සය නිවුන් දරුවන් බිහිවීම අසාමාන්‍ය සිදුවීමක්ද?

saya

ශ්‍රී ලංකාවෙන් පළමුවරට සය නිවුන් දරු උපතක් වාර්තා විය. අංගොඩ, අයි.ඩී.එච්. ප්‍රදේශයේ තිස් එක් මවක් මවක් බිහි කළ මේ නිවුන්නු අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැනු දරුවන් තිදෙනෙක් වූහ. ඉඳහිට ආරංචි වන මෙවැනි සයදරු නිවුන් උපතක ඇත්තේ අපූර්වත්වයකි. අප රටට පමණක් නොව මුළු ලොවටම මෙවැනි සිදුවීම් ගෙන එන්නේ එවැනි හැඟීමකි.නම්දු බොහෝ දෙනකු සිතා සිටිනුයේ මෙය අසාමාන්‍ය සිදුවීමක් කියාය.

සය නිවුන් දරුවන් ඉංග්‍රීසි බසින් Sexuplets නමින් හඳුන්වනු ලැබව ද සිංහල බසින් එවැනි තනිපදයක් සොයා ගන්නට නැත. මෙහි Sex යන්න Six යන්නෙහි විපරිනාමයකි.මෙවැනි උපතක් යනු ඉතා විරල දෙයක් වනවා සේම එම දෙමාපියන්ට මහත් අභියෝගයක් ද රැගෙන එයි.එහෙත්, එය සමාජ ආර්ථික හේතූන් මත වෙනස් වන බවක් ද පෙනෙයි.නමුදු මෙබඳු වැඩි සංඛ්‍යාවකින් යුතු නිවුන් දරුවන්ට පසු කාලීනව වැඩි සමාජයීය වරප්‍රසාද හිමි විමේ නැඹුරුවක් ද තිබේ.

සය නිවුන් දරු උපත් දෙයාකාරයකට ඇති විය හැකිය. එක් ආකාරයක දී සිදුවන්නේ වෙන වෙනම ඩිම්බ සයක් ගර්භාෂය තුළ සංසේචනය වී යුක්තානු සයක් ලෙස වෙන් වශයෙන් වර්ධනය වීම ය.

අනෙක් ආකාරයේ දී සිදුවන්නේ සංසේචනය වූ එක් ඩිම්බයක් යුක්තානුවක් ලෙස පසුව කොටස් හයකට වෙන්ව යාම ය. දෙවෙනි ආකාරයේ දී උපදින්නේ එක සමාන ස්වරූපයෙන් යුක්ත නිවුන් දරුවන් ය. ඇතැම් විට පළමු ආකාරයට වෙන වෙනම ඩිම්බ කිහිපයක් සංසේචනය වී යුක්තානු කිහිපයක් ඇති වී ඒවා බෙදී වෙන් වී නිවුන් දරුවන් උපත ලබන්නට ද පුළුවන.

ඉතා ඈත අතීතයේ මෙවැනි සය නිවුන් දරු උපත් සිදු වී තිබෙන්නට හැකි නමුත් ලිඛිත වාර්තා ඇත්තේ සාපේක්ෂව මෑත ඉතිහාසයේ සිට ය. විකිපීඩියාවට අනුව මෙවැනි සය නිවුන් දරු උපතක් මුලින්ම වාර්තා වී ඇත්තේ 1866 සැප්තැම්බර් 8 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ ප්‍රාන්තයෙනි.

බුෂ්නෙල් යුවලට දාව උපන් මේ දරුවන්ගෙන් දෙදෙනෙක් වසරක් ඇතුළත මිය ගිය නමුත් අනෙක් දරුවෝ වැඩිහිටියන් බවට පත් වූහ. අකල් මරණයකට ලක් නොවූ ප්‍රථම සය නිවුන් දරුවන් ලෙස වාර්තාගත වන්නේ 1974 ජනවාරි 11 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි උපත ලද ‘රොසෙන්කෙවිට්ස්’ දරුවන්ය.වෛද්‍ය විද්‍යාව අද මෙන් දියුණු නොවූ අතීතයේ මෙවන් සය නිවුන් දරුවන් ජීවත් කරවීම බැරෑරුම් අභියෝගයක් වන්නට ඇත.

සය නිවුන් දරුවන් සෑම විටම එකම උපන් දිනයකට හිමිකම් කියන්නේ නැත. ඇතැම් අවස්ථාවල දී දින කිහිපයක් තුළ වෙන වෙනම මේ දරුවන් බිහි වූ අවස්ථාවන් ද වාර්තා වේ.

තනි දරුවකු උපදින්නට සිටින මවකගේ ගර්භනී කාලය සාමාන්‍යයෙන් සති 40ක් වුව ද, සය නිවුන් දරුවන් උපදින්නට සිටින මවකගේ ගර්භනී කාලය සති 29.1 ක් පමණ වේ. ගර්භනී සමයේ දී එවැනි මවකගේ බර රාත්තල් 31 සිට 80 දක්වා වර්ධනය වනු දැකිය හැකි ය.
මෙවැනි දරු උපතක් අපේක්ෂාවෙන් සිටි ඇතැම් මව්වරුන්ගේ ගැබ ගෙළ මසන්නට සිදු වූ අවස්ථාවන් ද වාර්තා වේ. ඒ සය නිවුන් දරුවන් ගර්භාෂයට දරාගන්නට නොහැකිව නොමේරු උපතක් සිදුවන්නට ඇති අවස්ථාව වලක්වාලීම සඳහා ය. සෑමවිටම මෙවැනි දරු උපතක් සිදුකරනුයේ සිසේරියන් සැත්කමකිනි.

ඇතැම් රටවල ස්කෑන් පරීක්ෂණයකින් පසුව මෙවැනි දරු උපතක් සිදුවන බවට දැනගත් විට, මවගේ ජීවිත ආරක්ෂාව තකා කළල කිහිපයක් ඉවත් කරගැනීමේ අවස්ථාව පිළිබඳ යෝජනා රෝහල්වලින් සිදුකරනු ලබයි. නමුත් බහුතරයක කැමැත්ත ලෙස වාර්තා වී ඇත්තේ දරුවන් සය දෙනාම නීරෝගීව බිහිවනු දැකීම නිසා එවැනි යෝජනාවකට කැමැත්ත පළ කළ අවස්ථාවන් වාර්තා වී නොමැති බව පෙනේ.

අප කතා කරන්නේ සය නිවුන් දරු උපත් පිළිබඳ වුවත්, එම සංඛ්‍යාවට වඩා වැඩි නිවුන් දරු උපත් පිළිබඳව ද වාර්තා සොයා ගත හැකිය. ඒ අනුව සත් නිවුන් දරු උපත් (Sexuplets) 7 ක් පිළිබඳ වාර්තා වී තිබේ.

ඉන් පළමුවැන්න 1985 මැයි 21 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා ප්‍රාන්තයේ සිදු වූ උපතක් වූ අතර එයින් වැඩිහිටි වියට පත්වන්නට වරම් ලැබී තිබුණේ පිරිමි දරුවන් දෙදෙනෙකුට සහ එක් ගැහැනු දරුවකුට පමණි. අකල් මරණයකට ලක් නොවූ පළමු සත් නිවුන් දරු උපතක් වාර්තා වන්නේ 1997 නොවැම්බර් 19 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඔවුන් ‘මැකොගි නිවුන්නු’ ලෙස ප්‍රකට ය.

මීට අමතරව අට නිවුන් දරු උපත් (Octuplets) 8 ක් ද, නව නිවුන් දරු උපත් (Nonuplets) 3 ක් ද වාර්තාගත ව තිබේ.එහෙත් මෙම සියලු දරු උපත් සම්බන්ධයෙන් විද්‍යා දෙන පොදු පිළිතුරක් තිබේ.එනම් “එය කිසිසේත් අසාමාන්‍ය සිදුවීමක් නොවේ.එය හුදෙක් අහඹු සිදුවීමක් පමණි” යන්නය.

නිරංජන් චාමින්ද කරුණතිලක

එතෙර - මෙතෙර