මලයාලම් චිත්‍රපටයක් ඔස්කාර් උළෙලට

ඇමරිකාවේ ඔස්කාර් සම්මාන උළෙල ලෝකයේ ජනප්‍රියම සම්මාන උළෙලක් බව රහසක් නොවේ. මෙම සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වන චිත්‍රපට, නළු නිළියන් සහ වෙනත් ශිල්පීන් ශිල්පිනියන් පිලිබඳ දැන ගැනීමට සෑම වසරකම සිනමා ලෝලීන් දක්වන්නේ මහත් කුතුහලයකි. මීළඟ ඔස්කාර් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු 10 වැනි දින ය. නමුත් මේ වනවිටත් ඔස්කාර් සම්මාන පිලිබඳ උණුසුම කෙමෙන් ඉහළ යන්නට පටන් ගෙන තිබේ. එයට එක් හේතුවක් වන්නේ හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය (Best International Feature Film) සම්මානය සඳහා දැනටමත් විවිධ රටවල් සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට පටන් ගෙන තිබීම යි.

හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය සඳහා පිදෙන සම්මානය ඔස්කාර් උළෙලේ ප්‍රධානම සම්මාන අතරින් එකකි. ලෝකයේ විවිධ රටවල විශිෂ්ට සිනමාකරුවන්ගෛ් විශිෂ්ට සිනමාපට මෙම සම්මානය සඳහා තරග වදියි.

වෙනදා මෙන්ම මෙවරත් අප අයත් වන ආසියානු කලාපයේ රටවල් කිහිපයක්ම මෙම සම්මානය සඳහා චිත්‍රපට ඉදිරිපත් කර තිබේ. ඒ අතර අප අසල්වැසි ඉන්දියාව ද වෙයි. ඉන්දියාව මෙවර ඉදිරිපත් කර ඇත්තේ මලයාලම් සිනමාපටයකි. මලයාලම් සිනමාව මේ වනවිට ඉන්දියාවේ ඉතා ජනප්‍රිය සිනමාවක් වන අතර ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීහු පවා විශාල වශයෙන් මෙම සිනමාපට නරඹති.

2024 ඔස්කාර් උළෙලට ඉන්දියාව ඉදිරිපත් කර ඇති මලයාලම් සිනමාපටයේ නම 2018: Everyone is a Hero ය. එය මේ වසරේ මැයි මාසයේ තිරගත කෙරුණු සිනමාපටයකි. මෙහි අධ්‍යක්‍ෂවරයා ජූඩ් ඇන්තනි ජෝසෆ් ය. මෙය සත්‍ය සිදුවීමක් පසුබිම් කරගත් නිර්මාණයකි. එම සිදුවීම නම් 2018 වසරේ කේරළය බිලිගත් මහා ගංවතුර ආශ්‍රිත ඛේදවාචකය යි. මෝසම් කාලයේ ඇද හැලුණු අසාමාන්‍ය වර්ෂාව නිසා හටගත් මෙම ගංවතුර සැලකුණේ සියවසකට පසු කේරළයේ ඇති වූ දරුණුම ගංවතුර ලෙසිනි. 500 කට ආසන්න සංඛ්‍යාවක් මෙයින් මරණයට පත් වූ අතර මිලියනයක පමණ සංඛ්‍යාවක් ඔවුන් ජීවත් වූ ප්‍රදේශවලින් ඉවත් කිරීමට සිදු විය.

‘2018’ චිත්‍රපටයට පසුබිම් වන්නේ කේරළ වැසියන් ඉහත කී ගංවතුරට මුහුණ දුන් ආකාරය පිලිබඳ කතාවකි. එය මිනිසුන්ගේ ධෛර්යය, සමගිය, ආත්ම විශ්වාසය, සටන්කාමීත්වය පිලිබඳ පණිවුඩයක් ලබා දෙන්නක් ලෙස සැලකේ. මෙකල මෙවැනි බොහෝ ස්වාභාවික විපත්වලට හේතු වන්නේ දේශගුණික විපර්යාස වැනි කාරණා බව පිලිගැනේ. මෙම දේශගුණික විපර්යාස ඇති වන්නේ ප්‍රධාන වශයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසාම ය. ඛණිජ තෙල්, ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන දහනය නිසා කාබන්ඩයොක්සයිඩ් වැනි වායූන් විශාල වශයෙන් වායුගෝලයට එකතු වීම මේ සඳහා බලපාන ප්‍රධාන සාධකයකි. ‘2018’ සිනමාපටය මෙවැනි අර්බුද සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන නිර්මාණයක් ලෙස සැලකේ.

මෙම චිත්‍රපටය සිනමා ප්‍රේක්‍ෂකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබිණි. එය මලයාලම් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය බවට ද පත්ව තිබේ.

ඔස්කාර් උළෙලට ඉදිරිපත් කරන ඉන්දියානු චිත්‍රපට තෝරා ගන්නේ ඉන්දියානු චිත්‍රපට ෆෙඩරේෂනය යි. මෙවර ඔවුන් චිත්‍රපට 21 ක් සම්බන්ධයෙන් සලකා බලා තිබිණි. The Kerala Story (හින්දි), Rocky Aur Rani Kii Prem Kahaani (හින්දි), Mrs Chatterjee vs Norway (හින්දි), Vaalvi (මරාති),Baaplyok (මරාති), Balagam (තෙලිගු), August 16, 1947 (දෙමළ) වැනි චිත්‍රපට ද ඒ අතර වූ බව සඳහන් ය.

පසුගිය වසරේ ඉන්දියාව මෙම උළෙලට නිල වශයෙන් ඉදිරිපත් කළේ Chhello Show නැමැති සිනමාපටය යි. එය ගුජරාත සිනමාපටයකි. නමුත් එයට ජයග්‍රහණයක් හිමි කරගන්නට හැකි වූයේ නැත. එසේ නමුත් වෙනත් චිත්‍රපට දෙකක් එම ඔස්කාර් සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය. ඒ RRR සහThe Elephant Whisperers යන චිත්‍රපට යි. RRR චිත්‍රපටයේ නාටු නාටු නැමැති ගීතය හොඳම ගීතය ලෙස සම්මාන දිනාගත්තේය. හොඳම කෙටි වාර්තා චිත්‍රපටය සම්මානය දිනාගන්නට The Elephant Whisperers සමත් විය.

දකුණු අසියානු කලාපයේ තවත් රටවල් කිහිපයක්ම 2024 ඔස්කාර් උළෙලට චිත්‍රපට ඉදිරිපත් කර තිබෙනු දැකිය හැකි වේ. No Ground Beneath the Feet (බංග්ලාදේශය),Halkara (නේපාලය),The Monk and the Gun (භූතානය) වැනි චිත්‍රපට ඒ අතර වෙයි.

ආසියාවේ තවත් රටවල් රැසක් ද මෙම උළෙලට චිත්‍රපට ඉදිරිපත් කර ඇත. පහත පළවන්නේ එයින් කිහිපයකි.

Perfect Days (ජපානය)
Autobiography (ඉන්දුනීසියාව)
Tiger Stripes (මැලේසියාව)
The Missing (පිලිපීනය)
The Breaking Ice (සිංගප්පූරුව)
Concrete Utopia (දකුණු කොරියාව)
Not Friends (තායිලන්තය)
Glorious Ashes (වියට්නාමය)

නිහාල් පීරිස්

රසගඟුල