන පහසුකම්වලින් කොටසක් ශ්‍රී ලංකාවේ සුප්‍රීම් සැට් සමාගම මගින් මිල දී ගෙන ඇති බැවින් අලෙවිකරණ කටයුතුවල දී එය සුප්‍රීම් සැට් 1 නමින් ද හඳුන්වන බවත් ය. කෙසේ නමුත් එය සම්පූර්ණයෙන්ම ‘චයිනා සැටලයිට් කොමියුනිකේෂන්’ සමාගමට අයිත් බවත්, සුප්‍රීම් සැට් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 320 ක් වැය කොට ලබාගෙන ඇත්තේ එහි සන්නිවේදන පහසුකම් පමණක් බවත් පැහැදිලි කර ගත හැකිය. සුප්‍රීම් සැට් වෙබ් අඩවියේ සඳහන්ව ඇති, අපි මුලින් කතා කළ තොරතුරුවලට අනුව අධිවේගී දත්ත හුවමාරු කර ගැනීම සඳහා පමණක් මේ සා මුදලක් වැය කිරීමේ අර්ථය කුමක් ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි වේ. මේ අනුව ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් වැය කොට සිය රටේම තාක්ෂණය භාවිතයෙන් සඳ මතුපිටට චන්ද්‍රයාන් 3 යානය යවද්දී, සුප්‍රීම් සැට් සමාගම, ඉන්දියාව වැය කළ ධනය මෙන් තුන් ගුණයකටත් වැඩි මුදලක් වූ, ඇමරිකානු ඩොලර් මිලියන 320ක් වැය කොට සිදු කොට ඇත්තේ ශ්‍රී ලංකාවට කිසිදු අයිතියක් නොමැති චන්ද්‍රිකාවක සන්නිවේදන පහසුකම්වලින් කොටසක් පමණක් ලබාගැනීම පමණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර