මොරොක්කෝවේ බිහිසුණු භූමිකම්පාවෙන් මිය ගිය ගණන 2,000 ඉක්මවයි

morokko

මේ වසරේ සිදු වූ තවත් දරුණුම භූමිකම්පාවක් වන මොරොක්කෝවේ භූමිකම්පාව මේ දිනවල මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. එය ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් යුතු වූ භූමිකම්පාවකි. පසුගිය සිකුරාදා (08) සිදු වූ මෙම භූමිකම්පාවෙන් මිය ගිය ගණන ඉරිදා සවස වනවිට 2,000 ඉක්මවා ඉහළ ගොස් තිබිණි. ඊට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. ඒ අතරින් 1,400 කගේ පමණ තත්ත්වය බරපතල බව ද අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යංශය උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කර තිබේ. සුන්බුන්වලට යට වී ඇති තවත් මළ සිරුරු සොයා ගැනීමත් සමග මරණ ගණන තව දුරටත් ඉහළ යා හැකි බව විශ්වාස කෙරේ.

මෙම භූමිකම්පාව වසර 63 කින් මෙපිට මොරොක්කෝවේ සිදු වූ වඩාත්ම විනාශකාරී භූමිකම්පාව ලෙස සැලකේ. 1960 වසරේ සිදු වූ ඒකක 6.7 ක භූමිකම්පාවකින් 12,000 කට ආසන්න පිරිසක් මරණයට පත්ව තිබිණි. 1900 වසරෙන් පසු එරට සිදු වූ, ඒකක ගණන අතින් වඩාත් ප්‍රබලම භූමිකම්පාව ද සිකුරාදා සිදු වූ භූමිකම්පාව යි.

මෙය සිදුව තිබුණේ මොරොක්කෝවේ උස් ඇට්ලස් කඳුවැටිය පිහිටි ප්‍රදේශයේ යි. එය ග්‍රාමීය ප්‍රදේශයක් බව සඳහන් වේ. ඇමරිකානු භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය පවසන ආකාරයට භූමිකම්පාවෙහි කේන්‍ද්‍රය පිහිටා තිබී ඇත්තේ පොලොව මතුපිට සිට කි.මී. 18.5 ක් පමණ ගැඹුරිනි. වැඩිම මරණ ගණනක් සිදුව තිබුණේ අල් හවොස් නැමැති පළාතේ බව එරට අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යංශය සඳහන් කරයි.

මරණ සංඛ්‍යාව මෙතරම් ඉහළ යාමට එක් හේතුවක්ව ඇත්තේ භූමිකම්පාව රාත්‍රි කාලයේ සිදු වීමයි. එය සිදුවී තිබුණේ රාත්‍රි 11 ට පමණ ය. මෙය බොහෝ දෙනෙකු නිවෙස් තුළ නිදි සුව විඳිමින් සිටින වේලාව යි. මිය ගිය වැඩි පිරිසක් මරණයට පත්වන්නට ඇත්තේ නින්දේ සිටිය දී මය. පවුල් පිටින් සුන්බුන්වලට යට වී තිබූ අතර මාධ්‍ය සමග අදහස් දැක් වූ එක් පුද්ගලයකු පවසා තිබුණේ තම පවුලේ සාමාජිකයන් 10 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවකි. සමහර ගම්මාන සම්පූර්ණයෙන් පොලොවට සමතලා වී ඇති බව වාර්තා වේ. මිනිසුන් නගන විලාප හඬින් මෙම මුළු ප්‍රදේශම වැසී ගොස් තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. කුඩා දරුවෝ ද විශාල ගණනක් අනාථ වී අසරණව සිටිති.

මොරොක්කෝවේ 6 වැනි මොහමඩ් රජු රට තුළ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබිණි.

සිද්ධියට මුහුණ දුන් අය ඒ ගැන කරන විස්තර ද පසුගිය දිනවල මාධ්‍ය විශාල වශයෙන් වාර්තා කර තිබෙනු දැකිය හැකි විය. “මට හිතුණේ මම නිදාගෙන හිටපු ඇඳ ඉගිලෙන්න හදනවා වගෙයි. මම නැගිටලා එළියට දිව්වේ අඩ නිරුවතින්. එළියේ හැම තැනම මහ භයානක ඛේදවාචකයක්, අවුලක්, මහා උමතුවක් තමයි දකින්න තිබුණේ” එක් පුද්ගලයකු පවසා තිබිණි.

“මම ඇහැරුණේ මිනිස්සු විලාප තියන හඬ ඇහිලා” එසේ පවසා තිබුණේ සිද්ධියට මැදි වූ මාධ්‍යවේදියෙකි. “මමයි මගේ බිරිඳයි නිදා ගන්න ගියා විතරයි. මට හරියට නින්ද ගිහිං තිබුණෙත් නැහැ. අඩ නින්දෙ වගේ හිටියේ. මුලින්ම මට ඇහුණේ මගේ බිරිඳගේ කෑ ගැහිල්ලයි. මම ඇස් ඇරලා බැලුවම මට කිසි දෙයක් හරියට තේරුම් ගන්න පුලුවන් වුණේ නැහැ. මොකද්ද වෙන්නෙ කියලා මට වැටහුණේ නැහැ. මම ඉන්නෙ භූමිකම්පාවක් මැද්දෙ කියලා මට විශ්වාස කරන්නත් බැරි වුණා. මගෙ වටේ හැම දෙයක්ම සෙලවෙමින් තිබුණා. අපි හිටපු ඇඳ, පොලොව, බිත්ති….මේ හැම දේම’ ඔහු විස්තර කර තිබුණේ එලෙසිනි.

‘අපේ අසල්වැසියන් තවමත් සුන්බුන්වලට යට වෙලා ඉන්නවා. ගමෙන් සොයාගත හැකි දේවල් යොදාගෙන ඔවුන් බේරා ගන්න මිනිසුන් උත්සාහ ගන්නවා’ තවත් ගම්වැසියකු පවසා තිබිණි. මෙම ප්‍රදේශ වෙත ළඟා වීමට ඇති කඳුකර මාර්ග ද සුන්බුන් වැටී අවහිර වී ඇති නිසා ගලවා ගැනීමේ කණ්ඩායම්වලට සහ ආධාර දෙන කණ්ඩායම්වලට ඇතැම් ප්‍රදේශ වෙත ළඟා වීම දුෂ්කර වී ඇත. භූමිකම්පාවෙන් සිදු වූ සැබෑ හානිය ගණන් බැලීමට තව දින ගණනක් ගත වනු ඇති බව ද නිලධාරීන් සඳහන් කර තිබේ. දිවි ගලවාගෙන සිටින ඇතැමුන් ආහාර සහ ජලය නැති කමෙන් පීඩාවට පත්ව සිටින බව ද සඳහන් වේ. නිවාස අහිමි වූ බොහෝ දෙනෙකු මේ වනවිට රැඳී සිටින්නේ එළිමහනේ ය.

මොරොක්කෝවට ආධාර කිරීම සඳහා ප්‍රංශය, ස්පාඤ්ඤය, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් ද, ජාත්‍යන්තර සංවිධාන බොහොමයක් ද ඉදිරිපත්ව සිටියි. සිද්ධියෙන් මිය ගිය අයට ගෞරව දැක්වීම සඳහා සෙනසුරාදා රාත්‍රියේ ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි පහන් නිවා දමා තිබූ බව ද වාර්තා වේ. මොරොක්කෝව සහ යාබද ඇල්ජීරියාව අතර කලෙක සිටම විවිධ ප්‍රශ්න සහ එදිරිවාදිකම් තිබුණත් මොරොක්කෝව වෙත මානුෂීය ආධාර රැගෙන එන ගුවන් යානා සඳහා ඇල්ජීරියාව සිය ගුවන් සීමා විවෘත කර තිබේ.

මේ වසරේ මෙතෙක් සිදුව ඇති බිහිසුණුම භූමිකම්පාව වාර්තා වූයේ තුර්කියෙනි. පසුගිය පෙබරවාරි මාසයේ සිදු වූ එම භූමිකම්පාවෙන් මිය ගිය ගණන වාර්තා වූයේ 59,000 ක් ලෙසිනි.

www www www

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර