විදෙස් ගමන් සඳහා ගුවන් යානා වෙනුවට කෝච්චියක් යොදා ගන්නා අපූරු රාජ්‍ය නායකයා

kim zacin kim kardashian family kim korea kim kardashian children kim korean kim kardashian age kim jong un wife kim jong un sister

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් වෙනත් රටවල නායකයන් හමු වීම සඳහා විදේශගත වනවිට ගමන් කරන්නේ ගුවන් යානාවලිනි. නමුත් ඊට හාත්පසින්ම වෙනස්ව මෙවැනි බොහෝ ගමන් සඳහා දුම්රිය යොදා ගන්නා නායකයකු ගැන මේ දිනවල මාධ්‍ය තුළ ලොකු අවධානයක් යොමු වේ. මෙම නායකයා නම් උතුරු කොරියානු නායක කිම් ජොං උන් ය.

40 වැනි වියෙහි පසුවන කිම් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් හමු වීම සඳහා පසුගිය දා රුසියාවට පැමිණියේය. එහිදී ඔහු දින දෙකකට ආසන්න කාලයක් ගමන් කළේ දුම්රියෙනි. කි.මී. 1,200 කට ආසන්න දුරක් ඔහු දුම්රියෙන් ගමන් කර තිබිණි. ගුවන් යානයකින් ගමන් කළා නම් මේ ගමනට ගතවනු ඇත්තේ පැය කිහිපයක් පමණි.

ඉතා ආන්දෝලනාත්මක චරිතයක් වන කිම් ජොං උන් මේ ආකාරයෙන් සිය විදේශ සංචාර සඳහා දුම්රිය යොදා ගන්නේ එය වඩාත් ආරක්‍ෂිතය යන අදහස නිසා බව පෙනේ. ඔහුගේ පියා වන කිම් ජොං ඉල් ද මේ ආකාරයෙන්ම මෙවැනි සංචාර සඳහා යොදාගත්තේ දුම්රිය යි. ඔහු ගුවන් යානාවල ගමන් කිරීමට දැඩි බියක් දැක් වූවකු බව ද සඳහන් වේ. ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල වුවහොත් එහි ගමන් කරන අය දිවි බේරා ගැනීමට ඇති ඉඩ ඉතා අල්ප බව අමුතුවෙන් කිව යුතු නොවේ. සාපේක්‍ෂව ගත් විට දුම්රිය එහි දී වඩාත් ආරක්‍ෂාකාරී වේ.

කිම් ජොං උන් ගමන් කරන මෙම විශේෂ සුඛෝපභෝගී දුම්රිය ඉතාම ආරක්‍ෂිත ආකාරයෙන් ඉදි කර තිබෙන්නකි. එහි මැදිරි වෙඩි නොවදින ආකාරයෙන් සහ බෝම්බ ප්‍රහාර ආදියට ඔරොත්තු දෙන ආකාරයෙන් නිමවා ඇති බව සඳහන් ය. යම් ආකාරයකින් ඊට සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත් නායකයාට බේරී පලා යාමට හැකි හෙලිකොප්ටරයක් ද මෙහි රැගෙන යයි. ඊට අමතරව සුඛෝපභෝගී මෝටර් රථයක් ද මෙම දුම්රියෙහි රැගෙන යනු ලැබේ. ඒ කිම් ජොං උන් දුම්රියෙන් බසින දුම්රිය ස්ථානයේ සිට සෙසු ස්ථාන දක්වා ඔහු රැගෙන යාම සඳහා ය. ‘ධාවනය වන බලකොටුවක්’ ලෙස ද මෙම දුම්රිය හැඳින්වෙන්නේ එහි ඇති ආරක්‍ෂිත බව නිසා ය.

දුම්රිය මැදිරිවල බිත්ති, වහල සහ බිම, මේ සියල්ල වෙඩි නොවදින ආකාරයෙන් ඉදි කර ඇති නිසා මෙම දුම්රිය සෙසු දුම්රියවලට වඩා බරින් වැඩි ය. ඒ නිසාම එයට ගමන් කරන්නට සිදුව ඇත්තේ අනෙක් දුම්රියවලට වඩා සෙමෙනි. එහි සාමාන්‍ය වේගය පැයට කි.මී. 55 ක් (පැයට සැතපුම් 35 ක්) පමණ වන බව පැවසේ. බොහෝ දුම්රිය ගමන් කරන්නේ පැයට කි.මී. 100 කට වැඩි වේගයකිනි. පැයට කි. මී. 200 ට වැඩි වේගයෙන් ගමන් කරන අධිවේගී දුම්රිය ද තිබේ.

කිම් ජොං උන්ගේ දුම්රිය ගමන් කරන්නේ ඉතා සෙමෙන් නිසා එයට රුසියාවේ ගමනාන්තය වෙත ළඟා වීමට පැය 20 කට ආසන්න කාලයක් ගත වී තිබිණි. 2019 වසරේ කිම් උතුරු කොරියාවේ සිට වියට්නාමය බලා ගිය ගමනක් සඳහා ද මෙම දුම්රිය භාවිත කළේය. ඔහු එහි ගියේ ඇමරිකාවේ එවකට සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග හමුවක් සඳහා යි. එම ගමන සඳහා පැය 65 ක කාලයක් ගත වූ බව සඳහන් වේ.

කිම් ජොං උන් ගමන් කරන මෙම දුම්රිය ආරක්‍ෂිත ආකාරයෙන් මෙන්ම සුඛෝපභෝගී ආකාරයෙන්ද නිමවා ඇත්තකි. දින ගණනක් ගත වන දුර ගමනක දී අවශ්‍ය වන සියලු පහසුකම් උපරිම මට්ටමින් මෙහි අඩංගු වේ. සුවපහසු ආසන, නිදන කාමර, කාර්යාල කාමර, ඉස්තරම්ම ආහාර සපයන අවන්හල්, නවීන සන්නිවේදන පහසුකම්, රූපවාහිනි වැනි සියලු දේ මෙහි තිබෙන බැව් පැවසේ.

කිම් ගේ ආරක්‍ෂක නිලධාරීන් සඳහා ද මෙහි වෙනම කොටසක් වෙන් කර තිබේ. මෙම දුම්රිය ගමන් කරන මාර්ගයට ද විශේෂ ආරක්‍ෂාවක් යොදන අතර එහි ඇති දුම්රිය ස්ථාන ද දැඩි පරීක්‍ෂාවට ලක් කෙරේ.

මෙම දුම්රියෙන් රුසියාවට පැමිණි කිම් ජොං උන් රුසියානු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වූයේ වොස්ටොක්නි නැමැති අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී යි. මෙම හමුවේ අරමුණ සම්බන්ධයෙන් ලොකු විස්තරයක් මාධ්‍ය හරහා අනාවරණය නොවුණත් බොහෝ නිරීක්‍ෂකයන් සිතන්නේ නායකයන් දෙදෙනා අවි ගණුදෙනුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ඇති බවයි. රුසියාව මේ වනවිට යුක්රේනය සමග යුද්ධයක පැටලී සිටින අතර ඒ සඳහා අවශ්‍ය වන පතරොම්, කාලතුවක්කු උණ්ඩ, මිසයිල වැනි දේ උතුරු කොරියාවෙන් මිල දී ගැනීමට පුටින් අදහස් කරනවා විය හැකි බව ඔවුහු පවසති. මෙම යුද්ධයේ දී ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන්ගේ සහය හිමි වන්නේ යුක්රේනයට යි.

නිහාල් පීරිස්

 

එතෙර - මෙතෙර