නොහැකිම විටෙක මිස මුත්‍රා බර පාලනය කරගෙන හිඳීම නුසුදුසුයි

නිවසින් බැහැර ගමනක් ගිය විට හදිසියේ මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊට සුදුසු තැනක් තිබුණත් නැතත් කොහේ හෝ තැනකට මුවාවී තමන්ගේ කාර්යය ඉටු කරගන්නට පිරිමියෙකුට හැකියාව ඇත. නමුත් ඒ හැකියාව කාන්තාවන්ට නොමැත. එනිසා කාන්තාවන්ට සිදු වන්නේ කොතෙක් වෙලාවක් හෝ එය ඉවසාගෙන පාලනය කරගෙන සිටින්නටය.
සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ වකුගඩුවලින් මුත්‍රා පෙරෙන්නේ විනාඩියට මි. ලී. 1 කි. ඒ අනුව පැයට මි. ලී. 60 කුත්, පැය 6කට මි.ලී. 350 ක් වැනි ප්‍රමාණයකුත් අපේ මුත්‍රාශයේ මුත්‍රා පිරෙනු ඇත. අපේ මුත්‍රාශයට මුත්‍රා දරාගෙන සිටිය හැකි උපරිම ප්‍රමාණය මි. ලී. 350 ක් පමණ වනු ඇත. මේ අනුව නිරෝගී අයකුට සාමාන්‍යයෙන් පැය 6 කට වරක් පමණ මුත්‍රා පිට කිරීමේ වුවමනාව ඇති වෙයි. එවැනි අවශ්‍යතාවයක් ඇති වූ විට සම්පූර්ණ මුත්‍රා ප්‍රමාණයම පිට කිරීමට පුළුවන.

නමුත් මේ තත්ත්වය එක් එක් පුද්ගලයන්ගේ මුත්‍රාශයේ රෝගී තත්ත්වයන් අනුව සහ වතුර බොන ප්‍රමාණය අනුව වෙනස් වෙයි. වැඩිපුර වතුර බොන්නේ නම් වැඩියෙන් මුත්‍රා පිට වනු ඇත. මුත්‍රාශයේ වෙනත් රෝගී තත්ත්වයන් නිසාද නිතර නිතර මුත්‍රා පිට කිරීමට සිදුවේ. ගැබිනි මව්වරුන්ට නිතර ඇතිවන තෙරපුම නිසා වරින්වර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය දැනෙනු ඇත. එසේම මුත්‍රාශය සම්බන්ධ රෝගී තත්ත්වයන් නිසාද පැයකට කිහිප වරක්ම මුත්‍රා පහ කරන අයත් සිටිති. මෙය ප්‍රතිකාර ගත යුතු රෝගී තත්ත්වයකි.
නමුත් අප මේ කතා කරන්නේ ඒ තත්ත්වය ගැන නොවේ.

නිරෝගී අයෙකු දීර්ඝ කාලයක් තිස්සේ මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය පුරුද්දක් ලෙස පාලනය කරගෙන සිටියහොත් කලාතුරකින් මුත්‍රාශය අකර්මන්‍ය වීමේ හැකියාවක් තිබේ. සාමාන්‍යයෙන් මුත්‍රාශයට මි.ලී. 350 ක පමණ මුත්‍රා ප්‍රමාණයක් දරා ගෙන සිටීමේ හැකියාවක් ඇති බවත්, එලෙස මුත්‍රා කිරීම සඳහා ගත වන කාලය දළ වශයෙන් පැය 6 ක් බවත් ඉහත සඳහන් කළෙමු. ඒ අනුව අපට සාමාන්‍යයෙන් පැය 6 ක් පමණ මුත්‍රා පිට නොකර සිටීමේ හැකියාව ඇත. මුත්‍රාශය සකස් වී තිබෙන්නේ එලෙස මුත්‍රාශයේ මුත්‍රා යම් ප්‍රමාණයක් දරා ගෙන සිටීමේ හැකියාව ඇතිව ය. නමුත් මුත්‍රා පහ නොකර දිගින් දිගටම එම අවශ්‍යතාව දරාගෙන සිටීමට හුරු වූ කෙනකුට කල් ගතවත්ම මි. ලී. 350 ට වැඩි ප්‍රමාණයක් දරා ගැනීමට ශරීරය හුරු වනු ඇත. එවිට මුත්‍රාශයේ මුත්‍රා පිරුණු පසුවත් මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව ඇති නොවේ. එසේ මුත්‍රා වැඩි ප්‍රමාණයක් දරා සිටීමට සිදු වූ විට කල් ගත වෙද්දී මුත්‍රාශයේ බිත්ති ඇදීමකට ලක් වනු ඇත. දිගුකාලීනව මෙසේ වන විට මුත්‍රාශයේ බිත්තිවල වෙනස්කම් ඇතිවෙයි. එවිට මුත්‍රාශයට මුත්‍රා නිසි ලෙස පිට කිරීමේ අපහසුතා හටගනී.

නිසි පරිදි මුත්‍රා පිට වන්නට නම් මුත්‍රා පිටකිරීමේ නාලය නිසි ලෙස තිබිය යුතු අතර හොඳ මුත්‍රාශයකුත් තිබිය යුතුය. මුත්‍රා හොඳින් තල්ලු කර යවන්නට මුත්‍රාශයට හැකි වන්නේ මුත්‍රා කරන විට වේගයෙන් මුත්‍රාශයේ බිත්ති සංකෝචනය වීම තුළිනි. එවිට මුත්‍රාශයේ ඇති මුත්‍රා සියල්ල සම්පූර්ණයෙන්ම පිට වේ. බිත්ති ඇදීමකට ලක් වී වෙනස්කම් ඇති වූ විට සංකෝචනය වීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවනු ඇත. එවිට මුත්‍රාශයේ එකතු වී ඇති මුත්‍රා සියල්ල පිට නොවී එහි ටිකක් ඉතිරි වෙයි. එසේ එකතු වී පැවතීම නිසා ඇතිවන ගැටලුව නම් නිතර මුත්‍රා ආසාදන හට ගැනීමයි. එසේම ඉබේම මුත්‍රා සවල්පය බැගින් පිට වීම ඇතුළු මුත්‍රා පිට කිරීමේ රෝග ලක්ෂණ මෙහිදී හටගන්නා අතර වේගවත්ව ලොකු පීඩනයකින් මුත්‍රා පිට වීමක් සිදු නොවී සෙමෙන් සෙමෙන් මුත්‍රා පිට වනු ඇත. මෙසේ නිතර මුත්‍රාශයේ මුත්‍රා ස්වල්පයක් රැඳී තිබීම තුළින් මුත්‍රාශයේ ගල් හට ගැනීමේ හැකියාවක් ද තිබේ. එසේම මුත්‍රා අඩස්සියක්, එනම් මුත්‍රා හිර වීමක් වුවත් හට ගැනීමට පුළුවන. එහිදී සිදු විය හැකි දරුණුම හානිය නම් මුත්‍රාශයේ මුත්‍රා විශාල ලෙස පිරී පැවතීම තුළින් වකුගඩුවලට මුත්‍රා පෙරීමට අපහසු වීමයි. එවිට වකුගඩු දෙකම අකර්මණ්‍ය වීමේ අවදානමක් ඇති වේ.

කෙසේ වුවද මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය දිගුකාලීනව පුරුද්දක් ලෙසින් පාලනය කරගෙන සිටින විට ඇතිවිය හැකි මේ තත්ත්වය සුලබ රෝග තත්ත්වයක් නොවේ. නමුත් එම අවදානම ඕනෑම කෙනෙකුට ඇති නොවේ යැයි කිව නොහැකිය. එබැවින් මුත්‍රා පිට කිරීමට අවශ්‍ය අවස්ථාවලදී එය පිට කිරීමට වග බලා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ එම අවදානම වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙන නිසා ය.
මුත්‍රාශය දැඩි ලෙස ඇදීමකට ලක් වී ඇත්නම් කැතීටරයක් පිටතින් සම්බන්ධ කර මුත්‍රා පහ කිරීමට ඉඩ සලසා දීමට සිදුවේ. එසේ මුත්‍රා පාලනය කිරීම දිගින් දිගටම හුරුවූ කෙනෙකුට මුත්‍රා බර දැනීම ද ලොකුවට ඇති වන්නේ නැත. නමුත් එසේ වීම යහපත් දෙයක් නොවන බව දැන් ඔබට වැටහෙනු ඇත.

මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥ දිමන්ත ද සිල්වා

ඉන්දු පෙරේරා

 

විනිවිද සායනය