වෙළඳසල් වලින් සොරකම් කරන්නවුන්ට පහර දෙන අයවත් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සොරකම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒවා එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.ඒ හැරුණු කොට භාණ්ඩ සොරකම් කළ වරදට, නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා එසේ පහරදීමක් සිදුකළහොත් සැකකරුවන් වන එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් ද අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. පසුගිය දිනයෙක සුපිරි වෙළඳ සලකින් චොක්ලට් සොරකම් කළ බව පැවසෙන තරුණියකට එහි කාර්ය මණ්ඩලය අමානුෂික ලෙස පහර දෙන දර්ශන සමාජ ජාල ඔස්සේ පැතිර ගොස් තිබිණ.නමුත් ජනතාවට සත්‍යය නොවලහා හෙළිකරන බවට පුරාජේරු බස් දොඩන ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය පවා අදාල ව්‍යාපාරික පාර්ශවයන් ගේ බලපෑම් මත මෙම ප්‍රවෘත්තිය සඟවා තැබූ බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.

 

කාලීන පුවත්