ලිංගික චෝදනාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම මේ වනවිට මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක ඔහුට එරෙහිව ඉහත කී චෝදනා එල්ල කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ යි. ඒ වනවිට ධනුෂ්ක ඕස්ට්‍රේලියාවට ගොස් සිටියේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා යි. මෙම චෝදනා මත ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරට බලා පිටත් වීමට පැය කිහිපයකට පෙර ය.
පැමිණිලිකාරිය ධනුෂ්කට එරෙහිව මුලින්ම චෝදනා කිහිපයක් එල්ල කළාය. ප්රචණ්ඩ ආකාරයෙන් හැසිරීම, තට්ටම්වලට පහර දීම, බලහත්කාරයෙන් සිප ගැනීම, හුස්ම සිර කිරීම වැනි චෝදනා ද ඒ අතර විය. පොලිසිය ධනුෂ්කට එරෙහිව මුල් අවස්ථාවේ චෝදනා හතරක් ගොනු කළත් පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයෝ පසුව එයින් තුනක්ම ඉවත් කර ගත්හ. අවසානයේ නඩු විභාගය පැවැත්වුණේ එක් චෝදනාවක් සම්බන්ධයෙන් පමණි. එනම් පැමිණිලිකාරියගේ කැමැත්තකින් තොරව කොන්ඩමය ඉවත් කරමින් අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවක නියැලුණාය යන චෝදනාව යි. මෙය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ අපරාධ ගණයේ වරදක් ලෙස සැලකේ. නඩු විභාගය දින හතරක් පුරා පැවැත්විණි.
පැමිණිකාරිය පවසා තිබුණේ තමා කැමැත්ත පළ කළේ ආරක්ෂිත ලිංගික හැසිරීමකට පමණක් බවයි. ධනුෂ්ක කොන්ඩමය ඉවත් කරනු තමා නොදුටුවත් එය බිම වැටී තිබෙනු ලිංගික ක්‍රියාවෙන් පසු තමා දුටු බව ද ඇය සඳහන් කළාය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ධනුෂ්ක දිගින් දිගටම තම නිර්දෝශී බව පිලිබඳ සඳහන් කළ අතර තමා කොන්ඩමය ඉවත් කිරීමක් නොකළ බව පැවසුවේය. ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ විනිසුරු සාරා හගෙට්ගේ තීරණය වූයේ එහි දී ධනුෂ්ක ගුණතිලක පවසා තිබුණේ සත්‍යය බවයි. කොන්ඩමය ඉවත් කිරීම සඳහා ඔහුට අවස්ථාවක් නොවූ බව ද විනිසුරුවරිය පවසා තිබුණාය. පොලිසිය ඇසූ සෑම ප්‍රශ්නයකටම ධනුෂ්ක පිලිතුරු දී ඇති බවත්, හැමවිටම සත්‍යයම පැවසීමට ඔහු උපරිම උත්සාහය ගෙන ඇතැයි යන හැඟීම ඔහුගේ විස්තරය විසින් තමා තුළ ඇති කරන ලද බවත් විනිසුරුවරිය තවදුරටත් සඳහන් කර තිබිණි.
පැමිණිලිකාරිය ඇයගේ කතාව කිහිප වරක් වෙනස් කර ඇති බවට ධනුෂ්කගේ නීතිඥයෝ නඩු විභාගයේ දී තර්ක කළහ. පැමිණිල්ලේ විශ්වසනීයත්වය පිලිබඳ සැකයක් ඇති කිරීමට එය යම් බලපෑමක් කරන්නට ඇතැයි සිතිය හැකිය. සිදු වූ සිද්ධිය පිලිබඳව පැමිණිලිකාරිය ඇයගේ කට උත්තරවල දී එකිනෙකට වෙනස් කතා දෙකක් පවසා ඇති බවත්, සමහර දේ පිලිබඳව ඇයට නිසි මතකයක් නොතිබුණු බවත් විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණාය.
නඩු තීන්දුවෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණි ධනුෂ්ක තම නීතිඥයන්ටත්, මව්පියන්ටත්, තමාගේ සහයට සිටි සියලු දෙනාටත් ස්තුති කිරීමට අමතක නොකළේය. ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ ගත වූ මාස 11 ක කාලය අතිශය දුෂ්කර කාලයක් වූ බවයි. නඩු තීන්දුව තුළින් සියල්ල ප්රකාශවන බවත්, තමාගේ ගෞරවය නැවත ස්ථාපිත කර ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
“මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වීම ගැන මා සතුටු වෙනවා. ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කිරීමට මා නොඉවසිල්ලෙන් සිටිනවා’ යයි ද ඔහු ප්‍රකාශ කළේය.
32 වැනි වියෙහි පසුවන ධනුෂ්ක සහ ඔහුට ලිංගික චෝදනා එල්ල කළ පැමිණිලිකාරිය මුණ ගැසී තිබුණේ මෙවැනි අය එකිනෙකා හමුවීම සඳහා භාවිත කරන යෙදවුමක් (Dating App එකක්) හරහා යි. එයින් පසු ඔවුන් Opera Bar නැමැති ස්ථානයේ දී මත්පැන් පානය කර තිබිණි. අනතුරුව තවත් තැනකින් පීසා ආහාරයට ගැනිමෙන් පසු ඔවුන් බෝට්ටුවකින් පැමිණිලිකාරියගේ නිවෙස වෙත ගොස් තිබේ.
මේ වනවිට තාවකාලික ක්‍රිකට් තහනමකට ලක්ව සිටින ධනුෂ්කගේ එම තහනම ඉවත් කරනවාද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බලන බවක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සඳහන් කරයි. අදාළ සිද්ධිය වූ දිනයේ ධනුෂ්ක එහි ගොස් ඇත්තේ නීති උල්ලංඝනය කරමින් බැවින් ඒ ගැන ද සැලකිල්ලට ගැනීමට සිදුවන බවක් ද ඔහු පවසා තිබිණි.
ධනුෂ්ක ගුණතිලක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ 2015 වසරේ යි. මේ වනවිට ඔහු ටෙස්ට් තරග 8 කට, එක්දින තරග 47 කට සහ විස්සයි විස්ස තරග 46 කට සහභාගි වී තිබේ.
නිහාල් පීරිස්