තවමත් ඉතා බිහිසුණු සහ උණුසුම් ආකාරයෙන් ඉදිරියට යමින් ඇති ඊශ්‍රායල-හමාස් යුද ගැටුම කේන්ද්‍ර කරගෙන ඊශ්‍රායලය සහ ඔවුන්ගේ මිත්‍ර ඇමරිකාව ලෝකයෙන් කොන් වෙන තත්ත්වයක් මේ වනවිට ඇති වී තිබේ. පලස්තීනයේ ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරමින් සිටින අතිශය බිහිසුණු සහ විනාශකාරී ප්‍රහාර නිසා සිවිල් වැසියන් දහස් ගණනින් මිය යමින් සිටීමත්, එසේ තිබියදීත් ඇමරිකාව ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටීමත් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඔවුන් පිලිබඳ අප්‍රසාදයක් ජනිත කිරීමට හේතු වී ඇති ආකාරයක් දැකිය හැකිය. මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඊශ්‍රායල-හමාස් යුද ගැටුම නිසා මිය ගිය ගණන 9,500 කට ආසන්න වී තිබිණි. මේ අතරින් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබුණේ ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කරන ලද ප්‍රහාර නිසා ය. පසුගිය කාලයේ ගුවනින් පමණක් මෙම කලාපය වෙත ප්‍රහාර එල්ල කරමින් සිටි ඊශ්‍රායලය මේ වනවිට ගොඩබිමින් ද ගාසා තීරය ආක්‍රමණය කර තිබේ. ගාසා තීරයේ මියගොස් ඇති අය අතර කුඩා දරුවෝ ද දහස් ගණනක් වෙති.
මෙම තත්ත්වය තුළ ඇමරිකාව සහ ඊශ්‍රායලය කොන් වීමකට ලක් වෙමින් ඇති ආකාරය පෙන්වන වැදගත් සිදුවීමක් මෙයට දින කිහිපයකට පෙර සිදු විය. ඒ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේ ය. මානුෂීය හේතුන් මත සටන් විරාමයක් ඇති කිරීම සඳහා වන යෝජනාවක් ජෝර්දානය ඇතුළු රටවල් 22 ක් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිණි. ප්‍රධාන වශයෙන්ම ගාසා තීරයේ පලස්තීන වැසියන් මුහුණ දී සිටින මානුෂීය අර්බුදය හමුවේ වහාම මෙවැනි සටන් විරාමයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව බොහෝ පාර්ශ්ව කලක සිටම පෙන්වා දෙමින් තිබූ කාරණයකි. ඉහත කී යෝජනාව ඉදිරිපත් වූයේ ද එම පසුබිම තුළ ය. නමුත් මෙවැනි සටන් විරාමයකට ඊශ්‍රායලය මෙන්ම ඔවුන්ට සහය දක්වන ඇමරිකාව ද මුල පටන්ම කැමැත්තක් දැක්වූයේ නැත. මේ අවස්ථාවේ සටන් විරාමයක් ඇති කළහොත් එයින් පලස්තීන හමාස් සංවිධානයට වාසියක් අත් වනු ඇතැයි යන්න ඔවුන්ගේ අදහස බව පෙනේ.
කෙසේ හෝ වේවා, සටන් විරාමය පිලිබඳ කාරණයට අදාළව ලෝක ප්‍රජාව බෙදී ඇති ආකාරය පෙන්වන කදිම අවස්ථාවක් ඉහත කී යෝජනාව නිසා ඇති විය. මෙහි දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 179 ක් අතරින් 120 ක්ම ඡන්දය දුන්නේ සටන් විරාම යෝජනාවට පක්ෂව ය. ශ්‍රී ලංකාව ද එම රටවල් අතර විය. මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ රටවල් 14 ක් පමණි. ඊශ්‍රායලය සහ ඇමරිකාව ඒ අතර ඉදිරියෙන්ම සිටියේය. අනෙක් රටවල් 12 නම් ඕස්ටි්රයාව, චෙකියාව, ක්‍රොඒෂියාව, ෆිජි, ගෝතමාලාව, හංගේරියාව, මාෂල් දූපත්, මයික්රොනේෂියා, නාඋරු, පැපුවා නිව් ගිනියා, පැරගුවේ, ටොන්ගා යන ඒවා යි. කෙසේ හෝ වේවා, ඊශ්‍රායල-හමාස් යුද ගැටුම හමුවේ ඊශ්‍රායලය සහ ඇමරිකාව කෙතරම් දුරට හුදෙකලා වී ඇත් ද යන්න මෙයින් මනාව පැහැදිලි විය. සාමාන්‍යයෙන් ඇමරිකාවේ මිත්‍ර රටක් වන ප්‍රංශය පවා මෙහි දී ඡන්දය දුන්නේ සටන් විරාම යෝජනාවට පක්ෂව ය. ප්‍රංශය ඇතුළු යුරෝපා සංගමයට අයත් රටවල් 8 ක්ම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි. ඇමරිකාවේ තවත් මිතුරෙකු ලෙස සැලකෙන එක්සත් රාජධානිය පවා ඇමරිකාව සහ ඊශ්‍රායලය සමග සිටගත්තේ නැත. එක්සත් රාජධානිය මෙහි දී ඡන්දය දීමෙන් වැලකී සිටියේය. මෙලෙස ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් ගණන 45 කි. ඇමරිකාව සහ යුරෝපා බලවතුන් අතර සබඳතාවල දැන් කාලයක සිටම මතුවෙමින් ඇති ගැටලුකාරී තත්ත්වය මෙම සිද්ධියෙන් ද පෙන්නුම් කරන බව නිරීක්ෂකයන්ගේ අදහස යි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී මෙවැනි සටන් විරාමයක් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත වුවත් එය ක්‍රියාත්මක කිරීමට බැඳීමක් එම සංවිධානයට නැත. අනිවාර්යයෙන් එවැන්නක් ක්‍රියාත්මක කිරීමට නම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත විය යුතුය. එය සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වන්නකි. නිශේධ බලය හිමි නිත්‍ය සාමාජිකයෝ පස් දෙනෙක් එහි වෙති. ඒ ඇමරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය, එක්සත් රාජධානිය යන පස් දෙනා ය. පසුගිය දිනවල ඉහත කී ආකාරයේ සටන් විරාමයන් සඳහා යෝජනා මෙම ආරක්ෂක කවුන්සිලයට ද ඉදිරිපත් වුවත් ඒ එකදු අවස්ථාවකවත් ඒවා සම්මත වූයේ නැත. එක් අවස්ථාවක ඇමරිකාව නිශේධ බලය භාවිත කිරීම නිසා ද, තවත් අවස්ථාවක චීනය සහ රුසියාව නිශේධ බලය භාවිත කිරීම නිසා ද මෙවැනි යෝජනා පරාජයට පත් විය. ඔවුන් මේ ආකාරයෙන් මෙම යෝජනා පරාජය කළේ ඒවා ඔවුන්ගේ දේශපාලනික න්‍යාය පත්‍ර සහ උපාය මාර්ග ආදිය සමග නොගැලපුණු නිසා බව පෙනිණි. ජොර්දානය ඇතුළු රටවල් 22 ක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේ එම පසුබිම තුළ යි. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට බැඳීමක් නැතත් ලෝක ප්‍රජාව මෙම ප්රශ්නයේ දී සිටින තැන ඒ තුළින් මනාව ප්‍රකාශයට පත් වෙයි. ඒ නිසා සටන් විරාමයක් සඳහා මැදිහත් වීම පිලිබඳ කාරණය වඩා බැරෑරුම්ව ගැනීමට ආරක්ෂක මණ්ඩල සාමාජිකයන්ට සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
කෙසේ හෝ වේවා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඉහත කී යෝජනාව සම්මත වූ අවස්ථාවේ එම සංවිධානයේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්දාන් එය දැඩි ලෙස විවේචනය කර තිබිණි. ඔහු පවසා තිබුණේ මෙම යෝජනාව හමාස් සංවිධානයට නැවත සන්නද්ධ වීම සඳහා කාලය ලබා දෙන යෝජනාවක් බවයි. එය කිසිසේත් සාමය අරමුණු කරගත්තක් නොවන බවත් එහි අරමුණ ඊශ්‍රායලයේ දෑත් බැඳ දැමීම බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබිණි.
නිහාල් පීරිස්