ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මේ දිනවල පැතිර යමින් ඇති නිපා (Nipah) වයිරසය ගැන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ද අවධානය යොමු කර තිබේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම වයිරසය ගැන ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි. නිපා වයිරසය පිලිබඳ අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයෙන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
මෙම වයිරසය ආසාදනය වූවන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යංශය පවසා ඇත. ඔවුන් පවසන්නේ ඉදිරි දිනවල මෙම පරීක්ෂණ කට්ටල මෙරටට ලැබෙනු ඇති බවයි. වයිරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ.
නිපා වයිරසය ගැන මේ ආකාරයෙන් අවධානයක් යොමු වන්නට පටන් ගත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආසාදිතයන් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමගය. පසුගිය දිනවල මෙම වයිරසය හේතුවෙන් එහි මරණ දෙකක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. වයිරස ව්‍යාප්තිය බරපතල තත්ත්වයට පත් වීම වැලැක්වීම සඳහා ඉන්දීය මධ්‍යම රජය මෙන්ම කේරළ ප්‍රාන්ත රජය ද බොහෝ පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල යම් අගුලුලෑම් පවා ක්‍රියාත්මක කර ඇත. එම ප්‍රදේශවල පාසල් වසා ඇති බවත්, අධ්‍යාපන කටයුතු පසුගිය කොවිඩ් කාලයේ මෙන් මාර්ගගත ක්‍රමයට සිදුවන බවත් සඳහන් ය. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ අලෙවි කරන ස්ථාන හැරුණු කොට සෙසු වෙළෙඳසැල් ද වසා දමා තිබේ.
තත්ත්වය පිලිබඳ අවදියෙන් පසුවීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇති බව සඳහන් වේ. එමෙන්ම ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ජනතාව පුළුල් පරිමාණයෙන් නිපා පරීක්ෂාවන්ට ලක් කිරීමේ මෙහෙයුම් ද ආරම්භ කර තිබිණි. කේරළය තුළ මෙවැනි නිපා වයිරස ව්‍යාප්තියක් වාර්තා වන්නේ සිව්වැනි වතාවටයි. 2018, 2019 සහ 2021 යන වසරවල ද එහි නිපා ආසාදිතයන් වාර්තා විය.
මෙම වයිරසය ද ප්‍රධාන වශයෙන්ම වවුලන්ගෙන් බෝවන වයිරසයක් ලෙස සැලකේ. වයිරසය ආසාදිත වවුලන්ගේ කෙළ, වසුරු සහ මුත්‍රා ආදිය තැවරුණු පළතුරු වැනි දේ ආහාරයට ගැනීමෙන් මෙය මිනිසුන්ට බෝ විය හැකිය. ඌරන්ගෙන් ද මෙය මිනිසුන්ට බෝ වූ අවස්ථා ගැන වාර්තා වී ඇත. නමුත් කොවිඩ් වැනි වයිරස තරම් පහසුවෙන් මෙය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බව ද සොයාගෙන තිබේ. මෙම වයිරසය මිනිසකුගෙන් තව කෙනෙකුට බෝ විය හැක්කේ ආසාදිතයාගේ ශරීර තරල ඔස්සේ යි. බොහෝ විට එයට ගොදුරු වන්නේ ආසාදිතයන් සමීපව ආශ්‍රය කරන්නන්, සෞඛ්‍ය සේවකයන් වැනි අය යි.
කෙසේ නමුත් තරමක් භයානක කාරණයක් වන්නේ නිපා වයිරසය සියයට 40-75 අතර මරණ අනුපාතයක් ඇති වයිරසයක් වීම ය. එහි අදහස නම් වයිරසය ආසාදනය වන්නන්ගෙන් සියයට 40-75 අතර සංඛ්‍යාවක් මරණයට පත් වීමේ ඉඩක් ඇති බවයි. වයිරස ප්‍රභේදය අනුව මෙම මරණ අනුපාතය වෙනස් වේ.
නිපා සඳහා තවමත් එන්නතක් සොයාගෙන නැත. උණ, හිසරදය, නිදිමත ගතිය, වමනය, උගුරේ අපහසුතා, හුස්ම ගැනීමේ අපහසුතා ආදිය මෙහි මූලික රෝග ලක්ෂණ යි. නමුත් තත්ත්වය වඩාත් බරපතල වුවහොත් කෝමා තත්ත්වයට පත්වීමට පවා හැකියාව තිබේ. එමෙන්ම මොළය ඉදිමීම, නියුමෝනියාව වැනි තත්ත්වයන් ද ඇති විය හැකි බව සඳහන් වේ. මේ නිසා රෝගයෙන් පරෙස්සම් වීම ඉතා වැදගත් බව විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙම රෝගය මුලින්ම සොයා ගන්නා ලද්දේ මැලේසියාවෙනි. ඒ 1998 වසරේ යි. නිපා යන නම ද මැලේසියාවේ ගමක නමකි. මේ වනවිට කේරළයේ පැතිරෙමින් ඇත්තේ බංග්ල්දේශ ප්‍රභේදය නමින් හැඳින්වෙන ප්‍රභේදයකි. එය එතරම් වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් නොවුණත් ඉහළ මරණ අනුපාතයක් ඇති ප්‍රභේදයක් ලෙස සැලකේ. 2001 වසරේ බංග්ලාදේශයෙන් ආසාදිතයන් 13 දෙනෙකු හමු වූ අතර ඔවුන්ගෙන් 9 දෙනෙක් මරණයට පත් වූහ. 2003 වසරේ එරටින් වාර්තා වූ ආසාදිතයන් 12 දෙනෙකුගෙන් 8 දෙනෙකු මියගොස් තිබිණි.
මැලේසියාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවලට අමතරව සිංගප්පූරුවෙන් ද නිපා ආසාදිතයන් හමු වී තිබේ.