මෙයට ටික දිනකට පෙර ඉන්දියාව සඳ වෙත යානයක් යැවීම ලොව පුරා විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. කෙසේ නමුත් පසුගිය දිනවල ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (Indian Space Research Organization) ප්‍රකාශ කර තිබුණේ සඳ මත ගොඩබට වික්‍රම් යානයෙන් සහ ප්‍රඥාන් නැමැති රෝවරයෙන් මේ වනවිට කිසිදු සංඥාවක් නොමැති බවයි. ප්‍රඥාන් රෝවරය යනු සඳ මත එහා මෙහා යමින් තොරතුරු පෘථිවියට එවන කුඩා වාහනයක් වැනි මෙවලමකි. වික්‍රම් සහ ප්‍රඥාන් සඳ මත ගොඩ බැස්සේ අගෝස්තු 23 වැනි දින යි. එදා සිට මේ වනවිට මාසයකට ආසන්න කාලයක් ගත වී තිබේ.
වික්‍රම්ගෙන් සහ ප්‍රඥාන් රෝවරයෙන් මේ වෙද්දී සංඥා නොලැබෙන නමුත් ඒවා සමග නැවත සබඳතා ගොඩනගා ගැනීමට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය දිගටම උත්සාහ කරමින් සිටියි.
අගෝස්තු 23 වැනි දින සඳ මත ගොඩබට වික්‍රම් සහ ප්‍රඥාන් ක්‍රියාත්මකව පැවතියේ දින 14 ක කාලයක් පමණි. එය සඳ මත එක් දිවා කාලයකි. සඳේ එක් දිවා කාලයක් පෘථිවියේ දින 14 කට සමාන වේ. එයින් පසු සඳ මත එළඹෙන රාත්‍රි කාලය ද පෘථිවි දින 14 ක් පුරා පවතියි.
වික්‍රම් සහ ප්‍රඥාන් ගොඩ බැස්සේ දිවා කාලයක ආරම්භයේ යි. එයින් දින 14 කට පසු රාත්‍රි කාලය එළැඹෙත්ම ඒවා අක්‍රිය කරමින් නින්දට යැවිමට විද්‍යාඥයෝ කටයුතු කළෝය. රාත්‍රි කාලයේ වැඩ කිරීමට ඒවාට ශක්තිය නොමැති බැවිනි. ඒවා ක්‍රියාත්මක වන්නේ සූර්ය බලයෙන් වීම ඊට හේතුවයි. අනතුරුව දින 14 ක් පුරා පවතින රාත්‍රි කාලයෙන් පසු වික්‍රම් සහ ප්‍රඥාන් නැවත අවදි කරවා ගැනීම විද්‍යාඥයන්ගේ අපේක්ෂාව විය. මේ වනවිට සඳෙහි රාත්‍රි කාලය අවසන්ව නැවත හිරු උදා වී ඇතත් වික්‍රම් සහ ප්‍රඥාන් යළි අවදි කරවා ගැනීමට නොහැකිව ඇති බව සඳහන් වේ. ඒ සඳහා යැවූ සංඥාවන්ට ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොමැති බව ඉන්දියානු විද්‍යාඥයන් පවසා තිබිණි.
මෙයට හේතුව ඒවායේ බැටරිවල ගැටලුවක් විය හැකි බව විශ්වාස කෙරේ. සඳ මතට රාත්‍රි කාලය උදා වූ විට එහි පවතින අධික ශීතල නිසා බැටරිවලට හානි සිදුව තිබෙන්නට ඉඩ ඇති බව විද්‍යාඥයන්ගේ එක් අනුමානයකි. වික්‍රම් සහ ප්‍රඥාන් තිබෙන්නේ සඳෙහි දක්ෂිණ ධ්රැව කලාපයේ යි. මෙම කලාපය රාත්‍රි කාලයේ දැඩි ශීතලක් පවතින කලාපයක් ලෙස සැලකේ. ඇතැම් අවස්ථෘවල එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 200-250 ක් තරම් පහත වැටේ.
යම් ආකාරයකින් වික්‍රම් සහ ප්‍රඥාන් සමග සබඳතා යළි ගොඩනගා ගැනීමට නොහැකි වුවත් එය විද්‍යාඥයන්ට ලොකු ප්‍රශ්නයක් නොවේ. මන්ද යත් ඒවායින් අපේක්ෂා කෙරුණු කටයුතු මේ වනවිට බොහෝ දුරට ඉටු වී ඇති බැවිනි. සඳෙහි දක්ෂිණ ධ්රැව කලාපය පිලිබඳ අලුත් තොරතුරු රැසක් සොයා ගැනීමට මේවාට හැකි වී ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පවසා තිබිණි.
මෙම කලාපය මත ඇති රසායනික ද්‍රව්‍ය මොනවාද යන්න සොයා බැලීම සඳහා කළ ගවේෂණවල දී එවැනි රසායන ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට හැකි වී තිබිණි. ඇලුමිනියම්, කැල්සියම්, යකඩ, ටයිටේනියම්, මැංගනීස්, ක්‍රොමියම් වැනි දේ හමු වී ඇති බව විද්‍යාඥයෝ සඳහන් කරති. වඩාත් වැදගත් සොයා ගැනීමක් ලෙස ඔවුන් සලකන්නේ සඳෙහි පෘෂ්ඨය මත සල්ෆර් ඇති බව සොයා ගැනීම යි. සල්ෆර් යනු පොහොර නිශ්පාදනය සඳහා බෙහෙවින් භාවිත වන්නකි. අනාගතයේ සඳ මත ජනාවාස ඇති වන කාලයක ආහාර වගා කිරීම සඳහා අවශ්‍ය වන පොහොර නිශ්පාදනය කර ගැනීමට මේ නිසා හැකි වනු ඇති බව විද්‍යාඥයන්ගේ අදහස යි.
එමෙන්ම සල්ෆර් සාමාන්‍යයෙන් මෙවැනි තැන්වලට එන්නේ ගිනි කඳු පිපිරීම් හරහා ය. ඒ නිසා සඳ මත කාලයක් තිස්සේ සිදු වූ ඇතැම් ක්‍රියාවලීන් ගැන තේරුම් ගැනීමට මෙම සල්ෆර් විද්‍යාඥයන්ට උදව් වෙයි.
භූමියෙහි සිදුවන කම්පනයන් ගැන අවදියෙන් සිටින උපකරණයක් ද වික්‍රම් යානයේ සවි කර තිබේ. එයට දැනුණු තරමක් ප්‍රබල මට්ටමේ කම්පනයක් ගැන ද විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබිණි. එය සමහර විට සඳ මත කඩා වැටුණු උල්කාවකින් ඇති වූ කම්පනයක් විය හැකිය. ඇතැම් විට එය සඳෙහි පෘෂ්ඨයට යටින් සිදු වූ ‘භූමිකම්පාවක්’ නිසා ඇති වූවක් වන්නට ද පිලිවන. මෙය නිශ්චිතව තේරුම් ගැනීම සඳහා විද්‍යාඥයෝ වෑයම් කරමින් සිටිති. යම් හෙයකින් එය භූමිකම්පාවක් නිසා ඇති වූවක් නම් 1970 වසරට පසු පෘථිවියේ විද්‍යාඥයන්ට සඳෙන් අසන්නට ලැබුණු පළමු භූමිකම්පාව එය වනු ඇත. සඳෙහි පෘෂ්ඨයට යටින් සිදුවන දේ ගැන මෙවැනි දේ හරහා අවබෝධයක් ලබා ගැනීමට හැකිවන බව විද්‍යාඥයෝ සඳහන් කරති.
කෙසේ හෝ වේවා, වික්‍රම් සහ ප්‍රඥාන් නැවත අවදි වීමට අසමත් වුවහොත් ඔවුන්ගේ කටයුතු මෙතැනින් හමාර වනු ඇත. නමුත් විද්‍යාඥයන් පවසන්නේ ඔවුන් ඉන්දියාවේ චන්ද්‍ර තානාපතිවරුන් දෙදෙනකු සේ සැම දා සඳ මත ජීවත් වනු ඇති බවයි.
නිහාල් පීරිස්