ඉන්දියාවේ මීළඟ සඳ ගමන 2026 වසරේ

චන්ද්‍රයාන්-3 ව්‍යාපෘතිය හරහා ඉන්දියාව සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයට ගොඩ බසිමින් එම කලාපයට යානයක් ගොඩ බැස්ස වූ පළමු රට ලෙස ඉතිහාස ගතවීම මේ දිනවල අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රය තුළ ප්‍රධානම මාතෘකාවක් බවට පත්ව තිබෙන්නකි. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමග දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාරණයක් වන්නේ ඉන්දියාවේ මීළඟ අභ්‍යවකාශ ව්‍යාපෘතිය කුමක් වනු ඇත් ද යන්න ය.

වාර්තා වන ආකාරයට ඉන්දියාවේ මීළඟ අභ්‍යවකාශය ව්‍යපෘතියට, එනම් චන්ද්‍රයාන්-4 ව්‍යාපෘතියට අදාළ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ වී තිබේ. එම යානය අභ්‍යවකාශගත කිරීමට නියමිතව ඇත්තේ 2026 වසරේ යි. මෙම ව්‍යපෘතිය පිලිබඳ ඇති විශේෂත්වයක් වන්නේ එය ආසියාවේ තවත් බලවතකු වන ජපානය සමග එක්ව ක්‍රියාත්මක කරන්නක් වීම යි. ඉන්දියාව සහ ජපානය යන දෙරටේම විද්‍යා තාක්‍ෂණ හැකියාවන් මෙහි දී භාවිතයට ගැනෙනු ඇත. ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (Indian Space Research Organization) සහ ජපානයේ Japan Aerospace Exploration Agency- JAXA) ආයතනය මෙහිදී අත්වැල් බැඳගනියි. මෙම ව්‍යපෘතිය බොහෝ අවස්ථාවල හැඳින්වෙන්නේ චන්ද්‍ර ධ්‍රැව ගවේෂණ මෙහෙයුම (Lunar Polar Exploration Mission- LUPEX) යන නමිනි.

චන්ද්‍රයාන්-4 හෙවත් LUPEX ද සදෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපයටම ගොඩ බැසීම ඉලක්ක කරගත් ව්‍යපෘතියකි. නමත් එහි දී සඳ මත ජලය ඇත්ද යන්න වඩාත් නිශ්චිතව දැන ගැනීම සඳහා බොහෝ අධ්‍යයනයක් සිදු කෙරෙනු ඇති බව සඳහන් වේ.

සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය තුළ මිදුණු ජලය ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසය යි. එහි ජලය කොපමණ තිබේ ද, එම ජලය පවතින්නේ කවර ස්වරූපයෙන් ද, එහි පිහිටීම ආදිය වඩාත් සවිස්තරාත්මකව දැන ගැනීමට චන්ද්‍රයාන්- 4 උත්සාහ කරනු ඇත.

චන්ද්‍රයාන්- 4 ප්‍රධාන අංග දෙකකින් සමන්විත මෙහෙයුමකි. සඳ මත ගොඩ බසින (Lander) යානයකින් සහ සඳ මත ගමන් කරමින් තොරතුරු රැස් කරන රොබෝ වාහනයකින් එය සමන්විත වනු ඇත. මේ අතරින් Lander යානය ඉන්දියාව විසින් සපයනු ලබන අතර රොබෝ වාහනය හෙවත් රෝවරය ජපානය විසින් සපයනු ලැබේ. චන්ද්‍රයාන්-3 ව්‍යපෘතිය හරහා සඳ මත ගොඩ බැස්ස වූ ප්‍රඥාන් නැමැති රෝවරයට වඩා ඉහත කී රෝවරය තාක්‍ෂණික වශයෙන් වඩාත් දියුණු මෙවලමක් වනු ඇති බව පැවසේ.

ප්‍රඥාන් රෝවරයේ එක් ප්‍රධාන සීමාවක් වන්නේ රාත්‍රි කාලයේ ක්‍රියාත්මක වීමට නොහැකි වීමයි. එය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන්නකි. හිරු එළිය නොලැබෙන අවස්ථාවල ක්‍රියා කිරීම සඳහා සූර්ය බල ශක්තිය ගබඩා කර තබා ගැනීමට ප්‍රඥාන් රෝවරයට හැකියාවක් නැත. මේ නිසා පෘථිවි දින 14 කට පසු සඳෙහි රාත්‍රි කාලය උදා වීමත් සමග ප්‍රඥාන් හි ක්‍රියාකාරිත්වය අවසන් වීමට නියමිත ය. ඒ අනුව සැප්තැම්බර් මුල් සතිය වනවිට ප්‍රඥාන් සිය ජීවිත කාලය අවසන් කරනු ඇත. එයින් පසු පෘථිවි දින 14 ක්ම සඳෙහි රාත්‍රි කාලය යි.

චන්ද්‍රයාන්-4 සමග යන රෝවරයට සූර්ය බල ශක්තිය ගබඩා කර තබා ගැනීමට හැකිවනු ඇති බව සඳහන් වේ. ඒ නිසා රාත්‍රි කාලයේ වුව ද එයට වැඩ කිරීමට හැකියාව ලැබෙනු ඇත. සඳෙහි රාත්‍රි කාලය උදා වූ විට එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 230 ක් තරම් පහතට වැටේ. මෙම තත්ත්වයට ද සාර්ථකව මුහුණ දීමට චන්ද්‍රයාන්-4 හි රෝවරයට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

සඳ මත ජලය තිබෙනවා නම් තිබෙන්නේ මතුපිට නොව එහි පෘෂ්ඨයට යටින් ය. මේ නිසා මෙම ජලය සොයා ගැනීම සඳහා යම් ආකාරයක කැණීම් කිරීමට සිදුවනු ඇත. චන්ද්‍රයාන්- 4 ව්‍යපෘතිය තුළින් මෙම කැණීම් තාක්‍ෂණය සම්බන්ධයෙන් ද පර්යේෂණ කෙරෙනු ඇති බව වාර්තා වේ. මෙවැනි තාක්‍ෂණයන් අනාගත සඳ ගවේෂණ ව්‍යාපෘතිවල දී ඉන්දියාවට සහ ජපානයට පමණක් නොව ලෝකයටම වැදගත් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ අතර ඉන්දියාවේ චන්‍ද්‍රයාන්-3 ව්‍යාපෘතිය තුළින් සඳ වෙත යවන ලද ප්‍රඥාන් රෝවරය මේ වනවිට සාර්ථකව සිය වැඩ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. සැබැවින්ම මෙය අප සුපිරි වෙළෙඳසැල්වල භාවිත කරන ට්‍රොලියක් තරම් වන රෝවරයකි. එහි දිග අඟල් 36 ක් පමණ වන අතර බර කි.ග්‍රෑ. 26 ක් පමණ වේ. රෝද සයකින් සමන්විත ප්‍රඥාන් හි එක් පැත්තක සූර්ය කෝෂ අඩංගු පැනලයක් සවි කර තිබේ. මෙම කුඩා රෝවරය සඳ මත ගමන් කරන්නේ ගොළුබෙලි ගමනෙනි. ප්‍රඥාන් හි වේගය තත්ත්පරයට සෙ.මී. 1 ක්, එනම් පැයට කි.මී. 0.036 ක් බව සඳහන් වේ.

සඳ මතුපිට රසායනික සහ ඛණිජ සංයුතිය පිලිබඳ විශ්ලේෂණයන් සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම ප්‍රඥාන් වෙත පැවරී ඇති ප්‍රධානම රාජකාරියකි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර