සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ට දී තිබුණේ මැසි මදුරුවන් පිරි අපිරිසිදු සිර මැදිරියක් ලු!

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වනවිට සිටින්නේ හිරගෙදර ය. පසුගිය 5 වැනි දින ඔහු අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණේ දූෂණ චෝදනාවකට වැරදිකරු වීම නිසා ය. ඔහු අගමැති ධුරය දරමින් සිටි කාලයේ විදේශීය රාජ්‍ය නායකයන් වැනි පාර්ශ්වවලින් ලැබුණු තෑගි නීති විරෝධි ආකාරයෙන් විකිණීමත්, එයින් ලැබූ ආදායම් නිසි පරිදි ප්‍රකාශයට පත් නොකිරීමත් සම්බන්ධයෙන් ඉම්රාන්ට චෝදනා එල්ල වී තිබිණි. මෙම චෝදනාවලට වැරදිකරු වීම නිසා ඔහුට වසර 3 ක සිර දඬුවමක් නියම විය.

කෙසේ හෝ වේවා,  (29) මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහුගේ සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය පියවර ගෙන ඇති බවයි. ඉහත කී චෝදනාවලට තමා වැරදිකරු කරමින් දී තිබූ තීන්දුවට එරෙහිව මේ වනවිට ඉම්රාන් අභියාචනයක් ගොනු කර තිබේ. එම අභියාචනය විභාග කරන තෙක් ඔහුට ඇප ලබා දීමට ඉස්ලමාබාද් මහාධිකරණය (29) තීන්දු කර තිබිණි.

එසේ වුවත් මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් ඉම්රාන් සිටියේ බන්ධනාගාරයේ ය. ඔහු රඳවා සිටින්නේ පාකිස්තානයේ පන්ජාබ් හි පිහිටි අටෝක් නැමැති බන්ධනාගාරයේ යි. ඉස්ලමාබාද් මහාධිකරණය ඇප ලබා දුන්නත් ඔහු තවදුරටත් බන්ධනාගාරයේ රඳවා සිටියේ වෙනත් චෝදනාවකට අදාළව බදාදා වනතෙක් ඔහු අත්අඩංගුවේ තබා ගන්නා මෙන් තවත් අධිකරණයක් නියෝග කර තිබීම නිසා බව සඳහන් වේ. පසුගිය වසරේ විශ්වාසභංග යෝජනාවක් හරහා ඉම්රාන් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මේ වනවිට ඔහුට එරෙහිව චෝදනා 100 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව ඔහුගේ නීතිඥයෝ පවසති. ඉම්රාන් පවසන්නේ මෙම චෝදනා දේශපාලන අරමුණු මත ඉදිරිපත් කරන ලද ඒවා බවයි. ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය ඉම්රාන් වත්මන් පාලකයන්ට සහ හමුදා නායකත්වයට අභියෝගයක් බැවින් ඔහු දේශපාලන පිටියෙන් ඉවත් කිරීමේ සැලැස්මක් ඇති බවට ද අදහස් ඉදිරිපත් වේ.

කෙසේ හෝ වේවා, වෙනත් චෝදනා යටතේ ඉම්රාන් රඳවාගෙන සිටීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා ගැනීමට ඔහුගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. එම නීතිඥයන් පවසා තිබුණේ ඉම්රාන් ඉක්මනින් නිදහස් වනු ඇතැයි තමුන් විශ්වාස කරන බවයි.

තමා රඳවා සිටින අටොක් බන්ධනාගාරයේ සිර මැදිරිය සම්බන්ධයෙන් ද ඉම්රාන් පසුගිය කාලයේ පැමිණිලි කර තිබිණි. ඔහු පවසා තිබුණේ එය කිලිටි, දූවිලි පිරුණු, මැස්සන් සහ කෘමි සතුන් ගහණ සිර මැදිරියක් බවයි. එමෙන්ම ඔහුට තම වෛද්‍යවරයා සහ පවුලේ අය හමුවීමට අවසරයක් නැති බවට ද ඉම්රාන්ගේ නීතිඥයන් පැමිණිලි කර තිබිණි. ඉම්රාන් පවසා තිබුණේ තමාව තබා ඇත්තේ ත්‍රස්තවාදීන් රඳවා තබන සිර මැදිරියක බවයි. වඩාත් හොඳ පහසුකම් ඇති වෙනත් බන්ධනාගාරයකට තමා මාරු කරන මෙන් ද ඉම්රාන් ඉල්ලීමක් කර තිබූ බැව් සඳහන් විය. ශ්‍රේෂ්ඨාධිකරණය ද මේ සම්බන්ධයෙන් අදාළ අංශවලින් යම් විමසීමක් කර තිබිණි.

කෙසේ හෝ වේවා, ඔහුට වැඩි පහසුකම් ලබා දීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇති බවක් පෙනී යයි. මේ පිලිබඳව වාර්තාවක් ලබා දෙමින් අදාළ අංශ පවසා තිබුණේ ඉම්රාන් රඳවා සිටින සිර මැදිරිය තීන්ත ආලේප කර, ගෙබිමට අලුතෙන් සිමෙන්ති දමා අලුත්වැඩියා කර ඇති බවයි. ඊට විදුලි පංකාවක් සහ ෆයිබර් දොරක් සවි කර ඇති බවක් ද මෙම වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙට්ටයක්, කොට්ට හතරක්, මේසයක්, පුටුවක්, යාඥා කිරීම සඳහා පලසක්, වාතය සිසිල් කරන උපකරණයක්, අඟල් 21 රූපවාහිනියක් ආදිය ද ඔහුට ලබා දී ඇති බව සඳහන් කර තිබේ. ඔහුගේ සිර මැදිරිය පිරිසිදු කිරීම සඳහා සහ රෙදි සේදීම සඳහා ද කෙනෙකු යොදවා ඇති බවත්, දිනකට පැය දෙකක් ඔහු ඒ කටයුතුවල නිරත වන බවත් ඉහත වාර්තාව පවසයි.

මේ වනවිට 70 වැනි වියෙහි පසුවන හිටපු අගමැතිවරයාට ලබා දෙන ආහාර ගැන ද එහි සඳහන්ව තිබේ. ඊට අනුව ඉම්රාන්ට උදේ ආහාරය සඳහා ලබා දෙන්නේ පාන්, ඔම්ලට්, මුදවපු කිරි සහ තේ ය. දිවා සහ රාත්‍රි ආහාර සඳහා ලබා දෙන්නේ බත්, එළවළු සහ අලුත් පලතුරු ය. ඊට අමතරව කුකුල් මස් සහ එළු මස් ලබා දෙන බව ද සදහන්ව තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර