කාබනික පොහොර හා රසායනික පොහොර යන දෙවර්ගය තුළ අද ගොවියා අද අතරමංවී සිටියි. මන්ද කෘෂිකර්ම අමාත්‍යංශය ආනයනය කරන ලද කාබනික පොහොරක් හේතුවෙනි.
මෙම කාරණය නිසා ගොවියා මෙන්ම කෘෂිකර්මය හා රසායන විද්‍යාව උගන්වන ගුරුවරුන් මෙන්ම ඉගෙන ගන්නා දරුවෝ ද අසරණ වී සිටිති. ඒ රජය මෙවර මහ කන්නය වෙනුවෙන් ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර හේතුවෙනි.
පොටෑසියම් රසායනික මූල ද්‍රව්‍යයකි. ක්ලෝරයිඩ් ද එවැනිම මූල ද්‍රව්‍යයකි. සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ රසායනික විද්‍යාවේදී උගන්වන ආවර්තිතා වගුවේදී අප මේ දෙක ගැනම ඉගෙන ගන්නේ රසායනික මූල ද්‍රව්‍ය වශයෙනි. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර ඛනිජමය සම්භවයක් ඇති කාබනික පොහොරක් බව ය.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා එය සනාථ කර ඇති බව ද ඔවුහු නිවේදනය කරති.මෙය බරපතල විහිළුවකි. මොවුන් ගොවීන් මෝඩයන් බව සිතා සිටිනවා විය යුතු ය. පොටෑසියම් ක්ලෝරයිඩ් ස්වභාවිකව ඇති වුවද එහි දියවන ද්රාවතාවය හා ඉහළ විශ්ලේෂණය මෙන්ම ක්ලෝරයිඩ් ප්‍රතිශතය වැඩිවීම නිසා සිද්ධාන්තමය වශයෙන්ම එය කාබනික පොහොරක් නොවන බව කෘෂිකර්ම විශේෂඥයෝ පෙන්වා දෙති.
රජයේ මෙම ප්‍රකාශය හේතුවෙන් කෘෂි විද්‍යා ආචාර්යවරු ද අපහසුතාවයට පත්ව සිටිති.කෘෂි විද්‍යාඥයන් පවසන්නේ මේ කාරණය නිසා තමන්ට ජාත්‍යන්තරයට මුහුණ දිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවකි. මේ නිසාම විශේෂඥයන් පවසන්නේ දැන්ම වෙන රටකට යාම නුවණට හුරු බවකි. මේ නිසා සිදුවන්නේ රටේ බුද්ධි ගලනය ඉහළයාම ය.
අද රටේ ලොකුම ප්රශ්නය කෘෂිකර්මාන්තයට අවශ්‍ය බෙහෙත් හා පොහොර නැතිවීමයි. නමුත් වත්මන් රජයේ බුද්ධිමය සම්පත වන වියත් මගේ වියතුන් පවසන්නේ වෙනත් කාරණාවන් ය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වූ පසු කැස්බෑවන් විශාල සංඛ්‍යාවක් මියගොස් මුහුදු වෙරළට ගොඩගසා තිබුණි.
නමුත් ආචාර්ය නාලක ගෙඩහේවා ඇමතිවරයා කීවේ වාරකන් කාලෙට දිය අනතුරු හේතුවෙන් ද කැස්බෑවන් වෙරළට ගොඩ ගසන බව ය.වියත් මඟේ ප්‍රබල සාමාජිකාවක වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල කීවේ මහ පොළොවේ පය ගසා සිටින කාන්තාවන් සිටින්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් ඉගෙනගත් අය අතරේ පමණක්ය යනුවෙනි. එම ප්‍රකාශය තුළින්ම කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් ඉගෙනගත් තමන් එවැන්නියක නොවන බව ඇය අනියමින් පිළිගෙන තිබේ.
මේ අතර වියත් මඟේ සාමාජිකයකු නොවූවත් රජයේ පාර්ශවයේ ප්‍රබල සටන් කාමියකු වන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විෂ පොල් තෙල් පරිභෝජනය මඟ හැරීම පිණිස ගම් මට්ටමින් සෙක්කු තනා තෙල් සිඳ ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී තිබුණි.
එවිට ෆේස්බුක් පෝස්ටු මඟින් කොලු කුරුට්ටන් කියා සිටියේ මොනවා වුණත් ඒ සෙක්කු වල බැඳීමට හරකුන් ගෙන් නම් හිඟයක් නොමැති බව ඒ කියුමෙන්ම තහවුරු වන බවකි. රජයට උපදෙස් දෙන වියතුන් මෙලෙස නම් රජයේ කටයුතු ගැන තවදුරටත් සිතා ගත හැකි ය.
ලංකාවේ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම පිණිස ඉහළම විද්‍යාත්මක සොයා ගැනීම් කළ පර්යේෂකයෙකු වන්නේ මහාචාර්ය ආනන්ද කුලසූරිය ය. ශාකයට අවශ්‍ය නයිට්රජන් ප්‍රමාණය ගොවිපලේ පසට ස්වභාවිකවම ලැබෙන පරිදි ඔහු විද්‍යාගාරය තුළ බැක්ටිරියාවක් නිෂ්පාදනය කළේ මීට වසර 35 ට ඉහත දී ය. නමුත් කිසිදු රජයක් යටතේ එය භාවිතයට ගැනුණේ නැත.
ජනාධිපතිවරයා පත් කළ කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ වැඩපිළිවෙලට උපදෙස් දීමට පිහිටවූ තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස මහාචාර්ය ආනන්ද කුලසූරිය ද පත් කරනු ලැබීය.
කාබනික පොහොර ආනයනය සම්බන්ධයෙන් පැවැති පළමු තාක්ෂණික කමිටු හමුවේ දී ඔහු පිට රටින් කාබනික පොහොර ගෙන්වීමට විරුද්ධව අදහස් දැක්වීය.
මෙලෙස විදෙස් කාබනික පොහොර හරහා රටට අහිතකර බැක්ටිරියා/ වෛරස් පැමිණිය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබුණි. එහි ප්‍රතිඵලය වූවේ ආනන්ද කුලසුරිය මහාචාර්යවරයා තාක්ෂණික කමිටුවෙන් ඉවත් කිරීමය.
එය සොටු ගැලීම හේතු කොට නාසය කපා දැමීමකි.මේ අතර විශේෂඥ වෛද්‍ය පාදෙණිය කියා සිටියේ මෙරට කෘෂි විද්‍යඥයන් කෘෂි විද්‍යාව නොදන්නා බව ය.සැබෑ වියතුන් සහ දේශපාලන වියතුන්ගේ වෙනස මෙයින් පැහැදිලිව වටහා ගත හැකි ය.
බොහෝ ගොවීහු ද මේ වන විට ගොවිතැන් කරන්නේ ද නැතිද? යන්න ගැන සිතාගත නොහැකිව අතරමංව සිටිති. කාබනික ලේබල් ගැසු රතු කැට වෙනදා ගාණට වඩා දෙගුණයක් මිල ගෙවා ගෙනවිත් ගොවිජන සේවා මධයස්ථානවල ගොඩ ගසා ගොවීන්ට වගා කරන්නැයි කියා සිටිති. වල් නාශක – දිලීර නාශක මෙන්ම කෘමිනාශක නොමැතිව වී වගා කළ නොහැකි බව ගොවීහු පවසති.
කාබනික පොහොර යොදා ගොවිතැන් ආරම්භ කරද්දී කෘමිනාශක හා වල් නාශක වෙනුවෙන් කුමක් කරන්නේදැයි ගොවීන් විමසද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක පත්‍රිකාවල මෝඩ උපදෙස් දී ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ සදහන් කරයි.
වගාවේ සිටින කෘමීන් ගොවීන්ට අතින් ඉවත් කිරීමට එම උපදෙස් නිකුත් වී තිබීමම විහිළු සහගත ය. ගජ මිතුරුන්ගේ මඩිය තරකර ගැනීම උදෙසා කාබනික සංකල්පයක් ගෙනවිත් රටේ කෘෂි ආර්ථිකය විනාශ කොට ඇතැයි යන මතය ද වේගයෙන් සමාජ ගත වෙමින් තිබේ. කෘෂිකර්මාන්තයෙන් ජිවිතය ගැට ගසා ගන්නා ගම්මානවල ජනතාව මේ වන විට ද ආහාර හිගයකට මුහුණ පා සිටිති.ඊට අමතර ව උදාවන හෙට දිනය සම්බන්ධයෙන් ඔවුන් තුළ මහත් බියක් ජනිත වී තිබේ.
තේ වගාවේ දළු නැත. අර්තාපල් – කැරට් – බීට් යන බෝගවල අල හැදෙන්නේ නැත. බෝංචි කරල් හැදෙන්නේ නැත. බඩ ඉරිඟු කෙසේවත් හැදෙන්නේ නැති බව ගොවීහු පවසති. එසේම හරක්ට දෙන තණ කොළ වගාවට පවා යූරියා ටිකක් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.
ආණ්ඩුව “කාබනික කෘෂිකර්මයෙන්” දැන් “හරිත කෘෂිකර්මයට” මාරු වී ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය 16 දා නිකුත් කළේය. මෙය ද ගැසට් රිවස් කිරිල්ලකි. 1960 දශකයේදී “හරිත විප්ලවයේදී මී හරකා කුඹුරෙන් ඉවත් විය. ජනාධිපතිවරයාගේ මෙම රිවස් ගැසට්ටුවෙන් ඇතිවන හරිත විප්ලවයේ ප්‍රතිඵලය කුමක්දැයි ඉදිරියේදී දැන ගත හැකිවේ.
හරවා යවන ලද චීන අශුචි නැව නැවත රටට ගෙන ඒමට ආණ්ඩුවේ ගජමිතුරන් පිරිසක් උත්සාහ ගනිමින් සිටින බවට රජයට චෝදනා එල්ලවෙමින් තිබේ. චින අශුචි නැව ප්‍රතික්ෂේප වීම යනු මේ අයගේ මඩිය හිස්වීමකි. මෙම අපරාධය දැක දැක අහක බලා සිටීම මහා පාපයකි.ඔව්හු එක හෙලා කියති වී ගොවිතුනැට අවශ්‍ය මඩ පොහොර, බණ්ඩි පොහොර නිසි වෙලාවට ගෙනත් දීමට නොහැකි කෘෂිකර්ම අමාත්‍යාංශයකින් ඵලක් තිබේද යන ප්රශ්නය අපට මතුවේ.
මේ අතර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා අනුරාධපුරයේ දී පාපෝච්ඡාරණයක් බඳු එක් ඇත්තක් කීවේය.එනම් දැන් තමන්ට ගොවීන් හමුවට යන්නට නොහැකි බවකි.
ලසන්ත වීරකුලසූරිය