සැප වාහන වලින් පැමිණ මිනිසුන් මරා ගවයන් පැහැර ගන්නා නවීන හරක් හොරු

මේ වන විට රු.50,000 ක් වන කිරි ගව සොරකම් සඳහා වන දඩය රු.මිලියනය දක්වාත්, අවම වශයෙන් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුළත් කරමින් සත්ව සුබසාධන පනත සංශෝධනය කිරීමට තීරණය වී තිබේ.කිරි ගවයන් සොරකම් කිරීම් දිනෙන් දිනම ඉහළ යමින් පැවතීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත. අදාළ සංශෝධනය කඩිනමින් සිදු කරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දී තිබේ.නමුත් දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා ගත් අනුරාධපුර එළදෙනද පසුගිය සතියේ දී සොරකම් කර මරා දමා හමාර ය. මේ දක්වා මෙරට තුළ වැඩිම කිරි ගව සොරකම් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයයි. ගම්පහ දිස්ත්‍රික්කයේ එක් දිනයක් තුළ පමණක් ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් සොරකම් කරන බවට කෘෂි බලධාරිහු අවධාරණය කරති.

මෙම සතුන් දිනකට කිරි ලීටර් 15-ත් 30ත් අතර ප්‍රමාණයක් ලබා දෙන එළදෙනුන් වන අතර අඩුම තරමින් මාසයකට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් කිරි දෙනුන් 35-40 අතර ප්‍රමාණයක් සොරකම් කරන බව වාර්තා වී ඇති බවද කෘෂි අංශ බලධාරිහු පවසති.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරින්ගේ සාකච්ඡාවක දී බස්නාහිර පළාතේ ගව සොරකම් ඉහළ යාම සම්බන්ධව පළාත් කෘෂි අංශ බලධාරිහු මෙලෙස තොරතුරු අනාවරණය කළහ.විශේෂයෙන් සුඛෝපභෝගී වෑන් රථවලින් පැමිණෙන පිරිස් රාත්‍රි කාලයේ දී ගව මඩුවල බැඳ සිටින කිරිදෙනුන් මෙසේ පැහැරගෙන ගෙන යන බවද මෙම සාකච්ඡාවේ දී හෙළි විය. මේ අන්දමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගව සොරකම් ඉහළ යමින් පවතින බව සියලු කෘෂි බලධාරිහු අවධාරණය කළහ.

මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය වරයා ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට සිදු කරන රාත්‍රි කාලයේ මුර සංචාර කටයුතු ඉහළ දැමීම, වාහන පරීක්ෂා කිරීම මෙන්ම ගව සොරුන්ට දැනට ලබා දෙන දඩුවම් ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධව පොලිස්පතිවරයාටත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත් කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.කිරි ලබා ගන්නා ගව දෙනුන් මේ අන්දමින් දිනපතා සොරකම් කිරීම නිසා ඉදිරියේ දී කිරි හිඟයක් පවා ඇතිවීමට ඉඩකඩ ඇතැයි ද කෘෂි බලධාරිහු ප්‍රකාශ කළහ.
අතීතයේ අප ගම්බද කුකුල් හොරුන්,හරක් හොරුන් සහ කෙසෙල් හොරුන් වශයෙන් නම් දැරූ සාමාන්‍ය සමාජයෙන් නෙරපූ පුද්ගලයන් ගැන අසන්නට ලැබිණ.කාගේ හෝ වත්තක ,ගව මඩුවක බැඳ සිටින ගවයකු රාත්‍රී කාලයේ පැහැර ගෙන යාම මෙහි සාමාන්‍ය සංසිද්ධිය විය.එහෙත්,අද මෙම හරක් සොරකම එලෙස ගම් මට්ටමින් සිදු වන්නක් නොවේ.නූතන හරක් හොරුන් පැමිණෙනුයේ ටොයටා හයිඒස් කේඩීඑච් ආදී නවීන පන්නයන්ට අයත් සුඛෝපභෝගී රථ වලිනි.එමෙන්ම වත්තක හෝ ගව ගාලක බැඳ සිටින ගවයකු ඉතා පහසුවෙන් එම රථ වලට පටවා ගැනීමේ උපක්‍රම ද නවීන හරක් හොරු දනිති.ඇතැම් විට ඔව්හු මෙම හරක් හොරකම සඳහා නවීන මෝටර් රථ පවා යොදා ගනිති.

මෙම ජාවාරම් පසුපස මහා පරිමාණ මස් ව්‍යාපාරිකයන් ද සිටිතැයි කියනු ලැබේ. මේ අතර දඹුල්ල ,මාතලේ, රත්තොට ,ලග්ගල ,විල්ගමුව, නාඋල ,ගලේවෙල, මහවෙල, සිගිරිය ආදී පොලිස් බල ප්‍රදේශවල කාලයක සිටම නිවෙස්වල හා ගව ගාල්වල බැඳ සිටින කිරිදෙනුන් මෙන්ම ගොනුන් ද රාත්‍රී කාලයේ වාහනවලින් පටවාගෙන පැහැරගෙන යෑම හා ඒ ආසන්නයේදීම සතුන් මරා මස් කරගෙන යෑම සිදු කෙරෙන බව පොලීසිවලට ලැබුණු පැමිණිලි රැසකින් සනාථ වන බව කිරි ගොවි සංවිධාන පෙන්වාදී තිබේ.කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න පසුගිය කාලයේ මාධ්‍ය හමුවකදී කියාසිටියේ, දිගින් දිගටම සිදුවන මෙම ගව සොරකම පිළිබඳ පොලීසියේ කඩිනම් අවධානය යොමු නොකරන්නේ නම් කිරි ගොවීන් සමඟ දිස්ත්‍රික්කයේ සියලු පොලිස් ස්ථාන ඉදිරිපිට විරෝධතා සූදානම් කරන බව ය.

කිසිදු බියකින් සැකයකින් තොරව නවීන වාහනවලින් පැමිණෙන මෙම ගව සොරුන් ඉතා වටිනා ගණයේ කිරිදෙනුන් කුඩා පැටවුන් පමණක් නොව කිරි දෙනුන් බෝ කිරීම සඳහා සිටින පෘෂ්ඨිමත් ගොනුන් ද රැගෙන යනු ලබන්නේ දේශීය කිරි කර්මාන්තයට විශාල වශයෙන් බලපෑම් එල්ල කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමට දැයි බරපතළ සැකයක් මතුවන බව සුසන්ත කුමාර නවරත්න මෙහිදී පැවසීය.එමෙන්ම මෙය දේශීය කිරි නිෂපාදනය බිඳ දැමීම පිණිස සිදු කරන දැවැන්ත යාන්ත්‍රණයක එක් පිළිබිඹුවක් වීමට ද පුළුවන.
ශ්‍රී ලංකා පොලිසිය සොරුන්, මිනීමරුවන් අල්ලා ගැනීමට අතිශයින් දක්ෂ ය.එහෙත් හරක් හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් පොලිසිය දක්වන්නේ ඇල් මැරුණු උනන්දුවකි. පසුගිය වකවානුව තුළ පමණක් ගම්පහ හා අවට කිරි හරක් සිය ගණනක් සොරා ගත්තද ඒ වෙනුවෙන් පොලිස් පොත්වල ලියැවුණද ඒ කිසිදු ගව සොරෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වීම විස්මයට කරුණකි.රාත්‍රී කාලයට මහා මාර්ග වල මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීන් වෙතින් මේ හරක් හොරුන් පහසුවෙන් ගැලවී යනුයේ කෙසේ ද? “හරක් පටවාගෙන එන වාහනයක් රෑට පහසුවෙන් දුරදිම හඳුනාගන්න අපේ පොලිස් නිලධාරීන්ට පුළුවන්.මොකද හරක් පටවපු වාහනේ හෙඩ් ලයිට් තරමක් දෙපැත්තට වැනෙනවා; ඒ සත්තු සෙලවෙන නිසා.ඉතින් ඒ වගේ වාහනයක් පොලිසියෙන් ගිලිහිලා යන්න නම් විශේෂ හේතුවක් තියෙන්න ඕනෙ තමයි”ඒ සම්බන්ධයෙන් අප හා එලෙස කියා සිටියේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකි.ඔහු ගේ එම ප්‍රකාශය තුළ ගැබ් වූ රහස අමුතුවෙන් ඔබට කියා දිය යුතු නැත.

වේයන්ගොඩ මාරපොළ පොල්හේන හන්දියේ ජීවත් වූ ජේ. එම්. ප්‍රේමරත්න (58) ද ගොවිතැනින් හා කිරි ගවයන්ගේ පිහිටෙන් ජීවිකාව ගෙන ගිය අහිංසක ගොවි මහතෙකි. ගවයන්ට තම දරුවන්ට සේ ආදරය කළ ප්‍රේමරත්න තමන් හැදූ ගවයන්ට ‘‘සුදු මැණිකේ’’ ‘‘චූටි මැණිකේ’’ ආදී ආදරණීය නම්වලින් කථා කළ බව ද පැවසෙයි. ගව සම්පත ආදරයෙන් රැක බලා ගත් ප්‍රේමරත්න ඔවුන් ගෙන් බලාපොරොත්තු වූයේ කිරි ලීටර් කීපයක් පමණි. වසු පැටවුන්ට බීමට කිරි ඉතිරිකර ලීටර් කීපයක් පමණක් ඔහු දිනපතා අලෙවි කර සුළු ආදායමක් ලැබුවේය. දිවා රෑ දෙකෙම වාහන බහුල ගම්පහ දිවුලපිටිය ප‍්‍රධාන මාර්ගය අසලම ප්‍රේමරත්නගේ නිවස පිහිටා තිබූණි. එනිසා තමාට අයත් ගවයන් සොරාගෙන යාම ගව සොරුන්ට ඉතා පහසු කාර්යයක් බව ද ඔහු හොඳින් දැන සිටියේ ය. තමගේ නිවස තුළ ඔහුගේ වැඩිමහල් පුත‍්‍රයාත්, යාබද නිවසේ තම බාල පුත‍්‍රයාත් සිටින නිසා ගව සොරුන් පැමිණියහොත් ක‍්‍රියාත්මක වීමට ප්‍රේමරත්න සැලසුම් සහගතව සිටියේය. දිනය 2015 වසරේ 29 දා ය.වේලාව අලූයම 2.10ට පමණ වන්නට ඇත. තමනිවස අසල බැඳ සිටි තම ගවයන් විලාපයක ස්වරූපයෙන් කෑගැසීම නිසා ප්‍රේමරත්න වහාම නින්දෙන් පිබුදුණි . නිවසින් පිටතට පැමිණි ඔහුට දැක ගත හැකි වූයේ මාර්ගය අසල නවතා තිබූ සුදුපැහැති වෑන් රථයකට තම ගවයෙකු නංවමින් සිටින ආකාරයකි.ඉන් ප්‍රේමරත්නගේ හදවත දැවී ගියේ ය.‘‘ලොකු පුතේ නැගිටපන් හරක් හොරු ඇවිල්ලා’’ කියමින්ම ප්‍රේමරත්න වෑන් රථය දෙසට දිව ගියේ එබැවිනි. ඒ වන විටත් වෑන් රථයේ එන්ජිම පණගන්වා තිබූ අතර ප්‍රේමරත්න පැමිණි බැවින් එක් ගවයෙකු පමණක් පටවාගෙන වෑන් රථය ඉදිරියට ධාවනය වන්නට සූදානම් විය. තම ගවයා ගෙනයාමට ඉඩ නොදුන් ඔහු සොරුන් සතුව ආයුධ ඇති බව දැන දැනම වෑන් රථයේ එල්ලූණේ ඒ ගව දරුවාගේ ජීවිතය බේරා ගැනීමට අන් කිසිදු මඟක් නොවූ බැවිනි.එහෙත්, වහා ක්‍රියාත්මක වූ මිනිස් මෘගයන් බඳු ගව සොරු ප්‍රේමරත්නගේ පපුවටත් උදරයටත් පිහිපාරවල් කීපයක් එල්ල කළහ. ඔහු එම ස්ථානයේම බරපතළ තුවාල ලබා බිම ඇද වැටුණි. තමන් දරුවකු සේ හදා වඩා ගත් ගවයකු කෲරතර මරණයකින් ගලවා ගැනීම පිණිස තම ජීවිතය ද නොතකා ප්‍රේමරත්න කළ මෙම කැප කිරීම අප දකිනුයේ උතුම් බෝධිසත්ව පාරමිතාවක් ලෙසිනි. ගම්පහ රෝහලට ගෙන යන විටත් ප්‍රේමරත්න මියගොස් තිබුණි.                                                         මේ තත්වයන් යටතේ ගවයන් සොරකම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ගලා එන විට කවර හේතුවක් මත හෝ පොලිස් නිලධාරීන් “කුපිත වන තත්වයක් තවදුරටත් පැවතිය හොත් රු.50,000ක් වන කිරි ගව සොරකම් සඳහා වන දඩය රු.මිලියනය දක්වා ඉහළ නැංවීමෙන් සත පහක වත් ඵලක් නැත.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර