සිහිසන් නොමැති රෝගියකුට කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් ද? හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ


සිහිසුන් වීම යනු අප සමාජයේ බොහෝ දෙනෙකු ජීවිතයේ කිනම් මොහොතක හෝ අත් දැක ඇති, එසේ නොමැති නම් අඩුම තරමින් අසා, දැක ඇති තත්වයකි . යමකුගේ කායික මානසික ක්‍රියාවලිය තාවකාලිකව අහිමි වීම මත තම කායික පැවැත්ම පාලනය ගත නොහැකි වීමත් ඒ කාල සීමාව තුළ බාහිරින් එන සියලු සංවේදීතා ඇන හිටීම මත ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකි මට්ටමකට පත් වීමත් සිහිසුන් වීම ලෙසින් අර්ථ දැක්විය හැක. මේ සදහා ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන වදන Unconsciousness යන්න ය.නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම සිහිසුන් වීම වශයෙන් පැවසෙන සංසිද්ධිය විද්‍යාත්මක ලෙස ඊට වඩා පුළුල් විග්‍රහයකට ලක් කළ හැක.

යමෙකු සිහිසුන් වන්නේ ඇයි?

යම් පුද්ගලයකු සිහිසුන් වීමට බලපාන මූලයන් රාශියකි. ඒවා මානසික, කායික සහ මනෝ කායික වශ‍යෙන් හැඳින්විය හැක. හිටිහැටියේ ඇතිවන මානසික කම්පන දරාගත නොහැකි වීම හේතුවෙන් හෘද ක්‍රියාකාරීත්වය අඩාල වීම මත මොළයට රුධිරය සහ ඔක්සිජන් සැපයීම හීන වීම ඒ සමගම රුධිර පීඩනය හා නාඬි ක්‍රියාකාරීත්වය දුර්වල වීම ආදී හේතූන් මුල් කොට යමකු එක්වර සිහිසුන් තත්වයට පත් විය හැක. තම ආදරණීයන් සම්බන්ධයෙන් එක්වරම අසන්නට ලැබෙන ප්‍රකම්පනීය පුවත් ආදියේ දී බොහෝ දෙනෙකු තුළ මෙම තත්වය ඇති වන බව නොරහසකි.එක් අතකින් බලන විට මෙය එවන් තීව්‍ර කම්පනයන් ගෙන් කායික ව්‍යුහයට සිදු වන දැඩි අහිතකර බලපෑම් අවම කරන “ස්විච්චියක් ට්‍රිප් වීමක්” වැනි තත්වයක් ලෙස ද හැඳින්විය හැක. මෙම මානසික මූලයන්ට අමතරව හිසට සහ මධ්‍ය ස්නායු පද්ධතියට සිදුවන අනතුරු රුධිරයේ සීනි සංයුතිය පහල වැටීම, විජලනය, හදවතේ සහ ස්නායු පද්ධතියේ සංකූලතා නිසාද යමකු මෙලෙස සිහිසුන් වීමට පුලුවන.
හදිසි හෘදයාබාධයක් හෝ මොළයේ ඇතිවන ආඝාත තත්වයක් මත මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා සැපයෙන රුධිර ප්‍රමාණය සහ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම ද (Hypoxia ) මෙලෙස යමකු සිහිසුන් නොමැති වීමට හේතුවකි. එමෙන්ම අධික මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය නිසා ශරීරයේ ස්නායු පද්ධතිය සහ ඉන්ද්‍රියන්ට සිදුවන අහිතකර බලපෑම් නිසා ද මෙලෙස සිහිසුන් වීමේ පැහැදිලි හැකියාවක් පවතී. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුත්තේ අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා සිහිසුන්ව මහමග වැටී සිටින්නවුන් ලොව බටහිර රටවලින් සේම අප රටින් ද හමු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවකි.එමෙන්ම හිටි හැටියේ බාහිර හේතූන් නොමැතිව හිටි හැටියේ සිදුවන අප රටේ තරුණ මරණ සමඟ ද මෙම තත්වය ගලපා බැලීම ඉතා වැදගත් කාලීන මෙහෙවරක් වනු ඇත.

සිහිසුන් වන කෙනෙකුට මොකද වෙන්නේ?

මෙසේ කවර හෝ මූලයක් මත සිහිසුන් වන්නවුන් ගෙන් වැඩි කොටසක් යම් වේලාවක් තුළ ස්වාභාවිකවම යථා තත්ත්වයට පත් වෙති. සමහරෙක් ඒ මොහොතේ ලබාදෙන ප්‍රතිකාර මඟින් ද ප්‍රකෘති තත්ත්වයට පත්වෙති. එහෙත්, මෙලෙස සිහිසුන් බවට පත් වන්නන් ගෙන් යම් කොටසක් ඊට බලපාන හේතූන් මත එහි ඊළඟ දිගුව වන මූුර්ජා තත්වයට පත්වෙති.

මොකක්ද මේ මුර්ජාව කියන්නේ?

මුර්ජාව (Coma ) හුදෙක් කායික සහ ජෛවමය සංසිද්ධියක් වන අතර සිහිසුන් වීමෙන් යළි ප්‍රකෘති තත්ත්වයට පත් නොවීම සරල වශයෙන් මෙම මුර්ජාව ලෙස අර්ථකථනය කළ හැක. හිසට සහ මධ්‍ය ස්නායු පද්ධතියට ඇතිවන කම්පන තුවාල ආදිය සේම මොළයේ ආඝාත නිසාත් රුධිරයේ සීනි සංයුතිය පහළ වැටීම සේම හයිපොතර්මියා,(Hypothermia ) එන්සෙපලයිටිස්( Encephalitis)මෙනින්ජයිටිස්(Meningitis ) වැනි රෝග තත්වයන් මුල් කොට ගෙන ද යමකු මෙසේ මුර්ජා තත්වයට පත් විය හැක. එමෙන්ම අධික මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයේ අනිටු ප්‍රතිඵලයක් ලෙස ද හටගන්නා මම මුර්ජා තත්වයට පත් වන රෝගීන් ද අතීතයට සාපේක්ෂව මේ වන විට බහුල වෙමින් පවතින බවද කිව යුතු ය. මෙහිදී ද සිහිසුන් වීමේ ලක්ෂණ එපරිද්දෙන්ම පවතින අතර රෝගියාගේ ශ්වසනය ආදී ජෛවමය ක්‍රියාකාරකම් එලෙසින්ම පැවතීම විශේෂත්වයකි. එමෙන්ම සිය කායික මානසික ව්‍යුහය පාලනය කර කරගත නොහැකි මුත් බාහිර පරිසරයේ අධිසංවේදීතාවයනට ඉතා සුළු ප්‍රතිචාර දැක්වීමට ද මෙම මුර්ජා තත්ත්වයේ පසුවන ඇතැම් රෝගීන්ට පුළුවන. තම මුහුණේ ඉරියව් මගින් හැඟීම් ආවේග ප්‍රකාශ කිරීමේ ඉතා සුළු අවකාශයක් ද මුර්ජා තත්ත්වයේ පසුවන රෝගීන් සතු බවට මතයක් තිබේ. එමෙන්ම ශරීරයට තියුණු ලෙස රිදුම් දෙන යමක් ඇති කළ විට ඔවුහු ඊට ප්‍රතිචාර දක්වති.

මෙම මුර්ජා තත්ත්වයේ පසුවන රෝගීන් ඒකාන්ත වශයෙන්ම වෛද්‍ය හෙද හා අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල විශේෂ අවධානයට ලක්ව සිටිය යුතුය. ඒ අතර එම මුර්ජාව ට බලපෑ හේතු සොයමින් ඒ සඳහා නියමිත ප්‍රතිකාර ලබාදීම නිරතුරුව සිදු වේ. මෙම තත්ත්වයේ පසුවන රෝගීන්ට ආහාර පාන ලබා ගැනීමට නොහැකි වීම මත ඔවුනට ශරීරයේ පැවැත්මට අවශ්‍ය පෝෂණය නල( Enteral tube feeding) මගින් ලබාදීම ද සිදු කෙරේ. ඒ අනුව දින සති ගණන් පැවැත්වෙන මෙම තත්වය හමුවේ ඔවුන්ගේ ශරීරවල අස්ථි ක්‍රියාකාරීත්වය සහ මාංශ පේශි වල ලිහිල් බව පවත්වාගෙන යාම සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර ද ලබාදිය යුතු වේ.ඒ අතර රෝගියා එකම ඉරියව්වෙන් හිඳීම නිසා ඇතිවන ඇඳ වණ ( Bedsores ) හට නොගැනීමට අවශ්‍ය පිළියම් යෙදීම ද කාර්ය මණ්ඩල සතු වගකීමකි. එහෙත්, මුර්ජා තත්ත්වය සඳහා වන විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මත මෙම රෝගීන් ගෙන් කොටසක් එම තත්වයෙන් අත්මිදෙන අතර ඉතිරි කොටස එම මුර්ජා තත්වයෙන්ම මරණයට පත්වෙති. මේ අතර තවත් කොටසක් මෙම මුර්ජාවේම දිගුවක් වන ශාකමය තත්ත්වයට පත්වෙයි.බොහෝ විට රෝගියෙකුගේ මෙම මුර්ජා තත්ත්වය දින සති ගණනකට සීමා වනු දක්නට පුළුවන.

මූර්ඡාවේ ඊළඟ දිගුව;නිස්තේජ අවස්ථාව (Vegetative state )යි

මෙම නිස්තේජ අවස්ථාව කාටත් වැටහෙන අයුරින් කිවහොත් මුර්ජාවම තවත් බරපතල අයුරකට හැරීමකි.නිස්තේජ අවස්ථාව යනු සිතුවිලි සහ හැසිරීම් පාලනය කරන මොළ කොටස තවදුරටත් ක්‍රියා නොකරන තත්වයක් මත හයිපොතලමසය(Hypothalamus ) සහ මොළ නාරටිය (Brain stem )නිද්‍රා චක්‍ර, ශරීර උෂ්ණත්වය, හුස්ම ගැනීම වැනි වැදගත් ක්‍රියාකාරකම් පාලනය කරන මොළයේ කොටස් සමඟ රුධිර පීඩනය, හෘද ස්පන්දන වේගය තව දුරටත් ක්‍රියා කිරීම ය. මේ තත්වය යටතේ ඇතැම් රෝගීන් තම දෙනෙත් විවෘත කර අවදියෙන් සිටින බවක් පෙන්නුම් කරන මුත් ඔව්හු වෙනත් ආකාරයකින් උත්තේජනයට කිසිදු අර්ථවත් ආකාරයකින් ප්‍රතිචාර නොදක්වති.වෛද්‍යවරුන්ට මෙම තත්වය සම්බන්ධයෙන් රෝග විනිශ්චයක් දිය හැක්කේ යම් කාලයක් තුළ එක් වරකට වඩා එම රෝගියා නිරීක්ෂණය කිරීමෙන් පසුව ය.මෙහිදී රෝගියා ඒ සඳහා වන විශේෂ ප්‍රතිකාර සහිත ඒකකයක රඳවා නිරතුරුවම වෛද්‍ය සහ කාර්ය මණ්ඩල අවධානයට ලක් කෙරේ. මෙම නිස්තේජ අවස්ථාවේ පසුවන රෝගියකු හට බොහෝ දුරට ශ්වසන ආධාරක යන්ත්‍රයකින් හෙවත් වෙන්ටිලේටරයකින්(Ventilator )තොරව ශ්වසනය තනිව පවත්වාගෙන යා හැක. එහෙත්, එවැනි රෝගියෙකුගේ හෘද ක්‍රියාකාරිත්වය, රුධිර පීඩනය නාඩි වැටීම ආදිය අවම මට්ටමක පවතින අතර රෝගියාගේ කායික මානසික ක්‍රියාවන් මුළුමනින්ම පාහේ බිඳ වැටීමට ලක් වේ. මොළය තුළ පවත්නා අර්බුද, සුසුම්නාව මුල්කොටගත් මධ්‍ය ස්නායු පද්ධතියේ පවත්නා අඩාල වීම මුල් කොට මෙවැනි රෝගී අය දිගු කාලයක් මේ අයුරින්ම හිඳිනු දක්නට ලැබේ. නමුත් එම තත්ත්වයට මුල් වූ හේතූන් නිවැරදිව හඳුනාගෙන ඒවා සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතරේ අන්තර් නළ මාර්ගයෙන් ඔවුන්ගේ පෝෂණ මට්ටම රැක ගැනීම, බහිස්‍රාවීය පද්ධතිය කළමනාකරණය කර ගැනීම, අස්ථි සහ මාංශ පේශීන්වල යහ පැවැත්ම තහවුරු කර ගැනීම සහ ඇඳ තුවාල ඇතිවීම වළක්වාගැනීම ආදී වගකීම් රැසක් හෙද සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩල වෙත පැවරේ. මෙම නිස්තේජ අවස්ථාවේ දී රෝගියාගේ ඇසිපිය සහ තොල්පට වල් සහ ඇඟිලි සෙලවීම ආදිය වරින් වර නිරීක්ෂණය වන මුත් එය හුදෙක් රෝගියාගේ මොළයේ ක්‍රියාකාරීත්වය මුළු මුළුමනින් ඇනහිට නොමැති බව පැවසෙන සරල දර්ශකයකි.එහෙත්, මාස හයකට වැඩි කාලයක් යම් රෝගියෙකු මෙම තත්ත්වයේ පසුවීම අනවතර නිස්තේජ අවස්ථාව( Persistent vegetative state ) ලෙස හැඳින්වෙයි. එය සැලකිය හැක්කේ අතිශය බරපතළ හෙවත් දැඩි අසාධ්‍ය තත්වයක් ලෙසිනි.

අනවතර නිස්තේජ අවස්ථාව අවම සවිඤ්ඤාණ තත්ත්වය

රෝගියා ජීවිතයත් මරණයත් අතර අවස්ථාවකට පත්ව ඇති බව හඟවන මෙම අනවතර නිස්තේජ අවස්ථාව( Persistent vegetative state )  තුළ දී රෝගියා තම ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය කරුණක් වන ශ්වසන ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට බොහෝ විට අසමත් වෙයි. ඒ අනුව ඇතැම් විට වෙන්ටිලේටරයක ආධාරයෙන් රෝගියාට සවසනය ලබා දීමටත් රෝගියාගේ හෘද ක්‍රියාකාරිත්වය සහ රුධිර පීඩනය පිළිබඳව සේම ශරීරයේ හෝමෝන නිෂ්පාදය ඇතුළු සෙසු ජෛවමය ක්‍රියාදාමයන් පිළිබඳව නිරතුරු අවධානයෙන් පසු වීමටත් වෛද්‍ය කාර්ය මණ්ඩලවලට සිදුවේ. නමුදු දැනට වාර්තා වී ඇති කරුණු අනුව ලොව පුරා පවතින පොදු වෛද්‍ය මතය නම් මාස හයකට වැඩි කාලයක් ගතවීමෙන් පසුවත් රෝගියා මෙවැනි දැඩි අසාධ්‍ය තත්වයක පසු වන්නේ නම් ඔහුට ජීවත් වීමට ඇති හැකියාව ඉතා අවම මට්ටමකට පත්වන බවකි. එහෙත්, ඒ හැකියාව ශූන්‍ය නොවීම මත රෝගියා අත්හැර දැමීමේ හැකියාවක් ද වෛද්‍යවරුනට නොමැත. ඇතැම් රටවල පවතින නීති වලට අනුව එය වෛද්‍යමය නොතකා හැරීම (medical negligence ) ආදී වැරදි වලට ගොනු විය හැකි කරුණකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් ලොව දියුණු රටවල පළමු කොට රෝගියාගේ දෙවනුව ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගෙත් යහපත තකා එවැනි රෝගීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විද්‍යාත්මකව දැනුවත් කොට රෝගියා සඳහා ගත් යුතු ඊළඟ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම වෛද්‍යවරුන්ට පවරා තිබේ.එහෙත්, මෙය ඉතා සංවේදී සහ සංකීර්ණ පරාසයකි. මාස හයක් හෝ වැඩි කාලයක් මෙම තත්වයේ පසුවන රෝගියකු නැවත ප්‍රකෘති තතත්වයට පැමිණීම එක්තරා ආකාරයක විස්මිත සිදුවීමකි.නමුදු ඔවුන් තම අධීක්ෂණයෙන් බැහැර කිරීමට වෛද්‍යවරුනට නොපුළුවන. නමුදු මාස හයකට වැඩි කාලයක් මෙම තත්ත්වයෙන් පසුවන රෝගීහු බොහෝ දෙනෙක් එම තත්වය මුල් කොට හටගන්නා විවිධ සංකූලතා හේතුවෙන් මිය යති. එසේ නොවීම සෞඛ්‍ය හා වෛද්‍ය කාර්ය මණ්ඩලවලට රෝගියාගේ ඥාතීන්ට කෙසේ වෙතත් රෝගියා මුහුණ දෙන අතිශය ඛේදනීය තත්වයක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ. ඒ වන විටත් මොළයේ ක්‍රියාකාරීත්වය මුළුමනින් ශූන්‍යව නොපැවතීම හේතුව ය.මෙම තත්වයේ දී රෝගියාගේ අභ්‍යන්තර මානසික ක්‍රියාවලිය කිනම් තත්වයක පවතී ද යන්න පිළිබඳව නිශ්චය කිරීමට කිසිවකුටත් නොපුළුවන. එමෙන්ම මෙම තත්වයේ පසුවන රෝගීන්ගේ අතිශය සමීපතමයන් ;විශේෂයෙන් දරුවකු නම්, ඔහුගේ මාපියනට තම දරුවා යන්තමින් තොල් පට සහ අතෙහි ඇඟිලි ආදිය සොලවනු මායාත්මක ලෙස දර්ශනය විය හැක. එය ඔහු නැවත ජීවත් කර කරවීමට ඇතිදැයි මානසික නැඹුරුව මුල්කොට ගත් තීව්‍ර මනෝමය නතුවීමක් පමණක් බව වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල දනිති.

මස්තිෂ්ක මරණය කියන්නේ මොකක්ද?

ඉහත සඳහන් තත්වය මත වෙන්ටිලේටරයක ආධාරයෙන් දැඩිසත්කාර ඒකකය රඳා තබන රෝගියෙකුගේ මොළයේකඳ අකර්මන්‍ය වීම මස්තිෂ්කය හෙවත් මොළය ක්‍රියාත්මක වීම ඇන හිටිය ද එම යන්ත්‍රය ආධාරයෙන් හෘද වස්තුව තවදුරටත් ක්‍රියාත්මක කළ හැක. එහෙත්, එය එම යන්ත්‍රය මඟින් කෘත්‍රිමව ජෛවමය තත්වයක් පෙන්නුම් කිරීමක් පමණක් බව සරලව වටහා ගැනීමේ ක්‍රමවේද ද වෛද්‍යවරුන් සතුව තිබේ. ඒ සඳහා වන සරල පරීක්ෂණයක් වනුයේ එම තත්වයේ පසුවන රෝගියෙකුගේ දෙනෙත තුළට දීප්තිමත් විදුලි පන්දම් ආලෝක ධාරාවක් එල්ල කිරීම ය. එවිට කාටත් වැටහෙන බැවින් රෝගීනට “පණ කළඳක්” හෝ තිබේ නම් ඇසේ බබා (Pupil )ඊට ප්‍රතිචාර දක්වමින් කුඩා වී හැකිළී යනු ඇත. එහෙත් එසේ නොවී එය විස්රණය වූ ලෙසින්ම නිශ්චල ව තිබේ නම් එය මස්තිෂ්ක හෙවත් මොළයේ මරණයක් ලෙස නිශ්චය කිරීමට වෛද්‍යවරුනට පුළුවන.

මළ සිරුරටත් පෝෂණය ලබාදීම

මෙම අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් එම තත්ත්වය සම්බන්ධයෙන් රෝගියාගේ පවුලේ ඥාතීන් දැනුවත් කිරීමකින් තොරව වෙන්ටිලේටරය ඉවත් කළ හැක.එහෙත්,ඇතැම් විට ඇතැම් වෛද්‍යවරු වෙනත් අයෙකුට බද්ධ කිරීම් පිණිස රෝගියාගේ ශරීරයේ ඉන්ද්‍රියන් ඉවත් කර ගැනීමට ඇති හැකියාව විමසා බලති.නමුදු එවැන්නක් සිදුවනුයේ රෝගියාගේ ඥාතීන් ගේ පූර්ණ එකඟත්වය මත පමණි. එවන් අවස්ථාවල දී එම ඉන්ද්‍රියන් මිය නොයනු පිණිස තවදුරටත් එම මෘත දේහය වෙන්ටෙලේටරයේම රඳවා තබා ගැනෙන අතර එසේ ඉන් වෙනත් අයකුට බද්ධ කිරීම්ට අවශ්‍ය ඉන්ද්‍රිය හා පටක ඉවත්කර ගන්නා තුරු මෘත ශරීරයට අවශ්‍ය පෝෂක ආධාරයෙන් ශරීරගත කිරීම ද සාමාන්‍ය පිළිවෙත ය. එහෙත් එසේ නොමැතිව දිගින් දිගටම වෙන්ටෙලේටරයක ආධාරයෙන් මෘතදේහයක් නඩත්තු කිරීමට උත්සහ කළහොත් යම් කාලයකින් මෘත දේහය ශ්වසන පද්ධතිය තුළ හට ගන්නා නියුමෝනියාව වැනි ජෛවමය සංකූලතා මත එම වෙන්ටලේටරය මගින් අවශ්‍ය ජෛවමය සහාය සැපයීමේ යාන්ත්‍රණය ද ඇන හිටිනු ඇත.

හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

එතෙර - මෙතෙර