ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද ගැටුම නිසා කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් මිය යන ආකාරය, තුවාල ලබන ආකාරය පිලිබඳ හද කම්පා කරවනසුළු ඡායාරූප, විඩියෝ ඇතුළු වාර්තා අසන දකින කව්රුත් මේ වනවිට බලා සිටින්නේ මෙම බිහිසුණු යුද ගැටුම ඉවරයක් වන්නේ කවදාද යන්න පිලිබඳව ය. මෙයට අදාල තරමක් සතුටුදායක තොරතුරක් ඊයේ විදෙස් මාධ්‍ය තුළ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්ව තිබිණි. එයින් පැවසුණේ තාවකාලික සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා මෙම දෙපාර්ශ්වය අතර යම් සාකච්ඡාවක් ඇති ව තිබෙන බවයි. මෙම සාකච්ඡා ආරම්භ වී ඇත්තේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් බවත්, ඊට ඇමරිකාවේ ද සහය ලැබෙන බවත් මෙම වාර්තාවල තවදුරටත් සඳහන් විය. සාකච්ඡා කෙරෙන්නේ දීර්ඝ කාලීන සටන් විරාමයක් පිලිබඳව නොවුණත් කෙටි සටන් විරාමයක් ඇති වීම වුව ද මේ වෙලාවේ වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
මෙම තාවකාලික සටන් විරාමයේ අරමුණු දෙකක් ගැන සඳහන්ව තිබේ. එකක් නම් ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිම සඳහා පරිසරයක් සකස් කිරීමයි. අනෙක නම් ගාසා තීරයට වඩ වඩාත් මානුෂීය ආධාර ලබා දීම සඳහා අවකාශ විවර කර ගැනීම යි.
සාකච්ඡා කෙරෙන්නේ දින තුනක පමණ සටන් විරාමයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් බව වාර්තා වේ. එයට හිලව්වට ගාසා හි රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 10-15 අතර සංඛ්‍යාවක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙන බව සඳහන් ය. ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් සය දෙනෙකු ද ඊට ඇතුළත් වනු ඇති බව පැවසේ. මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කර තිබුණේ මෙම සාකච්ඡා ගැන දැනුම්වත්ව සිටින බව පැවසෙන ඊජිප්තු සහ හමාස් ආරංචි මාර්ග උපුටා දක්වමිනි.
කෙසේ නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කලින් සඳහන් කර තිබුණේ ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරන තුරු සටන් විරාම ගැන සලකා නොබලන බවකි. ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 240 කට ආසන්න බවක් පසුගිය දිනවල මාධ්‍ය හරහා වාර්තා විය. හමාස් සංවිධානය පවසා තිබුණේ ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට නම් කලක් තිස්සේ ඊශ්‍රායලයේ රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් ද නිදහස් කළ යුතු බවයි. මෙම සංකීර්ණ තත්ත්වය තුළ කටාර් රාජ්‍යයේ මැදිහත් වීම මත පැවැත්වෙමින් ඇති සටන් විරාම සාකච්ඡා කෙතරම් දුරට සාර්ථක වේවිද යන්න සම්බන්ධයෙන් පැවතුණේ අවිනිශ්චිත තත්ත්වයකි.
ගාසා තීරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා සිටින්නේ හමාස් සංවිධානය භාරයේම නොවන බවක් ද සඳහන් වේ. 180 දෙනෙකු පමණ හමාස් සංවිධානය යටතේ සිටින බවත්, 20 දෙනෙකු පමණ පලස්තීන ඉස්ලාමීය ජිහාද් නැමැති සංවිධානය යටතේ සිටින බවත් අනාවරණය වී ඇත. ඉතිරි 20 දෙනා සිටින්නේ විවිධ කුඩා කල්ලි යටතේ බවක් ද සඳහන් ය.
කෙටි සටන් විරාමයන්ට විනා දීර්ඝ කාලීන සටන් විරාමයකට ඊශ්‍රායලය මෙන්ම ඇමරිකාව ද දැඩි අකැමැත්තක් දක්වයි. ඔවුන් පවසන්නේ එවැනි සටන් විරාමයක් ඇති වුවහොත් එයින් ප්‍රයෝජන ගනිමින් හමාස් සංවිධානය නැවත බලවත් වීමට ඉඩ ඇති බවයි.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාර නිසා දැඩි පීඩනයට පත්ව අසරණව සිටින ගාසා තීරයේ ජනතාව අතර රෝග බිය ද පැතිරෙන්නට පටන්ගෙන ඇති බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. පාචනය සහ වෙනත් බෝවන රෝග ජනතාව අතර ශීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති බව ඔවුන් පවසා ඇත. මෙයට බලපා ඇති හේතු කිහිපයක් ගැන ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබිණි. ඊශ්‍රායල ප්‍රහාර නිසා ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී තිබීම, ජනතාවට පිරිසිදු ජලය ලබා ගැනීමට ඇති අපහසුව, ජනතාව විශාල වශයෙන් කඳවුරුවල රැඳී සිටීම රෝග ව්‍යාප්තියට බලපා ඇති ප්‍රධාන සාධක ය. මේ වනවිට ගාසා තීරයට ඉන්ධන සැපයීම ද ඊශ්‍රායලය නතර කර ඇති නිසා කසල බැහැර කිරීම වැනි කටයුතු ද ඇණහිට තිබේ. රෝග ඇති වීමට මෙය ද තවත් හේතුවක් වී ඇති බව සඳහන් වේ. ජලය සැපයීම ද මේ ආකාරයෙන්ම නතර කර ඇත. පසුගිය දිනවල කුඩා දරුවන් පවා පාවිච්චි කළේ මුහුදු ජලය බවක් ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මෙය අතිශයින් කණගාටුදායක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඔක්තෝබර් මැද හරියේ සිට මේ දක්වා පාචන රෝගීන් 33,500 ක් පමණ වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ අතරින් වැඩි දෙනා වයස අවුරුදු 5 ට අඩු කුඩා දරුවන් ය. දරුවන් එන්නත් කිරීමේ වැඩසටහන් ද මේ වනවිට නතර වී ඇති අතර ඇතැම් රෝග සඳහා අවශ්‍ය ඖෂධ ද නොමැති තත්ත්වයක් මතුව තිබේ. රෝග පැතිරීම වැඩි වීමට මේවා ද හේතු වී ඇත.
නිහාල් පීරිස්