රෝගීන්ගේ පෝලිමෙන් පැන වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ගන්න විනිසුරු වරයකුට පුළුවන්ද?

what is treatment in health

තම රෝගී දරුවා පෙන්වීම පිණිස වෛද්‍යවරයකු මුණ ගැසීම සඳහා සූදානම් ව සිටියදී තමන් මෙන් කලින් වේලාව වෙන් කර ගත් රෝගී ළදරුවන් සමඟ පෝලිමේ සිටි සෙසු රෝගීන් නොතකා හරිමින් එම වෛද්‍යවරයා මුණ ගැසීම සඳහා ඇතුළු වූ මහේස්ත්‍රාත්වරයකු ඇතුළු පවුලේ සාමාජිකයන්ට විරුද්ධ වූ තමන් අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන අමානුෂික ලෙස හිරිහැර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික යුවලක් පසුගිය 22 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන තිබේ.මෙය සමාජ සාධාරණත්වය පිළිබඳව අවධානය යොමු කරන සැම ගේ නොමඳ අවධානයට යොමු විය යුතු සිදුවීමකි.මක් නිසා ද යත් මෙවැනි කරුණු සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු වීම අදටත් ඉතා අඩු මට්ටමක පවතින බැවිනි.ඒ අනුව රෝගීන් ගේ පෝලිමෙන් පැන වෛද්‍ය වරයකු ගෙන් ප්‍රතිකාර ගන්න විනිසුරු වරයකුට පුළුවන්ද?යන්න ඉතා හොඳ සමාජ කතිකාවකි.

චමින්ද කෞෂල්‍ය මනනායක සහ ඔහුගේ බිරිය වන ලක්මාලි දිනූෂා රණතුංග යන දෙපළ විසින් නීතීඥ මංජු බාලසූරිය මහතා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් මෙම පෙත්සම් ගොනු කැර ඇත. රාගම පොලිස් ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ,පොලිස්පතිවරයා,නීතිපතිවරයා ඇතුළු දහසය දෙනකු මෙහි වගඋත්තර කරුවන් ලෙස නම් කොට තිබේ.. තමන් ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැරයට ලක් කරමින් අමානුෂික ලෙස කටයුතු කළ රාගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ. ඕස්ට්‍රේලියාවේ සමාගමක ගණකාධිකාරීවරයකු ලෙස සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සේවය කරන පෙත්සම්කරුවන් දෙපළ පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත් මැයි මාසයේදී මෙරටට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ දුන් බව මෙම පෙත්සමේ සඳහන් කොට තිබේ. මාස නවයක් වයසැති තම ළදරුවාට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු මුණ ගැසීමට පෞද්ගලික රෝහලකින් වේලාව වෙන්කර ගත් බව සිය පෙත්සම මඟින් අගතියට පත් වූවෝ කියා කියා සිටිති.ඒ අනුව එම වෛද්‍යවරයා මුණ ගැසීමට ගිය අවස්ථාවේදී වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණ පළමු රෝගියා පරික්ෂා කරන අවස්ථාවේදීම වෙනත් පුද්ගලයකු ඇතුළු පිරිසක් වෛද්‍යවරයාගේ කාමරයට කඩිමුඩියේ ඇතුළු වූ බවද ඔවුන් සතුව වේලාව වෙන්කර ගැනීමේ රිසිට් පතක් නොවූ බව ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මඟින් කියා සිටියි.රෝගී ළදරුවන් සමඟ වෛද්‍යවරයා මුණගැසීමට විශාල පිරිසක් බලා සිටියදී මෙසේ පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් හිටිහැටියේ මෙලෙස වෛද්‍යවරයාගේ කාමරයට ඇතුළු වීම සම්බන්ධයෙන් එහි රැඳී සිටි පිරිස නොසන්සුන් වූ බව පෙත්සමෙහි සදහන් වේ.

පසුව ඒ සම්බන්ධයෙන් තමන් ඇතුළු පිරිසක් විරෝධය පළ කළ බවද ඔවුන් පිටතට පැමිණි අවස්ථාවේදී තමන්ගේ සැමියා මහේස්ත්‍රාත්වරයකු වන බව එහි සිටි කාන්තාවක ප්‍රකාශ කළ බව පෙත්සමෙහි සඳහන් වෙයි. අනතුරුව ටික වේලාවකින් එහි පැමිණි රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් විසින් තමන් සහ රෝගී දරුවන් අතැ`තිව සිටි තවත් යුවලක් අත්අඩංගුවට ගත් බව පෙත්සම් කරුවෝ තම පෙත්සමින් කියති. එමෙන්ම නීති විරෝධී ලෙස රාගම පොලිස් ස්ථානයට ගෙන යාමෙන් පසුව දිගු වේලාවක් හිරිහැරයට ලක් කරමින් එහි රඳවා සිටි බව පෙත්සම්කරුවෝ චෝදනා කරති.පසුව තමන් අනතුරුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමථ මණ්ඩලයට එම පැමිනිල්ල යොමු කරමින් ඔවුන් මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පෙත්සමෙහි සඳහන් වේ. මෙම සිදුවීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),13 (1) ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. ඉහත සඳන් සිදුවීම අප රටේ තවමත් බලපවත්නා වැඩවසම් වාදී චින්නන රටාව මුල් කොට සිදු වූවක් බව පෙනෙයි.

වෛද්‍යමය කටයුතු වල දී වුව සමාජයේ යම් පිළිගැනීමකට ලක් වූවන් සඳහා ප්‍රමුඛතාව හිමි විය යුතුය යන වැඩවසම්වාදී ආකල්පය ලොව දියුණු සමාජයන් ගෙන් අතු ගෑවී යන යුගයක සමාජමය ප්‍රභූත්වයක් හිමි කර ගත් පුද්ගලයන් රෝහල් කාර්ය මණ්ඩල සේම ඇතැම් වෛද්‍ය වරුන් පවා අදටත් එය ක්‍රියාවට නැංවීම අප සමාජයේ නොදියුණු බව කියා පාන කදිම කැඩපතකි.ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වන මෙවන් මූලික අයිතිවාසිකම් පෙත්සම් සමබන්ධයෙන් මාධ්‍ය කරුවන් ඇතුළු සමාජ නියාමකයන් සංවිභාගශීලී වීමේ වැදගත් කම අපි මෙලෙස හුවා දක්වමු.ඒ දිනෙන් දින යාවත් කාලීන වන නව ගෝලීය සමාජ ආකල්ප සමඟ එක් නොවුණහොත් ඉදිරියේ දී නූතන ලෝකය හමුවේ අප ගේ ගෝත්‍රිකත්වය ඉතා මැනැවින් පෙන්නුම් කෙරෙන බැවිනි.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර